Sunday, November 8, 2009

කොන්ත නෝනා සහ කොන්ඩි නෝනා

කොන්ත නෝනා ගැන සබ්ජෙක්ට් කොල්ල ලියාපු දේ තමුන්නැහෙල කියවන්න ඇතිනෙ. ඉන්ගිරිස් පොත පත කියවල එව්වයෙන් ඉගෙන ගත්තු දේවල් සිංහලෙන් ලියන තමන්ගෙ රචනාවට එකතු කරන්න මිනිහ දස්සය. ඕක කියවන දවස්වල හිලරි නෝන ගැන කතාබහක් ඇති වුණ බවයි මගෙ මතකය. හිලරි නෝන දිගින් දිගටම ලංකාවට විරුද්ධ ප්‍රකාස නිකුත් කලා පහුගිය දවස්වල.

හිලරි නෝනත් ඔබාම ලොක්ක එක්ක මහ පුටුවට තරග කරන්නයි හිටියෙ. හැබැයි පස්සෙ තරගෙන් ඉවත්වෙලා ලොක්කටම සහයෝගෙ දුන්න. ලොක්ක දිනුවයින් පස්සෙ හිලරි නෝනට දුන්නනෙ කලින් කොන්ඩලිසා (එයාට ආදරේට කියන්නෙ කොන්ඩි කියල) නෝනට දීල තිබුන තනතුර. කලුපාට හමක් තිබුන පළවෙනි යැංකි රාජ්‍ය ලේකම්වරිය කියල කියන්නෙ උන්දැ.

කොහොමින් හරි හිලරි නෝනයි මිලි බෑන්ඩ් ගොයියයි තමා ලංකාවට එරෙහි ප්‍රකාශ නිකුත් කිරීමේ පෙරමුණ අරන් වැඩ කලේ. මේ ප්‍රකාශ වලින් ඇඟවෙන්නෙ මොකද්ද කියන එක ගැන නොයෙක් දෙනා නොයෙක් මත පලකළා ඒ දවස්වල. අවාසනාවට හුඟදෙනෙක් තාමත් පිළිගන්නෙ නෑ කොටින්ගෙ පිටිපස්සෙ හිටියෙ බටහිර රටවල්ය කියන කාරණේ. සමහරු කියන්න හැදුව කොටි ඒ රටවල දේසපාලකයො සල්ලි දීල බාගෙන මේවගේ ප්‍රකාස කරවගන්නවය කියල. මේ නෝනලයි මහත්තුරුයි ඒ ඒ තනතුරු වලට පත් කොරන්නෙ තමන්ගෙ පුද්ගලික මතවාද ලෝකෙ වටේ කිය කිය යන්න නෙමෙයි. හොඳයි අපි නිකමට හිතමු ඒක එහෙමමයි කියල. එතකොට මිලිබෑන්ඩ්ටයි හිලරිටයි පුළුවන්ද සරත් මහත්තයගෙන් ප්‍රශ්න කරන්නයි අපිට විරුද්ධව යුද අපරාද චෝදනා ගේන්නයි. ටිකක් කල්පනා කරන්න එපායැ මේ වගේ විහිළු කතා කියන්ඩ කලින්. එක්සත් ජාතීන්ගෙ ආරක්ෂක මණ්ඩලේදි වෙච්ච දේවල් ගැන මොකද කියන්නෙ? සල්ලි ටිකක් විසි කලාම කොටින්ට පුලුවන්ද රටකට විරුද්ධව චෝදනා ගේන්න මුලු ඒරොප්පෙම කැමති කරවගන්න?

මේවගේ සිද්ධි වලට කොටින්ගෙ සල්ලියි දෙමළ ඡන්දයි අමුණල සුද්දන්ගෙ කිලුටු රෙදි හෝදන උන්දැල වගේ නෙවෙයි කොන්ඩි නෝනල හිලරි නෝනල හෙම වැඩ කරන්නෙ. ඒ උදවිය රාජ්‍යතාන්ත්‍රික භාවයෙන් යුතුව තමයි තමන්ගෙ සරීර අවයව උනත් පාවිච්චි කරන්නෙ. වෙන විදියකට කියනවනම් යැංකි ආණ්ඩුවේ නිල මතයට පිටින් යන දේවල් කියන්න ඒ ගොල්ලන්ගෙ කටවල් ඇරෙන්නෙ නෑ. අරින්නත් බෑ. ඒ නිසා මේ ගොල්ල කියන කරන එව්ව ගැන අටුවා ලියන්ට කලින් අපේ රටේ පඬිතුමාල පොඩ්ඩක් නිවිහැනහිල්ලෙ කල්පනා කරන්න ඕන අදාල කාරණේ ගැන ඒ රටවල් නිලවසයෙන් කටයුතු කරන්නෙ කොහොමද කියන එක ගැන. මං අර එක්සත් ජාතීන්ගෙ මණ්ඩලේ කියන එක ගැන හෙම මතක් කලේ අන්න ඒකයි. එහෙම සංසංදනය කරල කිරල මැනල බලන්නෙ නැතුව විහිළු කතා කියන්න නරකයි. කොන්ඩි නෝනල නම් එහෙම විහිළු කරන්නෙ නෑ. විහිලු කරන්න ගිහින් අමාරුවෙ වැටෙන්න තරම් බබ්බු නෙවෙයි ඒ උදවිය.

ඔය අතරෙ සමහර චූ කොල්ලො ඉන්නව යැංකින්ගෙ රටේ තියෙන ප්‍රජාතන්තරවාදය ගැනයි මාධ්‍ය නිදහස ගැනයි මානව අයිතිවාසිකම් රැකීම ගැනයි අපිට කියල දෙන්න දත් හපාගෙන දඟලන. මේ දේවල් ගැන චූ කොල්ලන්ට වඩා හොඳට කොන්ඩි නෝනල දන්නව. ඉරාකෙයි ඇෆ්ඝනිස්තානෙයි යැංකියො කරාපු වැඩ අපිට අමතකද? රකින්න ඕන කාගෙ අයිතිවාසිකමද අයිතිවාසිකම් නැති මිනිස්සු කවුද කියන කාරණා ගැන තීන්දු ගන්නෙ කොහොමද කියන එක ඒ උදවියට කියල දෙන්න ඕන නෑ.

බටහිරයො කරන යුද අපරාද ගැන අමුතුවෙන් ලියන්න ඕන නෑනෙ. මේ හොර කොල්ලො කොච්චර රෙදි හේදුවත් ඒවයෙ තියන ලේ පැල්ලම් යවන්න බෑ. මට කනගාටු ඒ කොන්ත්‍රාත් අපුල්ලන්නො ගැන නෙවෙයි සමහර අහිංසක මිනිස්සුත් මුලාවෙ වැටිල ඉන්න එක ගැන. කොන්ඩි නෝන ආරක්ෂක උපදේශකකම කරන කාලෙ අල්-කයිඩාකාරයින්ගෙ මානව අයිතිවාසිකම් ගැනයි දෙන්න ඕන වධගැනයි හොඳ වැටහීමක් ඇතුව ක්‍රියා කරාපු වග පේනව. එහෙම රාජ්‍යතාන්ත්‍රික බාවයක් නැතුව ඔය වගේ උසස් තනතුරක් දරන්න පුළුවන්යැ? (අර රෙදි හෝදන කෙල්ලන්ට කොල්ලන්ටනම් ඔව්ව කරන්න කොහොමත් බෑ. කොටින්ම උන්ට රාජ්‍යතාන්ත්‍රික විහිළු තේරෙන්නෙ නෑ. බෙලි නවසිය අනූනවයක් අමු අමුවෙ කපාදාල එකෙක්ව නඩු අහල එල්ලුවොත් උන් ඒ එකෙන් තමා නිගමනය කරන්නෙ යැංකි ප්‍රජාතන්තරවාදයේ ශක්තිමත් බාවය)

"කොන්ත නෝනගෙ පස්ස කොන්ත නෝනට ඕන විදිහටලු" කියලයි කියන්නෙ. කොන්ත නෝනට පස්ස සම්බන්ධයෙන් තියන ඒ නිදහස කොන්ඩි නෝනට නෑ කියන එකයි අපිට තේරුම් ගන්න තියන්නෙ. ඒ නෝනලගෙ පස්සවල් ගැන තීරණ ගන්නෙ රාජ්‍ය දෙපාර්තමේන්තුවට ඕනැ හැටියට. ඒ නිසා අපට අර කතාව පොඩ්ඩක් වෙනස් කරල කියතෑකි "කොන්ඩි නෝනගෙ පස්ස යැංකින්ට ඕන විදිහටලු" කියල. හැබැයි ඔය කරණා ගැන ඉංගිරිස්කාරයො ලියාපු පොත්වල හෙම නං විස්තර තියෙන්න ඉඩ අඩුයි.