Friday, September 16, 2011

නූතන ලංකාවේ පියා ...

(වචන:ජේආර්, දේශපාලනය, ප්‍රජාතන්තරවාදය)
පහුගිය දවසක රනිල් මැතිඳුගෙයි කොටිරාජාතුමාලගෙයි අවුල පුපුරා යාම දේසපාලන සිද්ධාන්ත කියන එව්ව පැත්තෙං බලන උදවිය ප්‍රස්නයක් හැටියට දැක්ක බවයි පෙනුනෙ.

මට නම් දේසපාලකයොයි වියාපාරිකයොයි අතරෙ තියෙන සහජීවන පැවැත්ම ගැන ලොකු අමුත්තක් දැනෙන්නෙ නෑ. මේ දේසපාලනේ කියන එක ආර්තිකෙන් වෙං කරල හිතන්න කරන්න ගියාම වෙන අවුලක්. ඒ වගේමයි අනිත් පැත්තටත්. ආර්තිකේ කියන එක දේසපාලනෙං වෙං කරල හිතන්න බැරි විදියට බොහොම තැංවලදි මෙව්වයෙ සීමා ඉරවල් බොඳවෙලා යනවා. ප්‍රස්නේ එහෙම සංකීර්ණ එකක් උණත් ආර්තිකේ ගලවල අරං  යකඩ සේප්පුවෙ දැම්ම වාගෙ ආර්තික තියරි හදන්න ගිහිල්ල ඇතිවෙන හිරවිල්ලෙං බේරෙන්න දැං දැං මනෝ විද්‍යා තියරි වගේ එව්වත් කලවං කොරගන්න හදන බවක් පේනවා. කලිං වතාවක ග්‍රීස් යක්කු ගැන කියද්දි අජිත් මහතැන් එහෙම කතාවක් ලියල තිබුණ මතක ඇති.එතනදි කියවුණේ ආර්තික ප්‍රවාද යොදාගන්න පුළුවං වෙන්නෙ තාර්කික මිනිස්සුන්ට පමණයි කියන එක. නමුත් තාර්කික මිනිස්සු ඉන්නෙ කොහෙද කියන එකයි අපිට තියෙන පුරස්නෙ. මේ කාලෙ මිනිස් බුද්දිය හරි දියුණුයිලු නොවැ. ඉස්කෝලෙ ගිය වැඩිදෙනාට ඕනැ උගන්නල තියන විදියටම තමුං තාර්කිකයි කියල හිතන්න.

ඒ කොයි හැටි වෙතත් යූ ඇන් පියෙ සමස්තයක් විදියට ලොකු වියාපාරිකයො ඉහල තැංවලට ඉව අල්ලන එක අමුතු දෙයක් නෙවෙයි. ආර්තිකේ පැත්තෙං හරි දැක්ම තියනවාය කියන එක නෙව ඒ කාලෙ ඉඳලම උන්නැහෙලගෙ සටන් පාටෙ උණෙත්. ආර්තිකේ ගැන නොදන්න මිනිහෙකුට වියාපාර කොරන්න බෑ නෙව. කෙරුවත් සාර්තක වෙන්ට අමාරුයි. අනිත් දේසපාලන පක්සවලටත් වියාපාරිකයංගෙ උදවු පදවු හරි හරියට තියෙනවා. නැතුව ඉතින් මැතිවරණ හෙම කොරන්නෙ කොහොමෙයි? මේ තියෙන විදියට චන්දෙ ප්‍රචාරක වැඩ ආදියට යන වියහියදං හරි ඉහලයි නෙ. ඉතිං ඉස්සරටත් වැඩි ඇති දේසපාලනේ ආර්තිකේට තියෙන සම්බන්දෙ.

චන්ද්‍රිකා නෝනෙගෙ කාලෙදි කුස්සි කැබිනෙට්ටුව නියෝජනය කළ ලංකාවෙ ඉන්න මහා ධනවතෙක් ගැන කියවෙන බවයි මගේ මතකය. මේ වගේ ආණ්ඩු/පක්ෂ ආදිය හසුරවන අදිසි බලවේග ගැන අසරණ ජනතාවට එලිදරවු වෙන්නකොට කල්ගිහින් වැඩි. ඊනියා ප්‍රජාතන්තරවාදය කියල හිතාන හිටියට දේසපාලන විජ්ජා පොතපතවල මහප්‍රාණෙං ලියා තිබුණාට ඇතුලෙ වෙන්නේ වෙන වෙන මගුල්. මේ තියරි වලිං වැඩක් කරන්න අමාරු බව කාටත් වඩා දන්නෙ දේසපාලනේ යෙදෙන උදවිය.

ඔය සුපිරි පොරජාතන්තරවාදය තියනවාය කියන රටවල දේසපාලකයන්ගෙ වියහියදම් දරා ගන්නෙ උන්නැහෙලමයි. ඒ නිසා පොතේ විදියටයි වැඩේ යන්නෙ! ජනතාවට වග කියනවා. (වැඩිපුරම උදවු පදවු කළ ජනතාවට) තර්කානුකූලව හිතනවා. හරිම සෝක්.  ලංකාවෙ කොදෙවු මානසිකත්වය වගේ ප්‍රස්න නිසා ඒ පොතේ තියන විදියටම යන්නෙ නෑ. ඉස්සරහට අපේ රටෙත් ඉන්න බුද්දිමත් උදවිය එව්ව නිවැරදි කරල ගනීවි කියල අපට හිතෙනවා. (අපි වගේ අන්තවාදියොන්ට නැතත් ඒ උදවියට හරි ගොඩයන්න පුළුවං වීම ගැන සතුටුවෙන්ඩ ඕනෑ.) එහෙමත් හරියන්නෙ නැති රටවලටලුනෙ ඔය සුද්දො උඩින් ඇවිල්ල නොමිලේ ටියුසන් දෙන්නෙ! උන්නැහෙලට හරි වියදං ඔව්ව කරන්න. නමුත් සත්ත්ව කරුණාව නිසා අතිං වියදං දරාගෙන පාඩං උගන්නනවා. ඒ නිසා ඒ මහත්තුරුංගෙ පොත් පත් වල තියන විදියට වැඩකරන්ට කවුරුත් උත්සහවත් වෙන එක අරිට වඩා ලේසියි :)

ආයිත් මේ ප්‍රස්නෙට ආවොත්  අර කියපු බලවත් උදවිය නිකම් ආසාවට දේසපාලනේ කොරන්නෙ නෑ නෙව. පොජාතන්තරවාදය ජනතාපරමාදිපත්තය වගේ දේවල් එක්ක කෝම්පිට්ටු සෙල්ලං කොරන්න හෙම ආස නිසයි දේසපාලනේට එනව ඇත්තෙ. රනිල් මහත්තය මේ කාරණේ ඒ කියන්නෙ ජාතික ලයිස්තු මංත්‍රීකම් කොටිරාජල ඉල්ලපු එක එලිදරවු කරාට නොකරාපු එව්වත් හරි හරියට ඇති නෙව. උන්නැහෙල කොයිතරං යූ ඇන් පියට උදවු පදවු කොරල ඇත්ද? ඉතින් ජාතික ලයිස්තු මන්ත්‍රී කමක් (මොකක් නමුත් ජාතික උවමනාවකට මිස විජාතික උවමනාවකට වෙන්න බෑ නෙ 8) ඉල්ලුවාම රනිල් මහත්තය එකපාරටම බැහ් කිවුවානම් එහෙම හිත රිදෙන එක සාදාරණයි. මම නං කියන්නෙ මේවගේ ඇතුලෙ කුණු රෙදි ජනතාව ඉදිරියේ මඩේ දදා ආයෙමත් අපුල්ලනවාට වඩා ලේසියි ඇතුලෙ ඇතුලෙම සාකච්චා මැසිමට දාල විසඳගත්තා නම්. හෝදන කුඩු එහෙමත් ඉතුරුයි. කොටි ත්‍රස්තවාදෙ වගේ ජඹුර පුරස්න පවා සාකච්චාවෙං විසඳන්න උත්සහයක් ගත්ත නොවැ ඒ කාලෙ. ඉතින් නොපුරුදු දෙයක් නෙවෙයි රනිල් මහත්තයට. හැබැයි ඉතිං එහෙම එහෙම කොරල ජනතාවට බලන්න මෙගා ටෙලිනාට්ටි විතරක් ඉතුරු කොරන එකත් හරි මදි. මානසික සමබරතාවයට හානි වෙන්ට පුළුවං.

දැං ඔය ජාතික ලැයිස්තු මංත්‍රී ධුර හදලා තියෙන්නෙම ඔය වාගෙ තමුංගෙ යාලු මිත්‍රයොන්ට සලකන්න ඕනැවුණාම පාවිච්චියට ගන්න නේද? ජයවර්ධන ලොකු උන්නැහෙ ඒ අතිං දේසපාලනේ කියන්නෙ මොකද්ද කියන එක  ගැන ගැඹුරු දැක්මක් තිබුණ මනුස්සය. රනිල් මහත්තයගෙත් දේසපාලන ගුරුවරයෙක් කියල කියන්න පුළුවං. බොහොම වයසට ගිහිල්ල තමා ලොකු පුටුවට ආවෙ. ඒ වගේ අත්දැකීම් සම්බාරයක් ඇතුව හදාපු උන්නැහෙගෙ විවස්තාව නිසා චින්තන මහත්තය උණත් පෝයදාට උන්නැහෙව මතක් කරලා පිං අනුමෝදං කොරනවාට සැක නෑ. අනිත් පැත්තෙං පොරබාකොරංකාරය එහෙමත් නරකාදියෙ ඉඳං හරි චින්තන මහත්තයගෙ මෑණියො සිහි කොරන අතරෙ මුන්නැහෙගෙ ප්‍රම්..ප්‍රාවත් සිහි කොරනවා ඇති. ආයෙ පලාත් සභා මොන්ටිසෝරි ඇති කිරීමෙං දේසපාලකතුමාලගෙ ප්‍රායෝගික ඥානයයි ආර්තික තත්වෙයි නගාහිටුවීම ගැන උන්නැහෙට පිං දෙන්ට ඕනා. එහෙම බලාගෙන යනකොට ජනතාව හැටියට අපි උන්නැහෙව සිහි කොරනවා මදිදෝ කියලත් හිතෙනවා.


මේ යුගේදි බලවත් යැංකියොය කියන කාරණේ උන්නැහෙට වටහගන්ට පුළුවංකම තිබුණ උණාට උන්නැහෙ විස්වාසෙ තියපු තරං යැංකියොගෙන් උපකාරයක් ලැබුණදෝ කියල හිතෙනවා. ජපන්නුංව යුද්දෙං පරාද කළායිං පස්සෙ උන්ට සමාව දෙන පැත්තට කරපු කතාව නිසා උන්දැලගෙ හොඳ හිත ලැබුණ කියලයි කියවෙන්නෙ.

ලංකාව පැත්තෙං බැලුවාම ලොකු උන්නැහෙගෙ කාලෙදි කොටි බලවත් වෙලා ආවෙ. දෙමළ ජාතිවාදියොංගෙ උත්සව මාසෙ හෙවත් කළු ජූලිය ඇති කොරන්නත් උන්නැහෙ කටයුතු කොළා. ඇන් ජී ඕ උදවිය උණත් මුන්නැහෙට පිං අනුමෝදං කොරන්ට වටිනවා ඒ වගෙ උත්සව කාලයක් ලැබෙන තැනට වැඩ කොළාට.

ආර්තිකේ පැත්තෙං එහෙම උඩයට මාරු වෙන විදියෙ වෙනස්කං කොළා නෙව. ලංකාව නූතනවාදය දිහාට අරගෙන යන්න උන්නැහෙගෙං වෙච්චි වැඩකොටස අමතක කොරන්න බෑ. මං නං ලොකු උන්නැහෙව සලකන්නෙ නූතන ලංකාවෙ පියා හැටියට. මේ තියෙන්නෙ උන්නැහෙ හදාපු රට. විකිපීඩියාවට අනුව උන්නැහෙගෙ උපතිං අවුරුදු එකසිය පහක් වෙනවා මේ මාසෙට.

7 comments:

  1. නුතන ලංකාවේ පියා ජේආර් උන්නැහේ තමයි නැතන්ම් කට්ටියටම බණ්ඩා මැඩම් එක්ක ගල් යුගයටම යන්න තිබුනා , කොටි කතන්දරේට නම් ජේ . ආර් ලොක්කට වඩා වගකියන්න ඕනි අල්ලපු රටේ හිටිය එලදෙනයි එයාගේ පුත්තරයයි තමයි . අන්තිමේදි ජේ .ආර් ලොක්කා යහතින් ජීවත් වෙලා ලෙඩකින් මිය යත්දි අහක ඉඳන් පරිප්පු කන්න උනේ ඒ මෝඩ දෙබානටම තමයි (පුත්තරයට )

    මේ කාරණෙන් මතුවෙන තවත් දෙයක් තියෙයි , එදා ගමේ ච්ණ්ඩියා පෝස්ට් එකට වඩා දෙයක් නොතිබුන ඉන්දියාව , බටහිර මිතුරෙකුට බලපාපු විදිහ අනුව අද ආර්ථික හා දේශපාලනික බලවතෙක් වශයෙන් කොච්චර බලපැමක් කරන්න පුලුවන්ද කියන එකයි ඒ

    රනිල් සිරස ප්‍රශ්නයේදි රනිල් ලොක්කා අමුතු වැනිල්ලක් වැනුවා කියලයි මම හිතන්නේ මේ ඡන්දය ඉවර උනාට පස්සෙ ඒ ක හරියටම බලාගන්න පුලුවන් වෙයි . ඊට පස්සෙම මගේ අදහස කියන එක වඩා හොඳයි

    ReplyDelete
  2. මැතිණිගෙ ආණ්ඩුව කොරාපු වැඩේ මම අත්දැකීමෙං දන්නෙ නං නෑ. වැඩිහිටියංගෙන් අහපු කාරණා තමයි දන්නෙ. එතනදි ක්‍රියාත්මක වුණේ මාක්ස්වාදී දර්සනයක් කියන එකයි මගේ වැටහීම (මේ කතාවට මාක්ස්වාදියො එකඟ නැතුව ඇති) ඒක ජනතාව අතරට ගෙනයන්න බැරිවීම නිසා බිඳ වැටුණ. නමුත් අපට ඉතිහාසෙ නොවිච්චි දේවල් ගැන වර්තමානෙ ඉඳන් පසුකතන කොරන්ට බෑ. ඔය සමහරක් ලිබරල්වාදියො දන්නෙ පෙරළුණු පිට තමයි හොඳම පිට කියන්න විතරයි. මම හිතන්නෙ මැතිණිගෙ ආණ්ඩුව වමේ සමාජවාදය තදට ගත්තා වගේම තමා ජේ ආර් ලොකු උන්නැහෙ දකුණෙ ධනවාදය තදට අරගෙන උඩ යට මාරු කළේ. ඔය දෙකටම අහු නොවෙන ගමනක් යන්න අපිට පුළුවන්ද කියන එකයි මගේ පැත්තෙං අද තියන පුරස්නෙ.

    ReplyDelete
  3. මගේ මතයත් ජේ. ආර්. තමයි නූතන එහෙම නැත්නම් වර්ථමාන ලංකාවේ පියා විදියට ගන්න පුළුවන්. හැබැයි මට මැතිනිය ගැනත් පොඩි අදහසක් තියනවා. ඒත් එතුමිය එන්. එම්. ඉවත්කරගෙන වැඩේ නා ගත්තා කියන එක තමයි මගේ හැඟීම. ජේ. ආර්ට නියම වයසෙදි බලය ලැබුනා නම් අද ලංකාව බොහෝ දුර ගමනක් ගිහින්. ඒත් මටත් මේක දැනෙන්න ලොකු කාලයක් ගියා. අපි හිතන විදිහ තමයි වැරදි. (මම පවා)
    හැබැයි දෙමල ජාතිවාදයට කළු ජූලියට යැංකි ඩිකී ලොක්කට වඩා බලපෑවේ කළුවා දෙවගේ සිරිල් මැතුව් ලොක්ක. මම ඇස් දෙකටම දැක්ක පොරගේ ගෝලයො ජාති ආලෙන් මත් වෙලා ලංකාව බේර ගන්න දාපු සෙල්ලම්. මට මේ ජරා ජාති වාදෙ එපා වුනේ එදා.

    1970 කාලයේ ජේ. ආර්ට මැතිනියත් එක්ක ආංඩුවක් හැදීමේ අදහසක් තිබුන කියලා මම අහලා තියනවා. ඒක හරි ගියානම් අද ලංකාව , ......
    මේ වගේම අවස්ථාවක් 1940 - 50 ගනන් වලද් ඇති වුනා. සියළුම නායකයෝ දෙමල සහ සිංහල එකතු වෙලා ආංඩුවක් ජාතික රජයක් හදන්න ගියා. ඒකෙ නායකයා වුනේ ශ්‍රී නිශ්ශන්ක. ඒ වැඩේ අපේ සෙවල බණ්ඩා ලොක්කා නිසා නැති වුනා. මම හිතන්නේ මේ තමයි අපිට ලැබුනු සීමිත අවස්ථා ටික අතරින් දෙකක්. අපි ඒ දේවල් හරියට කළමණාකරනය කලා නම් අද .......

    ReplyDelete
  4. පොඩ් ගමයා UAE වල පෙරමුන රාලගෙ වෙබ්සයිට් එක බොලක් කරල ඉයෙ ඉදල

    ReplyDelete
  5. දවස් දෙක තුනක්ම දැලට ගොඩවෙන්ට බැරිවුණා. පෙරමුණේරාලව නවත්තලාද? තාවකාලික ප්‍රස්නයක් නිසා බලන්ට බැරිද? සාමාන්‍යයෙං මුස්ලිම් රටවල් අතරෙ තියන ඒකීය හැඟීම නිසා එහෙම දෙයක් කොරන්ට බැරි කමක් නෑ.

    ReplyDelete
  6. 40-50 ගණන්වල දේසපාලනේ ගැනත් මට කියන්න වෙන්නෙ බුවාට කියපු කතාවම තමා. බණ්ඩාරනායක මහත්තය තනියෙන් කරපු වැඩක් නෙවෙයි 56. මෙත්තානන්ද මහත්තයල ඤාණසීහ හාමුදුරුවො ඊලඟට බෞද්ධ කොමිසමේ වාර්තාව ආදියත් ඔය කතාවට වැදගත්.

    ReplyDelete
  7. නැහ ම0චන් රාලගෙ එතකොට සි0හල රාවය ස0හල බුදිස්ට් ඔය 3ම බොලොක් කරල අරාබ්යට සි0හල බැරිඋනාට අරාබ් පුලුවන් ල0කාවෙ හම්බයො මෙහෙ ඉන්නවනෙ කලින් කොමන්ට් එක එවුඑව්ත් මම බගෙ සයිට් එකත් බුක් මාක් කරගන බලනව කොම්න්ට් නොදැම්මට

    ReplyDelete

අටුවා ලියන්නට පෙර කියවා බැලීමට
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ලියන දෙයක් තේරෙන සිංහලෙන් ලිව්වොත් හොඳා. පොඩිගමයගෙ ඉංගිරිස් දැනුම අන්තිමයි. සිංහලෙන් යතුරු ලියන්න බැරි නම් පරිවර්තකේ පාවිච්චි කරන්න.

කාරණාවට අදාල පුරස්නයක් හෙම අහනවා නම් පුළුවන් තරං කෙටියෙන් අහන්න. වැල්වටාරං ලියන්න එපා.

කුණුහරුපෙන් බණින්න හිතෙනවා නම් පරිස්සමෙං ලියන්න. නිසි බලදාරිය මහත්තයා වැඩ.

කාරණේට අදාල නං මිස වෙනත් අඩවිවල දාපු ලියුම් වලට සබැඳි දාන්න එපා. තමංගෙ අඩවියට සබැඳියක් දාගන්න ඕන නම් ඉල්ලීමක් කරන්න.