Saturday, October 31, 2009

අසමගිය වෙනුවෙන් පොදු අපේක්ෂකයෙක් !

පහුගිය දවස්වල පොඩිගමයට කොම්පැනියෙ වැඩ සෑහෙන්න යෙදිල තිබුණයින් සිංහල බ්ලොග්කාරයන්ගෙ අඩවි බලන්න වෙලාවක් නැති උණ තරමයි. වැදගත් දේවල් කීපයක් දේසපාලනේ උණා නෙව. සරත් ෆොන්සේකා මහත්තය ගැන ලොකු කටකතා (සහ බොරු කතා) පැතිරිලා ගියා. අඃ පොඩි වැරදීමක්. පැතිරිලා ගියා කියල කිව්වාම ඉබේම පැතිරිලා ගියා කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒ වුණාට ඇස් කන් ඇරගෙන ඉන්න මිනිහෙකුට එකපාරටම පේනව සමහරක් උදවිය හිතාමතාම සිද්දිය උලුප්පල පෙන්නන්න දඟලපු හැටි. පත්තර පිටුවල "ජෙනරාල්ට එරෙහිව ජනාධිපති" පිළිබඳ ආටිකල්ද එව්ව ගැන තාප්පවල ගහන පත්තර පිටු සයිස් පෝස්ටර්ද එක කෙලියයි පහුගිය ටිකේ.

කමක් නෑ ඉතින් උන්දැලටත් මොකක්හරි ඉටිගෙඩියක් තියෙන්න එපායැ දේසපාලනේ කොරන්ට. ඔය කොළඹ තාප්ප පුරා අලවන පෝස්ටර් වෙන මොක නැතත් පාරවල් අයිනෙ බඩගින්නෙ ඉන්න හරකුන්ට ආහාර වෙනව. ඔය අහිංසක සත්තු කුණු ගොඩවල්වල තියන පොලිතින් එහෙම කාල ලෙඩ වෙනවලු. පාංපිටියෙන් හදන පාප්පත් එක්ක කඩදහි කොල කෑවට අච්චර හානියක් වෙන්නෙ නැතුව ඇතෙයි කියලයි මං හිතන්නෙ.

කොහොම උණත් ඔය සිද්ධිය ගැන උඩ පැනපු එවුන් එකෙන් ලැබුවෙ කාලකන්නි සතුටක්. සරත් ෆොන්සේක මහත්තය රටට සම්පතක්. සමහරක් උන්ට ඕන ඇති උන්නැහෙව ජනාධිපතිවරණෙට දාල තමංගෙ අත පිච්චෙන එක වලක්වගන්න. අනිත් අතට උන්නැහෙට ආංඩුවෙන් කැපිල්ලක් එන එක ගැනත් සතුටුවෙන එවුන් ඇති අර ප්‍රභාකරන්කාරයට වැඩේ දීපු එක ගැන තියෙන තරහට.

කොහොමින් හරි සරත් මහත්තය ඡන්දෙ ඉල්ලනවය කියල අපි හිතමු. සරත් මහත්තය ගැලවීමේ හමුදාවටවත් සුදුසු නැතෙයි කියාපු මොංගල් කොල්ලයි (වයස අඩු හින්ද නෙවෙයි) විපස්සතුමයි කැමතියි මේ වැඩේට. මොකද ලොක්කට තරඟයක් දෙන්න තමන්ට බැරි හින්ද. ඊනියා පොදු අපේක්ෂකය විදිහට ඉදිරිපත් වෙලා සරත් මහත්තය දිනුවත් පැරදුනත් උන්දැලට නැතිවෙන්න දෙයක් නෑ සරත් මහත්තයට මිස. අර කතාවක් තියනවනෙ පැදුරෙ ඉන්න මිනිහට වැටෙන්න තැනක් නෑ කියල.

හැබැයි සරත් මහත්තයගෙ දේසපාලන ගමන දෙවන පියවරෙන්ම අවසන් වෙනව උන්නැහෙ පැරදුනොත්. හොඳයි කාටද ඒකෙන් පාඩු වෙන්නෙ? සරත් මහත්තයට වඩා ඒකෙන් පාඩුවෙන්නෙ සිංහලයන්ට. මොකද උන්නැහෙ හැම ප්‍රශ්නෙටම සිංහලයන්ගෙ පැත්තට ඇඟිල්ල දික්කරන සමහර දේසපාලුවො වගේ නෙවෙයි. වහෙන් ඔරෝ නැතුව කෙලින් කතාකරනව. කවුරුත් දන්නවනෙ කලින් කියපු දෙන්න වැඩකරන්නෙ සිංහලයන්ට විරුද්ධව කියන එක. අනිත් අතට උන්නැහෙ දිනුවොත් (එතකොට ආණ්ඩුව වැටෙන එක වලක්වන්න බෑ) ඒ මාර්ගෙං බලයට එන්න පොටක් පාදගන්න පුළුවන්ද කියල හීන මවන එවුනුත් ඔය අතරෙ ඇති.

ෆොන්සේක මහත්තය රටට සම්පතක්ය කියල මං ආයෙත් කියනව. නිර්මාණශීලී විදිහට වැඩක් කරන්න පුළුවන් මනුස්සයෙක්නෙ. ඒවගේ කෙනෙකුට ක්‍රීඩා අමාත්‍යංශෙ මල ඉලවු ලේකම් කමක් දීල ඇති වැඩක් නෑ. උන්නැහෙයි ලොක්කයි සමගිව හිටියයින් රටට වැඩක් කරන්න අවස්ථාවක් ලැබුණ. ඉස්සරහට උන්නැහෙයි ලොක්කයි අතරෙ විරසකයක් ඇති උනොත් පාඩුව වෙන්නෙත් රටට. බුදුහාමුදුරුවො ලිච්ඡවි රජදරුවන්ට අපරිහානීය ධර්ම හතක් කියල දුන්න නෙව. අන්න ඒව සිහියෙ තියාගෙන වැඩකරන්න කියල විතරයි මට කියන්න තියන්නෙ.

Friday, October 16, 2009

කලාව සඳහා කලාව මොක්කුන්ට බලන්නද?

කලාව සඳහා කලාව කියන්නෙ ජනප්‍රිය පණ්ඩිත මතයක්. අහල ඇතිනෙ ඔය ලංකාවෙ ඉන්න මහා කලාකරයො කියල කියන එව්වො පත්තරවලට ප්‍රකාශ දෙනකොට ඔය වාගෙ ප්‍රබුද්ද අදහස් එලියට දානව. මේක එක පැත්තකින් කලාකාරයන්ට ඇඟ බේරගන්න ලේසි වෙන්න පාවිච්චි කරන කතාවක්. අනිත් අතින් තමංගෙ පාණ්ඩිත්‍යය පෙන්නන්නත් මේ වගේ එව්ව කියනව. කොයි විදිහෙන් හරි මේ කතා අහල අන්තිමට ජනතාව රැවටෙන එකයි වෙන්නෙ.

කලාව සඳහා කලාව කිවම හරි ලේසියි ඕනැම බහු බූතයක් චිත්‍රපටියකට (නැත්නම් නාටකේකට බැරිනම් බ්ලොග් එකකට හරි) දාල ඒක මිනිස්සුන්ට පෙන්නන්න.කිසි වගකීමක් නෑ. චිත්‍රපටියෙ කතාවෙන් ඕන බොරුවක් කිව්ව හැකි. ඔය කලින් වතාවක් මං කියාපු බොරු සම්භාව්‍ය චිත්‍රපටි ගැනත් ලොකු කලබලයක් ඇති උණා නෙව. වතාවක් චිත්‍රපටියක් තහනම් කලාම චිත්‍රපටි තහනම් කරන්න එපාය කියල අර කලාපොරවල් ලොකු සද්දයක් දාන්න හැදුව.නමුත් ප්‍රස්නෙ තියෙන්නෙ ඔය චිත්‍රපටි පෙන්නනවනෙ රූප පෙට්ටියෙයි බයිස්කෝප් හෝල් වලයි. එතකොට අරකට මේකට මොකට හැදුවද කියල නෑ අන්තිමට ජනතාවට බලන්න හැදුව වෙනව. මොකෝ ඔය එකම පණ්ඩිතයෙක්වත් කියන්නෙ නෑනෙ මගෙ චිත්‍රපටිය බැලීමට ජනතාවට අවසර නැතිය නිකම් කලාව සඳහා පමණයි කියල!

ඔය විදිහට බයිස්කෝප් බලන මිනිහෙක් ඒකෙන් මොකක් හරි දෙයක් තේරුම් ගන්නව. එතකොට අර බොරු පණ්ඩිත කතාවෙන් වැඩක් නැතුව යනව. මේ කාරණා හින්ද චිත්‍රපටි වලට වාරණ පනවන එක වරදක් නොවෙයි. අනිත් එක කලාකාරයන් කියල මේ රටේ අමුතු වැදගත්කමක් හදාගන්න ඉඩදෙන්න ඕනත් නෑ ගහක් ගලක් ගානෙ හිටිය පලියට. අනිත් හැම එකාටම වගේ තමා සීමාවක් තියාගෙන වැඩ කරන්න දැනගන්න ඕනැ.

Thursday, October 1, 2009

මතක තියා ගමු

ආයෙමත් කියන්න යන්නෙ පරණ කතාවක්. පොඩිගමය පරණ දේවල්ම ඇදල ගන්නෙ මොකද කියල කෙනෙකුට ප්‍රශ්ණයක් එනව ඇති. එකක් අර අමතක වීමේ ලෙඩේට පිළියමක් හැටියට. අනිත් එක මේ අවුරුද්දෙ ලංකාවෙ ඉතිහාසයෙ අලුත් පිටුවක් පෙරළුණා. (මං එහෙම ලියනකොටම අපේ සමහර අයියලගෙ හිත්වල ප්‍රශ්ණ වැල් හටගන්න බව මං දන්නව. කොහොම වුණත් දැන් පිටුව පෙරලිලා ඉවරයි.) කලින් පිටුවල ලියාපු දේවල් වල වැරදි තැන් දැන් පෙන්නල දෙන්න ලේසියි. තේරුං ගන්නත් ලේසියි.

උදාහරණයක් විදියට කොටි පරාද කරන්න බෑ කියපු කතාව ඇස් පනාපිට කෙප්පයක් බවට පත්වුනේ හුඟදෙනා නොහිතපු විදියට. මේක වෙච්ච වේගෙට ඒකයි ඒවගේ තව කතන්දරයි රටේ පතුරවාපු කුලීකහින්නො(විතරක් නෙවෙයි) වගේ අය තක්බීර් වෙලා ගියා හරියට අර සුනාමියට අහුවෙච්ච කෝච්චියක් වගේ. ඒ අර්තෙං ගත්තාම "කොටි සමග හෙලුවෙන්" හිටපු අයියල අක්කල සෙට් එකත් කොටිත් එක්කම පරාද උණා.

හැබැයි ඉතින් කුලී ලියන්නන්ට කශේරුකාවක් කියල එකක් නැති නිසා තමං එහෙම දේවල් කාලෙකට ඉස්සර හිතුවෙවත් නැති ගාණට උන් දැන් ඉතුරු වෙච්ච වැල් බයිල ටික දිගටම වාදනය කරනව. අපිට අමතක වෙනකන් ඉඳල අර අවතැන් වූවන් අතරෙ ඉන්න කොටි වගේ පස්සෙ කල එලි බහින්න මුන්දැලත් බලාපොරොත්තුවෙන් ඇති. ඒ හින්ද අමතක නොකර කට්ටියගෙම මූණත්තහඩු මතක තියාගම්මු.

මතකද මන්ද තමුන්නැහෙලට ඔය බොරු සම්භාව්‍ය චිත්‍රපටි කියල එව්ව හැදුව රටේ මිනිස්සුන්ව නොමග යවන්නයි රණවිරුවන්ව සමච්චලේට ලක් කරන්නයි. දැන්නං සමහර උන්ට රණවිරුවන් ගැන ලොකු දයාවක් පහල වෙලා. රණවිරුවන්ව විකුණන්න එපාලු. කරුණාව ගලා බහිනවා! ඕකට සිංහල මිනිස්සු කියන්නෙ කන්න ඕන උණාම කබරගොයා තලගොයා කරගන්නව කියල. අපරාදෙ කියන්න බෑ ඒකනං කරනව අගේට.

සමහර උං කිවුව හමුදාව කරන්නෙ රස්සාවක්ය හමුදාවට බැඳෙන්නෙ සල්ලි හොයන්න විතරය කියල. තවත් උන් කිවුව දෙමළ තරුණයන්ට අවි ගන්න හේතුවක් තියනවය ඒ සිංහලයන්ගෙන් වෙච්ච අසාධාරණකම් ය කියල. උන් නිකමටවත් ඇහුවෙ නෑ දෙමළ ජාතිවාදයයි ත්‍රස්තවාදයයි නිසා සිංහල මිනිස්සුන්ටයි මුස්ලිම් මිනිස්සුන්ටයි විඳින්න වෙච්ච වේදනාව අවි ගන්න හේතුවක් නොවෙන්නෙ මොකද කියන ප්‍රශ්ණෙ.

අනිත් එක ඩොලර් වලට කහින එකෙන් තරම් ලොකු ආදායමක් හමුදාවට බැඳිල හොයන්න බැරි බවත් අපි අමතක කරන්න නරකයි. ඩොලර් කාක්කො හිතනවද දන්නෙ නෑ අනිත් හැම එකාම තමුන් වගේය කියල. අද කාලෙ හැටියකට සුළු මුදලක් ලබන්න ජීවිතේම පරදුවට තියයිද මනුස්සයෙක් රට ගැන පොඩි හරි හැඟීමක් නැතුව. වැඩේට හරි නායකත්වයක් ලැබුණාමයි ඒ හැඟීම පණගහල එන්නෙ. සිද්ධ වුණෙත් ඒකයි. ඕක කුලීකැස්සන්ට තේරෙන්නෙ නැති උණාට හැඟීම තියන එකාට තේරෙනව.