Wednesday, February 23, 2011

පයිංඩකාර මහත්තුරු - 2

පොඩිගමයත් ඉතින් ලියන්න දේවල් නැතුවා වගේ ආයෙමත් අල්ලගන්නවා සමන් මහත්තෙයවම . එක අතකට තේරුමකුත් නෑ මෙව්ව ගැන ලියල. සමන් මහත්තෙයල වගෙ උදවිය ඉතින් පොල්පිත්තෙන් දුසිම් බාගෙ ගානෙ කැපිය හැකෑ? හප්පා ඉතින් මහ දැන උගත්තු නෙව. ඒ නිසා මේ වගෙ මහත්තොරු ලියන කියන එව්ව තමුන්නැහෙලත් කරන්න වැඩක් නැති වෙලාවලට කියවන්න.

මේ පාර සමන් මහත්තෙය ලකාන් කියල පඬිතුමෙක්ගෙ මනෝප්‍රවාදයක් (ඒක නං මම හදාගත්තු නමක්.මනෝ ප්‍රවාද වලින් කරන්නෙ බොහෝ දුරටම මානසික වින්දනයක් ලබාදෙන එක) ගැනයි කියන්නෙ. සමන් මහත්තෙයලගෙ ගුරාලගෙ මනෝවිශ්ලේෂණ ප්‍රවාදවලට ප්‍රවාද කියල කියන එක නින්දාවට කාරණයක් කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒ මොකද හරිහමන් ප්‍රවාදයක් ගත්තාම ඒකෙන් යංකිසි සංගතකමක් ඇතුව අදාල දැනුම විස්තර කොරන්න එපායැ. ඉතින් අමාරුවෙන්වත් එහෙම කරගන්න බැරි ඒ කියාපු වර්ගයේ ප්‍රවාද හදන එකේ තේරුම ගැන අපි දැනට අමතක කරල දාමු.

මට ප්‍රස්නෙ උණේ ලකාන් පඬිතුමාගෙ කතාවයි සමන් මහත්තෙයගෙ ලැකානියානු(අප්පටම සිරි) උදාහරණයි අතරෙ තියන වෙනස. අරයා කියන්නෙ මවගෙන් දරුවා වෙන් කරන "සංකේත පියෙක්" ගැන මෙයා කියන්නෙ පියා "මවගේ කාරිය" කිරීම ගැන. එතකොට සමන් මහත්තය ලකාන්ව බෙල්ලගාවින්ම කපාදාල වෙනත් උදාහරණයක් දෙනවා. හොඳයි අපි කියමුකො ඒත් වෙන්නෙ දරුවා-මව/නැත්නම් මව වගේ පියා - දැන් ලකාන් උන්නැහෙට සිද්ද වෙනවා වලෙන් ගොඩ ඇවිත් වෙන කතාවක් ලියන්න- සම්බන්ධයම තහවුරු වෙන එකයි කියල.

දැන් ප්‍රශ්නේ වෙන්නේ සමන් මහත්තෙයගෙ උදාහරණම අනුව බැලුව උණත් අද කාලෙ බොහෝ දරුවන්ට මේ කියන "සංකේත පියෙක්" මගින් තහනම් කාරිය (prohibitive function) සිද්ද වෙනවා. උදාහරණයක් විදිහට මව වැඩට යන නිසා. සමන් මහත්තය මේ නිරීක්ෂණ පැහැදිලි කරන්නෙ කොහොමෙයි දන්නෙ නෑ? අනිත් අතට මෙයා කියන තොත්ත විදිහට ළමයි හදන්න වෙලාව තියන තාත්තල ඉන්නෙ කොහෙද? නඩු බලන මහත්තුරු ගැන නං ඉතින් අපි දන්නෙ නෑ. මොන්ටිසෝරිගාව රස්තියාදු වෙනවට තාත්තලට පඩි ගෙවන්නෙ කවුද?

අද වෙලා තියන්නෙ මවට හෝ පියාට ළමයා ගැන බලන්න වෙලාවක් නැති වීම. ඉතින් අම්ම අප්ප අඳුරන්නෙ නැති අමුතු එවුන් හැදෙන බව ඇත්ත. නමුත් හැම එකා ම එහෙම වෙන්නෙ නෑනෙ. ඕකට අහක ඉන්න ලකාන්ව ගාවගෙන ඒ මනුස්සයව අමාරුවෙ දාන්න ඕනද? සමන් මහත්තය කරන්නෙ ලකාන් හරි කියන්න නොසලකා හැරිය යුතු මට්ටමේ සවුත්තු උදාහරණ අරගන්න එක. අනේ මන්දා මෙව්වට වැය කරන පත්තර පිටු.

මුළු සමාජයේම තියන ප්‍රශ්න විග්‍රහ කරන්න මනෝප්‍රවාද! ඔච්චර වැඩ දාන්න පුළුවන්නම් ඉතින් බැරියැයි.

Saturday, February 19, 2011

ලංකාවේ සහ ඊජිප්තුවේ බරක්ලා සහ මුබරක්ලා


මුබරක් එලවාපු එක ගැන එක එක කතා කියවෙනවා. බීබීසී කාරයො (සීඑන්එන් කාරයොත් නැතිවෙන්න බෑ ) එහෙම ඔය සිද්දිය හෙනට පුම්බනවා. මේක ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් බව හැමෝම කියනවා . අපේ සමහර නෝන මහත්තුරු හෙමත් ඒවගේ අදහස් ලියල කියල තියනව මං දැක්ක. ඔය නෝන මහත්තුරුන්ට සීඑන්එන් එකයි බීබීසී එකයි වගේ හිතන්න පුළුවන් උණාට පොඩිගමයට එහෙම හිතන්න උගත්කමක් වත් පඬි මහිමයක්වත් නෑ නොවැ. ඔය නෝන මහත්තුරුන්ට පේන විදිහට නොවෙයි අපට එව්ව මෙව්ව පේන්නෙ .

ඒ නිසා ඉතින් මං ඒවගේ ලොකු කතන්දර ලියන්න යන්නෙ නෑ. නෝන මහත්තුරු අමනාප කරන්නෙ මොකටෙයි. මං ලියන්නෙ වෙනම කතාවක්. අපේ ජාතක කතාවල එහෙම තියෙනවනෙ අතීත කතාවක් සහ වර්තමාන කතාවක්. අතීත කතාව වර්තමාන කතාවට සමාන්තරව සිදුවෙන්නෙ . ගොඩේ බයියෙක් ලියන මේ කතාවත් ඒවගේ. හා හා වැල්වටාරං මදෑ.

තමුන්නහෙලට මතකද මන්දා ලංකාවෙ මුබරක්ව එලෙව්වෙ ඊජිප්තුවට කලින් (ඒ මහත්තයට අපහාසයක් කරනව නෙවෙයි ඕං) කිරිකැට් ගැන උනන්දු උදවියට මතක නැතිවෙන්න බෑ . ලෝක කිරිකැට් සූරතාවත් කිට්ටු නිසා මට ඔය සිද්දිය මතක් උණේ . මේ වගේ සිද්දි අතරෙ තියන ලස්සන සම්බන්දකම් බොරු බේගල් කොම්පැනි කතන්දරවලට වඩා විනෝදයි .(ආයෙමත් පුරසාරම)

කිරිකැට් කණ්ඩායමේ දිගින් දිගට අසාර්ථක වෙද්දි මුබරක් මහත්තයව තියාගෙන ඉන්නෙ මොකටද කියල ඒ කාලේ කෙලිලොල් උදවිය ප්‍රස්න කළා . ඒ ගොල්ලො පාරට බැහැල කෑගැහුවෙ නැති උණත් ඒක තමා බහුතර මතය උණේ. ඒත් ඉතින් ඒ කිරිකැට් (සුදු මහත්තුරුංගෙ කිරීඩාව) මිස පොලිටික්ස් නෙවෙයිනෙ . රටම විරුද්ද උණත් මුබරක් මහත්තය දිගටම කණ්ඩායමේ හිටිය . බොහොදෙනා හිතුවෙ මුබරක්ව අයින් කරන්න බැරි කිරිකැට් තේරීම් කමිටුවෙ හිටපු බර පොරක්ගෙ බලපෑම නිසාය කියලයි . මුබරක් වගේම ඒ බරත් දැන් එතන නෑ. ඉතින් මේ කතාවෙන් කියන්නෙ ඒවගේ බරක් තියනකොට කොච්චර අඩුපාඩු තිබුණත් මිනිස්සුන්ගෙ බලවත් විරෝධයක් තිබුණත් තැනක රැඳී ඉන්න ඉඩ තියනවා .

වර්තමාන කතාවේ (ඊජිප්තු) මුබරක් ගැනත් එහෙමයි . උන්නැහෙ එකරැයින් බලයෙන් පහ වුණා නෙවෙයි . සමහරු හිතන්නෙ ඉන්ටර්නෙට් විප්ලවයකින් හදිසියෙ එහෙම උණා කියල . අවුරුදු විස්සක් උන්නැහෙ බලයෙ හිටියෙ කොහොමද කියල කවුරුත් අහන්නෙ නෑ. එතකොට නොතිබිච්චි ප්‍රජාතන්තරවාදය හදිස්සියෙම ඕන වෙන්නෙ කොහොමද? විරැකියාව වැඩි වෙලා කියල සමහරු කියනවා . විරැකියා අනුපාතය ලෝක බැංකු මහත්තුරුන්ට අනුව නම් 2000 ඉඳල වෙලා තියන්නෙ අඩුවීම මිස වැඩිවීම නෙවේ . ඔය අතරෙ යැන්කින්ගෙ රටෙන් උන්නැහෙට යෝජනා කොරාපු ආර්තික වැඩපිළිවෙල එහෙම හරියට කොරල නැතෙයි කියනවා . ඒකනං ඉතින් අනුමත කොරන්න බෑ නෙව. කරනවා නම් එකක් කරන්ට ඕන. එක්කො ප්‍රජාතන්තරවාදී එක නැත්නම් එහෙම නැති එක . දෙකක් බෑ.

කොහොමින් හරි උන්නැහෙට යන්න වුණා . මගේ අතීත කතාවෙ විදියට නම් මුබරක් පිටුපස්සෙන් බරක් ඉන්නවා. එහෙම ඉන්නකම් මුබරක් බේරිලා ඉන්නවා. බරක් අත ඇරියාම මුබරක් හැලෙනවා. හැබැයි පුතෝ කලින් වගේ බරක්ටත් ළඟදිම හැලෙන්න වෙයිද කියන්න නම් මම දන්නෙ නෑ.

Thursday, February 10, 2011

පයිංඩකාර මහත්තුරු

පෙරමුණේ රාලගෙ අටුවාව පැත්තෙ ගියාම ලෝකල් පඬිතුමෙක්ගෙ ලියවිල්ලක් ගැන දැනගන්න ලැබුණ. මං ඉතින් ඔව්ව කියවන්ට ආස නෙව. එතනම ප්‍රතිචාරයක් දාන්න දිග වැඩියි කියල හිතුන නිසා මෙතන ලියනවා. මේ තියන්නෙ ඒ මුල් ලිපිය. මේක ගැන පෙරමුණේල ලියාපු පිළිතුර මෙතන.

සමන් කියන්නෙ අර පස්චාත් නූතන වාදී නඩුබලන මහත්තය නෙවද? අපොයි මේ මහත්තයාට සුද්දො වෙළඳාමෙ ආවය කියල හිතෙන එකේ පුදුමයක් නෑ. මේ ගොල්ල වාගෙ වෙළඳ නියෝජිතයො(සේල්ස් රෙපාල) සැට් එකක් හදා තියල ගිහින් තියෙන එකෙන් උණත් පේන්නෙ මොකද්ද ? සුද්දො හොඳ වෙළඳාමක් කරන බව නොවෙයිද? අපේ එවුන් දැනගෙන හිටියෙ නෑ නෙව ඔය වෙළඳාම් කෙරුවාව. ගොයිතැනක් කාරිය කරගෙන දෙයියනේ කියල හිටපු මිනිස්සු නොවැ. ඉතින් උඩරට ගිවිසුම කියල එකක් ගහල කොරාපු ගනුදෙනුවෙන් සුද්දට නොසෑහෙන්න ලාබ ලැබුණා. අපේ උන්දැල දන්නෙම නැතුව රටත් විකිණුනා. ඉතින් පෙරමුණේල මොනව කිව්වත් සමන් මහත්තෙයගෙ කතාවෙ ඇත්තක් තියනව කියල අපිට පිළිගන්න වෙනව.

සමන් මහත්තය ප.නූ.වාදියෙක් නිසා උන්නැහෙ ජාතික නිදහසක් ගැන දකින්නෙත් ප.නූ.වාදී ක්‍රමේට. නිදහස කියන එක ඒකෙ අනික (මේ අනික නැත්නම් අනිකා කියන්නෙ හෙනම ගැඹුරු සංකල්පයක් කියල හිතාගන්න. උදාහරණෙකට සමන් මහත්තෙය ඉන්නෙ එයාගෙ "අනිකා" නිසා. මේකා මොකාද දන්නෙ නෑ නේද?) පාවිච්චි කරල තේරුම් කරන්න තමා හදන්නෙ. ඉතින් ඒ තේරුං කිරිල්ල අනුව නිදහස ලැබුවත් කාටහරි යටත්වෙලා තමා ඉන්න වෙන්නෙ. මේ කතාවෙ මං ආසම කෑල්ල තමා අන්තිම කොස්තාපල්ගෙ චක්කරේ.

‘‘මම පොලිස් සැරයන්ට යටත්, පොලිස් සැරයන් උප පොලිස් පරීක්ෂකට යටත්..............................................., පොලිස්පති රාජ්‍ය නායකයාට යටත්, රාජ්‍ය නායකයා ජනතාවට යටත්, ජනතාව මට යටත්.’’
නිදයස යනු මෙම චක‍්‍රාවාටය ම මිස අන් කිසිවක් නොවේ.

මේකෙ සුදු මහත්තුරු ගැන ලියල නැති එක ලොකු අඩුවක්. ඒක නිවැරදි කරගන්නෙ මෙහෙමයි.

"අපි පොලෝසියට යටත්. පොලෝසිය සමන් මහත්තෙයලට යටත්. සමන් මහත්තෙයලවගෙ උදවිය සුද්දන්ට යටත්. සුද්දො සරුව බලදාරි දෙයියන්ට යටත්. සරුව බලදාරි දෙයියො මොකාටවත් යටත් නෑ කියල සුද්දො කියනවා. සමන් මහත්තෙයල ඒක සුද්දන්ගෙන් අහගෙන ඇවිත් පොලෝසියටයි අපිටයි කියනවා."

ඔය විදිහට ඒ දෙයියංගෙන් පහලට එනව මිසක් කවදාවත් ඉහලට යාමක් නෑ නෙ?

පොඩි ගමයට හිතෙන විදිහට නම් නිදහස ලබන්න සමන් මහත්තයො සරුව බලදාරි දෙයියංව අපට යටත් කොරගන්ට ඕනෑ. නැත්නම් ඉතින් චක්කරේ සම්පූර්ණ වෙන්නෙ නෑ. හැමදාම සමන් මහත්තෙයලට දෙයියංගෙ පයින්ඩකාරයො(messenger) වෙන්නයි අපි උන්නැහෙ කියන දේවල්වලට එහෙයි කියනවයි ඇර වෙන වැඩක් නෑ.