Showing posts with label බුද්ධාගම. Show all posts
Showing posts with label බුද්ධාගම. Show all posts

Thursday, July 21, 2011

"සයිබර් කඩයකින් මතුවූ සෙරේස්ට විද්වතාණෝ" - ඕපාදූපයා

"කවදත් උණු කැවුම් බඳු නැවුම් පුවත් ඔබට තිළිණ කරන ඕපාදූපයා විකල්ප පුවත්පත මෙවර තවත් ජාතික වැදගත්කමක් ඇති කරඅම්බයකට අත තැබූ බව ජනතාවට පවසන්නේ මහත් චිත්තප්‍රීතියෙනි. සිංහල බ්ලොග් අවකාසයේ පිපීමට වෙර දරන බුක්තිමතුන් සහ පාක්නයින් අකලට මලිනවී යා නොදී ඔවුනට නිසි තැන ලබාදීම ආස්චර්ය දිවයිනේ අබිවුර්දිය උදෙසා වූ පුවත්පතක වගකීම ලෙස සලකමු.

මෙවර අපගේ අවධානය දිනාගත්තේ ඉතාමත් විශේෂ පුද්ගලයෙකි. එතුමා මනෝරෝග පිළිබඳ විසේසඥයෙකි. මනෝ රෝග පිළිබඳව පමණක් නොව දර්ශනවාදය වැනි විෂයන් පිලිබඳවද මහත් දැනුම් සම්බාරයක් ඇත්තෙකු බව දැනගන්නට ලැබුණේ එතුමන්ගේ බ්ලොග් අඩවිය කියවීමෙනි. ආරක්ෂාව සඳහා රැඩිකල්තුමා යන අන්වර්ත නාමයෙන් අප හඳුන්වන ඒ මහතා රැඩිකල් යන වදන විප්ලවකාරයින්ටත් එපාවන තරමේ පට්ට රැඩිකල් අදහස් තම බ්ලොගය හරහා ලිවීමට පටන්ගෙන ඇති ආකාරයද දැකීමට හැකිවූ බව සතුටින් දැනුම් දෙමු.

කෙසේ වුවත් එතුමාගෙ වෙසෙස් හැකියාව හා සසඳන කල්හි මේ සියල්ලමැ දෙවන තැනට වැටෙන්නේය. මේ සුවිශේෂ හැකියාව නම් විඩියෝ මාද්‍ය බාවිතයෙන් Schizophrenia නම් මානසික රෝගය සොයාගැනීමට දක්වන සමත්කමයි. මේ ආකාරයට රෝග විනිශ්චය කිරීම සඳහා සමහරවිට උවමනාවන්නේ අදාල තැනැත්තාට තත්පර කිහිපයක් කතා කිරීමට සලස්වා එහි විඩියෝ පටියක් රැඩිකල්තුමාට දීම පමණි. එය බැලීමෙන් එතුමාට ඉහත සඳහන් දිව උලුක්වෙන නම සහිත රෝගය ඇතිනම් සොයාගතහැකි වේ. මේ ආකාරයට රෝග විනිශ්චය කල අවස්තාවක් අප විසින් පහත උපුටා දක්වා ඇත.


නව ක්‍රමය මගින්:
  • රෝගියා සහ වෛද්‍යවරයා මුනගැස්සවීමට අනවශ්‍ය වීම.
  • අන්තර්ජාලයෙන් ඈත පළාත්වල සිටින රෝගීන් පවා සොයාගත හැකිවීම.
වැනි වාසි රැසක් සැලසෙන බව එතුමා පැවසුවේය.

මෙතුමාගේ අධ්‍යයන බෞද්ධ දර්ශනය පැත්තටද යොමුවී තිබීම විප්ලවවාදී සහ විද්‍යාත්මකව සිතන පතන පාටකයන්ට සුබ ආරංචියක් වනු ඇත. දැනට ත්‍රිපිටකය වැනි බෞද්ධ පොතපත්වල එන ප්‍රධාන චරිතවලටද ඉහතකී මානසික රෝගය වැළඳී තිබුණාදැයි පරීක්ෂාකරමින් සිටින අතර එම අධ්‍යයනවල ප්‍රතිපලද අනාගතයේදී නිකුත්කිරීමට බලාපොරොත්තු වෙන බව එතුමා පවසයි. එම පර්යේෂණවලින් බුදුහාමුදුරුවන් මුගලන්හාමුදුරුවන් වැනි ඉතා ගරුකටයුතු චරිත පිළිබඳව ආන්දෝලනාත්මක කරුණු එලිදරවුවී ඇති අතර අනාගතයේදී මේ ඔස්සේ බෞද්ධ සමාජයේ රැඩිකල් වෙනස්කම් අපේක්ෂාකල හැකිය.

රැඩිකල්තුමාගේ අගය වටහාගෙන මේ අලුත් ක්‍රමය අනුව අන්තර්ජාලය හරහා විඩියෝ කැමරා ඔස්සේ මානසිකරෝග පරීක්ෂාකරන ක්‍රමයක් ඇතිකිරීමට බලදාරීන් කටයුතු කලයුතුයැයි අපි සිතමු. එවැන්නක් ඇතිකිරීමෙන් ආසියාවේ පමණක් නොව ලෝකයේම පළමුවෙනි තැනට පැමිනීමට හැකිවනු ඇති බවද අපේ අදහසයි. රැඩිකල්තුමා වැනි පාක්නයින් සිංහල බෞද්ධ ගෝත්‍රවාදීන් වැනි අන්තවාදී කොටස්වලින් ආරක්ෂාකරගැනීමද සිංහල බ්ලොග්කරුවන්ගේ වගකීමක් බැවු මතක් කරමු."

Wednesday, June 15, 2011

මිහිඳු මහරහතන්වහන්සේ ඉන්දියන් කිරීමට හැකිද? (2)

මේ ලියුම කලින්ම දාල තියන්නෙ පොසොන් පෝය දාට එලිදැක්වෙන්න. කියන්න බෑ නෙව එතකන් පණ තියේවිය කියල! අපේ බුදුහාමුදුරුවො ශ්‍රාවකයන්ට කිව්වෙ ජීවිතේ කොයි මොහොතෙ කෙලවර වෙයිද කියන්න බෑ. ඒ නිසා නිතර මරණය මෙනෙහි කරන්න කියලයි.

මිහිඳු හාමුදුරුවෝ ඉන්දියන් නොවේය කියල කලිං ලිපියක කියාපු කතාව සමහර කෙනෙකුට විකාරයක් වගේ පේනවා ඇති. මේ කාරණේ වැදගත් නිසා තව ටිකක් විස්තර ඇතුව බලමු.

මෙතනදි කවුරුත් අහල තියෙන දේ තමා අතීතයෙ දඹදිව කියා හැඳින්වුවෙ අද ඉන්දියාව කියා හඳුන්වන භූමිය කියන එක. කොහොම උණත් දඹදිව ඉන්දියාවටත් වඩා විසාල ප්‍රදේශයක් කියන එක තමා සමහර පොතපත බැලුවාම හිතන්න වෙන්නෙ.

කොහොමිං හරි කාරණේ පැහැදිලිවෙන්න අපි පොඩි උපමාවක් ගනිමු. ඔන්න අපේ අල්ලපු ගෙදර ඉන්නවා පවුලක් පෙරේරා කියන වාසගම තියෙන. පෙරේර ජෝඩුව වයසයි (වල පයයි ගොඩ පයයි කියල කතාවට කියන්නෙ) පවුලෙ බාල දරුව ඇර අනිත් එවුන් බැඳල වෙං වෙලා ගිහින්ය කියමුකො. ඉතින් අපේ ගෙදර උදවිය ඒ ගෙදර හඳුන්වන්නෙ පෙරේර මහත්තයලගෙ ගෙදර කියල වත්ත පෙරේර මහත්තයගෙ වත්ත කියල. මේ පවුලෙ බාල දරුව පවුලෙ අනිත් අයවගේ නෙවෙයි ටිකක් මරුමුස් නාස්තිකාර එකෙක්. මිනිහා ගෙදරිනුත් අකමැති කසාදයක් එහෙම බැඳගන්නවාය කියල කියමු.

ඔහොම ඉන්නකොට පෙරේර ජෝඩුව මිය යනවාය කියල හිතමුකෝ. දැං පොඩි පෙරේරා කරන වැඩේ තමංගෙ ගේ තියෙන ඉඩමෙං කෑලි කීපයක් සල්ලි උවමනාවකට විකුණල දාන එක. ඉතිං දැං ඉස්සර පෙරේර මහත්තයගෙ වත්ත කියල හඳුන්වාපු කොටස් ඔක්කොම එහෙම හඳුන්වන්න බෑ. මොකද එව්වයිං කොටස් වෙන වෙන උදවියටත් අයිති වෙලා තියෙන හින්දා. පාලනේ වෙනස් වෙලා ගිහිං.

දැන් ඉන්දියාවයි දඹදිවයි ගත්තාමත් එකයි කියල ගත්තට දේසපාලනේ වගේ ගත්තාම විසාල වෙනසක් තියෙන "රටවල්" දෙකක්.

පැරණි කාලෙ දඹදිව තිබුණාය කියන්නෙ සොළොස් මහ ජනපද.



වැදගත් කාරණේ පැරණි කාලෙ මේව ඔක්කොම එක රටක් නොවෙයි. වෙන වෙන දේසපාලන ඒකක. වෙන වෙන පාලකයො වගේම සමහර පාලන ක්‍රම උණත් වෙනස්. මීලඟට අශෝක අධිරාජයගෙ කාලෙ වෙද්දි මේව ඔක්කොම තමංගෙ අණසකට යටත් කරගන්න මෞර්ය පෙළපතට හැකිවුණා. හැබැයි එයිං පස්සෙ නැවතත් ඒක කැඩිල ගියා. ඔය විදියට එක එක පෙළපත් වල උදවිය තමංගෙ බලය පතුරවපු කාල "ඉන්දියන්" ඉතිහාසෙ තියෙනවා. මේව ඔක්කොම අද හඳුන්වන්නෙ ඉන්දියන් ඉතිහාසය හැටියට තමයි (ඔය උඩ තියෙන රූපෙත් තියෙන්නෙ ඒ විදියට). එහෙම උණාට එතනදි කෙරෙන්නෙ අද තියෙන ඉන්දියාව අතීතයට ආරෝපණය කිරීමෙන් යංකිසි විදියට සාමාන්‍යකරණයක් කිරීම.


සුද්දො තමංගෙ පාලනය අරගෙන ගියේ ඉන්දියාවයි පකිස්තානෙයි බංගලිදේසෙයි තවත් කොටස් ගණනාවකුයි ඉන්දියාව කියන තනි ඒකකයක් විදියට අරගෙන. ඔය උඩ තියන රූපෙ ඒ තනි "රට" පෙන්නුං කරනවා. දැං කවුරුවත් කියන්නෙ නෑ මිහිඳු හාමුදුරුවො බ්‍රිතානි-ඉන්දියාවෙන් ආවය කියල මොකද කියනවානම් ඒක කෙටිකාලීනව පැවතිච්චි දෙයක් කියල හිතනවා. නමුත් ලේසියෙංම වරදවා ගන්නවා උන්වහන්සෙ ඉන්දියාවෙං ආපු ඉන්දියානුවෙක්ය කියල. නමුත් අර ගාථාවෙන් උන්වහන්සෙම කියන්නෙත් දඹදිව ඉඳන් ආවය කියලයි. ඉන්දියන් ජාතිකත්වයක් නොතිබිච්චි කාලයක් සම්බන්ධයෙන් උන්වහන්සෙ ඉන්දියානුවෙක් විදියට ගැනීම හරි මදි බවයි පේන්නෙ. 

අද වෙනකොට ඉන්දියානු ජාතිකත්වයක් තියෙනවා නෙව. ඉන්දියානුවො අශෝක අධිරාජයා ගැන ගොඩක් ලොකුවට හිතන හේතුවත් සුද්දන්ගෙ ඉන්දියාවට බොහොම කිට්ටුවෙන් ගිය රටක් හදාගන්න හැකි වුණේ එතුමාට නිසාය කියන එකයි මගේ කල්පනාව. අනෙකුත් පෙළපත්වල උදවිය වෙනස් වෙනස් කොටස් වල බලය පතුරුව ගත්තා. ලංකාවත් එක්ක ඕක සංසංදනය කරල බලන්න පුළුවන්. තනි දූපතක් වගේම ඉන්දියාව තරං විසාල රටක් නොවෙච්චි ලංකාව ඉතිහාසෙ වැඩි වසයෙං පාලනේ උණේ තනි රටක් විදියට. 

අනිත් පැත්තෙන් ගත්තාම ඒ කාලෙ දඹදිව බලවත්ව තිබිච්චි බුද්ධ සාසනෙත් අද වෙනකොට නැතිගානයි. අද ලංකාවට බුද්ධාගමට වැදගත් තැනක් නැති ඉන්දියාව ආගන්තුකයි. මේ තත්වය පැරණි මගධයත් එක්ක නැත්නම් අවසාන කාලෙ දකුණට වෙන්න තිබුණු පළාත් එක්ක උණත් සසඳල බැලුවාම වෙනස පේනවා. අපි "ඉන්දියාව" දිහා බලන්නෙ අපේ පැත්තෙං එතකොට අපත් සමග සබඳකම් තිබුණු දඹදිව අද තියෙන ඉන්දියාවෙන් හත්පසිං වෙනස් කියන එකයි පේන්න තියෙන කාරණේ. අද වෙනකොට තියෙන්නෙ බෞද්ධ සංස්කෘතියට තැනක් නැති හින්දු සංස්කෘතිය බලවත් වෙච්චි ඉන්දියාවක්. අර සමහර නූතනවාදීන් අතින් තොරොම්බල් කෙරෙන මුම්බායිකරණය ඒකත් එක්ක අත්වැල් බැඳගෙන යන බව පේනවා.

දැං ආයෙත් පෙරේරලගෙ කතාවට ආවොත් එහෙම මේ මනුස්සයාගෙ ගෙදර වලි. අහල පහල ගෙවල් එක්කත් හොඳ මදි. බීගෙන ඇවිත් ගෙදර රණ්ඩු සරුවල් කරගන්නවා. මහ රෑට බජවු දාගෙන නින්දත් නැති කොරනවා කියල හිතන්න. ඉතින් ඔහොම යනකොට මේ ගෙදරට මිනිස්සු කියනවා "යකා ගෙදර" කියල. ගේ "පෙරේර මහත්තයලගෙ ගෙදර" උණාට මොකද දැන් ඒකට එහෙම කියන්නෙ නෑ.

මං කියන්නෙ නෑ ඉන්දියන් කාරයො කියන්නෙ යක්කුය කියල. නමුත් ඉන්දියානුවෙක් කිව්වාම මගෙ හිතට එන ප්‍රතිරූපය මිහිඳු හමුදුරුවන්ට යොදන එක හරිම අපහසුයි. හරියට නිකන් අර "යකාට" පෙරේර මහත්තය කියන්න බැරුවා වගේ. ප්‍රාථමික පංතිවල හිටපු කාලෙත් ඔය පුරස්නෙ මගෙ හිතේ නොතිබුණා නෙවෙයි. එහෙම හිතෙන්න මෑත ඉතිහාසයත් බලපාන් ඇති.

Monday, April 18, 2011

මිහිඳු මහරහතන්වහන්සේ ඉන්දියන් කිරීමට හැකිද?

අර ලංදියන්කාරයො ලංකිස්තාන්කාරයො ගැන ලියාපු දේවල් ගැන සමහරක් උදවිය නොසතුටිං ඉන්නවාය කියන එක පැහැදිලියි. සමහරු කිව්වා එව්වා ලිවීමෙං නැති පුරස්න ඇති වෙනවාය කියල. ඒ කියන්නෙ ඒ උදවිය හිතනවා ඒක පුරස්නයක් නොවෙයි කියල. ඒ උදවියට අනුව පුරස්නෙ ඒ ගැන කතා කිරීමයි. කතා නොකර ඒක නොදැක්කා වගේ හිටියාම පුරස්නයක් නෑ කියන එකයි ඒ උදවිය කියන්නෙ. සමහර විට ඒ උදවිය කොටි කියන්නෙත් පුරස්නයක් නොවෙයි කියල හිතුවා(හිතනවා) වෙන්ට පුළුවං.

කොටි පුරස්නෙ කම්මුතු උණාට හැබෑ පුරස්නෙ තාම තියෙනවාය කියන එක නං බොහොමයක් දේසපාලන පඬිවරු දෙසා බාන මතයක්. පොඩිගමයත් හිතනවා එහෙම පුරස්නයක් තියෙනවාය කියල.හැබැයි ඒ පඬිතුමාල දෙසාබාන එක නං නෙවෙයි. අර ලංදියන් කතන්දරේ ඒ පුරස්නෙ මොකද්ද කියල පෙන්නුම් කරන කණ්ණාඩියක් වගේ. ඕක කිරිකැට් තරග වලදි තමයි හොඳට මතුවෙලා පේන්නෙ. මතුවෙලා පේන්න ප්‍රධාන හේතුව තමා මිනිස්සුන්ගෙ ජාතිකත්වය එතනදි ඉහලට එන එක. එතකොට යම් කිසි විදියක විජාතික එකතුවක් විදියට කැපිල පේනව අර සුළු පිරිස. නමුත් දේසපාලනේ වගේ තැංවලදිත් ඕක එහෙමම තියෙනවා. දේසපාලනේදි සුළු ජාතික දේසපාලන පක්ස කියල ජාතියක් හැදිල තියෙනවා. ඒවා සාමාන්‍යයෙන් සුළුජාතික බෙදුම්වාදවලට උඩගෙඩි දෙනවා. පොඩිගමය කියන්නෙ මේ ප්‍රස්න පැස්බරා වැල්ලෙ ඔලුව හංගනවා වගේ වහල තියන්නෙ නැතුව කතාබහට ලක්වෙන්ට ඕනෑ. නැත්නම් ඔව්ව ඉස්සරහටත් ප්‍රස්න හැටියට පවත්වාගෙන යන්න වෙනව. එහෙම කළාය කියල රටට වැඩක් වෙන්නෙ නෑ.

මහින්ද මහරහතන්වහන්සේ ඉන්දියන් කරන්න හදන්නෙත් මේ ප්‍රස්නෙ අවුල්කරල යටගහන බලාපොරොත්තුවෙන්ය කියන එක පැහැදිලියි. මෙව්ව අවුල් කරගන්න එක වලක්වන්න ලංදියන්කාරයෙක් වීමේ මූලික අවශ්‍යතාවක් හැටියට අපි ලංකාවේ රටවැසිභාවය දෙනව. නමුත් ඒක විතරක් ප්‍රමාණවත් වෙන්නෙත් නෑ. ඉන්දියන් ජාතිකත්ව ගැතිභාවයක් යං කිසි ආකාරයකින් තියෙන්ටත් ඕන කරනවා. මිහිඳු හාමුදුරුවො ඉන්දියන් කිරීමට හැකි වුණා නම් ඒ මගින් පණ්ඩිතයෙකුට පුළුවන්කමක් ලැබෙනවා උන්වහන්සේට ඉන්ලංකා කාරයෙක් නැත්නම් වෙනත් ඒවගේ නමක් දාල ලංදියන්කාරයිංගෙ කැතවැඩේ වහල දාන්න.

පළවෙනියෙන්ම කියන්න තියෙන්නෙ ඉන්දියාව කියල එකක් උන්වහන්සේ වැඩ ඉඳපු කාලෙ තිබුණෙ නැතය කියන එක. එහෙවු එකේ උන්වහන්සේ ට ඉන්දියන් නාමයක්වත් තියෙන්න හැටියක් නෑ . ඒ කාලේ ඉන්දියාවට අයිති කොටස් (දැං පකිස්තානෙත් නේපාලයත් ඇතුලු වර්තමාන ආසියාවෙ විසාල කොටසකුත්) දඹදිව කියා හඳුන්වාපු වග අහල ඇති නෙව.

එතකොට ආයිත් කෙනෙකුට අහන්න පුළුවන් රටේ නම මොකක් උණත් මිහිඳු හාමුදුරුවො "ඉන්දියාවෙ" පුරවැසියෙක් විදිහට ඉඳගෙන ලංකාවට ඇද්ද නේද නැත්නම් ලංකාවට ඇවිල්ල ඉන්දියාවට පක්සපාත විදියට කටයුතු කළා නේද කියල ? මේකත් මොට්ට පුරස්නයක් මොකද උන්වහන්සේ ලංකාවට ආවේ ධර්ම දායාදය දීල රටේ බුද්ධසාසනේ පිහිටුවන්න මිසක් දඹදිව රාජ්‍යයක් වෙනුවෙන් මොනම ආකාරයකවත් දේසපාලන කොන්තරාත්තුවක් කරන්න නෙවෙයි. ලංදියන්කාරයො ලංකිස්තාන්කාරයො ගත්තාම කතාව වෙනස්. උන්දැලා දේසපාලනිකව ඉන්දියාවත් එක්ක ගැට ගැහෙන්න හීන මවන කට්ටියක්. ලංකිස්තාන්කාරයොත් ඒවගේ කෑලි ගලවගෙන මූට්ටු කරගෙන බලේ පතුරුවන්ට පුළුවන්ද කියල බලනවා

පුරස්නයක් අහනකොට මීට වඩා ටිකක් හිතල මතල අහවිය කියල නෙව අපි උණත් බලාපොරොත්තු වෙන්නෙ කො..හෙද ඇහුවොත් 5 පන්තියට හරියන පුරස්නයක් තමා අහන්නෙ . අර හුරුල්ල නමිං අටුවාවෙ දාපු කොමෙන්ටුව හුරුල්ලෙක්ට තියා හාල්මැස්සෙක්ටවත් පිළිගන්න පුළුවං මට්ටමේ නැති වග පැහැදිලියි .

කොහොමිං හරි මිහිඳු මහරහතන්වහන්සේ එදා හිටපු සිංහලයෙකුට අද ඉන්න ඉන්දියන්කාරයෙක් අපිට තියෙනවාට වඩා අදහස් අතින් කිට්ටු වෙන්ට ඇතිය කියල හිතෙනවා. එහෙම නොවෙන්න දෙවන පෑතිස් රජ්ජුරුවොත් එක්ක අරවගේ ගැඹුරු සංවාදයක් කරන්න හැකිවෙයි කියල හිතන්න අමාරුයි. එහෙම බැලුවත් උන්වහන්සේ ඉන්දියන් කරන්න බෑ.


Friday, April 1, 2011

දුකා මහත්තයාගෙ අසපු කතාව ගැන එක අදහසක්..


දුකා මහත්තයගෙ බ්ලොග් එකේ බණක් කියන්න ගිහින් වෙච්චි අලකලංචියගැන තිබිච්චි ලියුම පොඩිගමයත් කියෙව්ව. දැං සිංහල බ්ලොග්කාරයො ගත්තොතිං එහෙම "බණ දහම්" දන්න උදවිය හරිම වැඩි කියන එකයි පොඩිගමයට හිතෙන්නෙ. ඇයි අප්පා බෞද්ධම කී ජාතියක් ඉන්නවද? ජනප්‍රියද රැඩිකල්ද දාර්ශනිකද ක්‍රිස්තියානිද (හිනාවෙන්න එපා ක්‍රිස්තියානි බෞද්ධ කිව්වම. එහෙම උනුත් ඉන්නවා) ආයෙ විද්‍යාත්මකද සිංහලද ඔයාකාරෙට වර්ග ගොඩයි. අපිත් යංකිසි විදියකට බෞද්ධ නෙව.

දුකා මහත්තයට වෙච්චි අකරතැබ්බය ගැන හිතන අතරෙම මට මතක් උණේ විවිධ විප්‍රකාර බෞද්ධයන්ගෙ වෙනස් වෙනස් බුද්ධාගං ගැන බ්ලොග් වල හෙමත් ලියවෙන හින්ද අපි උණත් අපේ බුද්ධාගම ගැන ලිවුවාට වරදක් නැතිය කියල. මොකෝ ඉතින් ඔය ලියන හැම එකාම මහා දැනුමක් අවබෝධයක් ඇතුව ලියනවා නෙවෙයිනෙ. මේ වෙනකං ඒ ගැන මොනවත්ම ලියන්නත් බැරි වුණා නෙව.

ඒ ලියුමෙ තිබිච්චි එක කාරණයක් තමා අර ආමිස-ප්‍රතිපත්ති ප්‍රස්නය. ඕකත් ඉතින් මහා ලොකු පුරස්නයක් නෙව මිනිස්සුන්ට වාද කරන්න. සාමාන්‍යයෙන් දාර්ශනික උදවිය ජනප්‍රිය උදවියට ආමිසයට බරයි කියල ගරහනවා. සමහර ජනප්‍රිය විප්‍රකාර විවේචනය කරන එකේ වරදක් නෑ . නමුත් දාර්ශනිකයො පිළිවෙතේ හරියටම ඉන්නවාද කියන එකත් ප්‍රස්නයක් . අද ඉන්න දර්ශනවාදීන්ට වඩා පිළිවෙතින් සරු උදවිය ආමිස පූජාවත් කළ බවයි මගේ නං කල්පනාව. රැඩිකල් උන්දැල බහුතරේ දෙකම විවේචනය කරනවා. නැත්නම් සියුම් විදියට පහර ගහනවා.

දුකා මහත්තය කියන විදියට බුද්ධ සාසනේ පැවැත්මටත් ආමිසේ උවමනායි කියන එක නම් ඇත්ත. නමුත් ආමිසය තමංගෙ විමුක්තිය පැත්තෙන් බැලුවත් අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා අපි නං ඔය දෙකම කරනවා. මොකද කියනවා නම් පොඩිගමයට පේන විදියට නම් ඔය දෙකෙන්ම කෙරෙන්නෙ එකම වැඩේ. ඔය හැමදෙයක්ම බෞද්ධයො කරන්නෙ අවසාන වසයෙං ගත්තාම නිවන් දකින්න හිතාගෙන නෙව.

මොන එකෙන් උණත් කරන්න වෙන්නෙ අවසානෙදි තණ්හාව නැති කරල දාන එක. එතකොට ආමිසෙන් හරි පිලිවෙතිං හරි ඕක සිද්ද වෙන්නෙ කොහොමද ? අපි දානයක් දෙනවාය කියල හිතමු. එතකොට තමංගෙ දෙයක් ගැන තියෙන ලෝබ හිත ටික වෙලාවකට හරි නැති කරගෙන ඒක දෙන එකනේ කරන්නෙ. ඒ කෙරෙහි තියෙන තණ්හාව බිඳ දානවා. එහෙම ගත්තාම දානයෙං තමංගෙ හිතේ තියෙන කෙලෙස් නැති කිරීම සඳහා යං කිසි විදියක පුහුණුවක් වෙන එකයි කෙරෙන්නෙ. (නිවන් අරමුණු කරගෙන දෙන දානයක් නම් ඒක දාන පරමිතාව බවට පත්වෙනවා. වැඩි විස්තර රේරුකානේ හාමුදුරුවංගෙ පොතපත කියෙව්ව නම් දැන ගත්තෑකි) සීලය උණත් එහෙමයි වචනය කය සිත සංවර කරගෙන ඉන්න පුහුණුවක් තමා කෙරෙන්නෙ. අනෙකුත් දේවල් ගැනත් ඔය විදියට බලන්න පුළුවන්.

ඒ නිසා දෙකම අවශ්‍යයි. සමහර කෙනෙක් නිවන් දකින්න ඕන මට්ටමට මේ පුහුණුව කරල තියෙන්න පුළුවන්. නමුත් ඕක හරියට දැනගන්න ක්‍රමයක් තමන්ට නැත්නම් කරන්න තියෙන්නෙ පුලුපුලුවං විදියට දානයත් දෙන එකනේ. අනිත් එව්වත් එහෙම තමයි ලැබෙන ලැබෙන විදියට කරන්න වෙනවා.

හැමෝම එකම මට්ටමේ නෙවෙයිනෙ ඉන්නෙ. මේ අත්බවයෙදිම එගොඩට යන්නත් පුළුවන් උදවියත් ඇති. තවත් සමහර උදවියට විට තව සෑහෙන්න කල් යන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා තමංගෙ මට්ටම හරියට දැන ගන්න ක්‍රමයක් නැත්නම් හිතේ මිම්මට වැඩ කරන්නයි වෙන්නෙ.