Wednesday, December 30, 2009

කැලේ කතාව 2...

හමුව: අලිරාල කැලෙන් එලවීමේ සංගමයේ රැස්වීම.
තැන: ඌරු හාමිගේ ගෙදර (මඩවල)
ආපු කට්ටිය: සිංහරාල, ඌරු හාමි, වෘක හාමි සහ හිවල් හාමි

සිංහරාල: හරි දැං ඌරු හාමි කියනව බලන්න ඔහෙගෙ මහ ලොකු සැලැස්ම..? අර මඩ සෙල්ලමක් ගැන කිව්වෙ?

ඌරු හාමි (මඩේ බැස) නාසයෙන් හඬක් නගයි.

ඌරු හාමි: මෙහෙමයි සිංහරාල.. අලිරාලව එලවන්න නං ඔය රැවුම් ගෙරවුම් වලින් විතරක් බෑ. සත්තුන්ගෙ හිත්වලින් පුලුවන් තරං අලිරාලව ඈත් කරන්ට ඕන. ඒකට මඩ සෙල්ලම තමා හොඳම විදිය.
මේක එච්චර අමාරු නෑ කරන්න තියන්නෙ මඩවලින් අලිරාලට ගහන එක. වලස්රාලට උනත් එහෙමයි පුළුවන්තරම් මඩ ගහන්න. රැවුම් ගෙරවුම් වලටත් අමාරු වැඩ මඩ වලින් කරන්න පුළුවන්.

සිංහරාල: මඩ මුලු ඇඟටම ගහන්න ඕනද? ඔලුවටත් ගහනවද?

හිවල්හාමි: ඒකට අපි වඳුරුහාමිලාගෙන් උදවු ගන්නව. උන් ගස් උඩ ඉඳන් මඩ ගහවි. සිංහරාලට තියන්නෙ උන්දැලට මඩ අනල දෙන එකයි. ගිය පාර මං කලෙත් ඒ විදිහට තමයි.

සිංහරාල: මඩ ගඳ නැත්ද?
(ඌරුහාමි ඉන්න පැත්ත දෙස බලා නාසය හකුලා ගනියි.)
ඇඟේ ගෑවෙනව නේද?

වෘක හාමි: හෙ.. හෙ.. මඩ ගහන්නෙ ගඳගහන්නනෙ රාලහාමි. ගඳ ගස්සන්නෙ නැතුව මඩ ගහන්න බෑ. රාලහාමි තාම සෙල්ලමට අලුත් නිසා ගඳ ඉවසන්න අමාරු. පුරුදු වෙනකොට ඕක හරියයි.
අනික මේ ඌරු හාමි මඩ සෙල්ලමට හරිම දස්සය.. රාලහාමිව පුරුදු කරල ගනියි.

සිංහරාල: හ්ම්ම්.. මං නොදන්නවැයි ඒ වග.. මටත් ඒ දවස්වල මඩ ගැහුවෙ..

හිවල්හාමි: ඒ ඉතින් ඒ දවස්වලනෙ රාලහාමි.. දැං අපි රාලහාමිටනෙ උදවු කරන්නෙ..(හිවල්හාමි ඌරුහාමි දෙස යටැසින් බලා ඉඟිමරයි)

ඌරුහාමි: එහෙනම් ඉතින් පුරුදුවෙන්නත් එක්ක බහින්නකො සිංහරාල වලට...

හිවල්හාමි: ඔව් ඔව් අදම පටන් ගමු.

සිංහරාල: මේ වලටද බහින්නෙ?

හිවල්හාමි: ඔව් ඔව් මේ වලට.

සිංහරාල වල දෙසට යයි. (ඌරු හාමි කෝකටත් කියා ඉඩදෙයි.) අඩිය ආපසු ගනියි. අදිමදි කරයි. නාසය අකුලා ගොරවයි.

වෘකහාමි: බහින්න රාලහාමි. බහින්න.

සිංහරාල: චිහ්! ගඳේ බෑ. ඈ..හ්.. වෘකහාමි තමුසෙ කිව්වෙ නෑනෙ මේව්ව කරන්න ඕනය කියල.. අලිරාලත් මෙව්ව කරනවද ඕයි?

වෘකහාමි: රාලහාමි අපිට අලිරාල කරන දේවල් කරන්න බෑ. හොඬවැලයි දලදෙකයි උසයි තියන හින්ද උන්දැට මඩ නාගන්නෙ නැතුව සෙල්ලම් කරන්න පුලුවන්.

ඌරුහාමි: වෘක හාමි සිංහරාලට තල්ලුවක් දෙන්නකො. සිංහරාල බය ගන්න කාරියක් නෑ අපි හැමෝම ඉන්නවනෙ සිංහරාලට..

සිංහරාල: ගර්..ර් බය ? ඈ බොල ඌරෝ මං කොටියවත් මරාපු කාටවත් බය නැති එකෙක් තේරුණාද? ගර් ර්.. උඹ මට අපහාස කරනවද?

නෑ ..හ් නෑ.. සිංහ රාල..හාමි මං කිව්වෙ මඩ සෙල්ලමට රාලහාමි ටිකක් අදිමදි කරන හින්දයි.

වෘකහාමි: බය නැතිනම් රාලහාමි බහින්නකො.

හිවල්හාමි: වෘකහාමිත් බහින්න උදව්වට.

සිංහරාල ඉදිරි අඩි දෙක මඩේ ඔබාගෙන පසුපස අඩිදෙක එලියෙ තබාගෙන සිටියි.

වෘකහාමි: සිංහරාල කකුල් හතරම දාන්න වලට. මොකද අත්දෙක විතරක් දාගෙන? තල්ලුවක් දාන්නද?

සිංහරාල: එපා. වෘකහාමි මට බෑ ඒකෙ මඩ ගාගන්න. ගෙදර යන්නෙ කොහොමද ඒකෙ මඩ ගාගෙන. මායිය මට හිනාවේවි. අනික මේ වලේ තියන ජරාව ගඳට උන්දැ නහය අකුල ගනියි. ඒකෙ ජරාව ගෑවෙන්නෙ නැතුව කරන දෙයක් කරමු.

වෘකහාමි: තමුන්නාන්සෙට ඌරුහාමිගෙන් යට ඇඳුමක් ඉල්ලල දෙන්නම්. ඒක ඇන්දාම හරි. ඌරුහාමි සිංහරාලටත් අරවයින් එකක් දෙනවකො.

ඌරුහාමි වලෙන් නැගිට යට ඇඳුමක් සොයාගෙන ඒමට යයි...

සිංහරාල: කෝ ඌරුහාමි යට ඇඳුමක් ඇඳල හිටියෙ නෑ නෙ. අනිත් අයට ඇන්දුවට මිනිහ අඳින්නෙත් නෑ නේද ඔව්ව? හරියට මහලත් ඇත්ද?

වෘකහාමි: හෙ..හ් එයාට ප්‍රස්නයක් නෑනෙ රාලහාමි. ඒ වුනාට හැමෝම මඩට අඳින ඇඳුම ගන්නෙ එයාගෙන් තමා.

සිංහරාල : මොකද එයාගෙ එකේ මඩ ගෑවෙන්නෙ නැත්ද?

හිවල්හාමි සහ වෘකහාමි මුහුණෙන් මුහුණ බලාගනිති.

වෘකහාමි: රාලහාමි දන්නෙ නෑ වගේ.. ඔවු එයාට ගෑවෙන්නෙම නෑ.

හිවල්හාමි: වෘකහාමි ඔය කතා මෙතනට ඇදගන්න එපා..

සිංහරාල: නෑ නෑ කියමු බ්ලන්න... වෘකහාමි මොකද්ද ඒ කතාව?

වෘකහාමි: නෑ එච්චර ලොකු දෙයක් නෙවෙයි. රාලහාමි අහලත් ඇති. ඌරුහාමි පොඩිකාලෙත් දැන් වගේමයි. අහුවෙනදේ කා දමනවා. ඔය විදිහට කාදමන පුරුද්ද නිසා ඉන්න තැන තියන කෑමත් කාදමනවා කුණුත් කාදමනවා. ඉතින් දවසක් ඔහොම කාගෙන කාගෙන යනකොට ඌරුහාමිට යට ඇඳුම කන්න ආසාවක් ඇති උණාලු. යට ඇඳුම හපන අතරෙ වැරදීමකින් ඒක හපාගත්තාය කියලයි කියන්නෙ.
සමහරු නම් කියනවා මේ ඌරුහාමිට උපතින්ම ඒක නැතිය කියල. කවුරු හරිද කියන්න බෑ.

සිංහරාල: මටත් මතකයි ඒ දවස්වල වලස්රාල ඔහොම කතාවක් කියනව.

හිවල්හාමි: සිංහරාල ඔව්ව ගැන හිතන්නෙ නැතුව මඩ සෙල්ලම පුරුදු වෙන්න. කොහෙ ගියාද මේ ඌරුහාමි..?

Monday, December 14, 2009

කැලේ කතාව..1.5

දඩයක්කාරයගේ උවමනාව කුමක් විය හැකිද? දැන් සිංහරාල ගතින් කෙසේ වෙතත් සිතින් ඉන්නේ කැලෑවේ නොවේ. ඔහු දඩයක්කාරයාට තම පැරණි මිතුරන් අල්ලාදීමට උත්සහ කරයි. කැලේ ලොක්කාවීමේ උවමනාවක් ඔහුට නැති සේය. මේ අවුලෙන් වාසිය අත්වන්නේ දඩයක්කාරයාට මිස වෙන අයෙකුට නොවේ. සිංහරාල කරන කැත වැඩේ ගැනද කැලේ සත්තුන්ට ටිකෙන් ටික වැටහෙන බව දැන් දැන් උන් කරන කතා බහෙන් පෙනෙයි.

වලස්රාල සහ අලිරාල පසෙකින් තබමු. සිංහ පැටවුන්ද පාවාදීමට
සිංහරාල පසුබට නොවන බව පෙනෙයි. දඩයක්කරයාට උදවු කිරීමෙන් වැඩිම වුවහොත් සිංහරාලට ලැබෙන්නේ සත්තු වත්තකි. සිංහරාල ඒ සඳහා හිවල්හාමිගේ මට්ටමට පහත වැටීම ගැන කැලේ සත්තු වැඩිදෙනා දුක්වෙති.

මේ අතර දඩයක්කාරයාගේ ඔලුවේ වසන උකුණෝ "කැලේ ගැන අප තරම්
තොප දන්නේ නැතැ" යි උදම් අනති ! උන් සිතා සිටින්නේ කැලෑව යනු දඩයක්කාරයාගේ ඔලුවේ ඇති යමක් බවත් ඒ ගැන තමන්ට තරම් දැනුමක් අනෙක් සතුන්ට නැති බවත්ය. කොන්ඩගස්වලට වඩා ලොකු ගස් කැලේ ඇති බව උන් නම් මේ ආත්මයේදී දැන ගනු නැත. උන්ට අනුකම්පා කිරීම හැර අපි කුමක් කරමුද?

Saturday, December 12, 2009

කැලේ කතාව...

මේ දවස්වල හිවල්හාමිට ගමන් බොහෝය. එකක්වත් ඔහුගේ ගෙදර කටයුතු පිණිස නොවෙයි. එක පැත්තකින් අලිරාල කැලෙන් එලවන්න සිංහරාලට උදවු කරන වැඩය. අනෙක් පැත්තෙන් දඩයක්කාරයාව හමුවී අලිරාලගේ දළ ගැලවීමේ පිළිවෙල ගැන උපදෙස් අවවාද ලබාගන්නා වැඩය.

සතියකට තුන් හතර වතාවක් කූඩුවේ සිටින කොටිහපුවා හමුවෙන්නට යාම මෑතක
සිට හිවල්හාමිට පැවරී ඇති කාරියයි. කොටි හපුවා හමුවන්නට වලස්රාල සතියකට වතාවක් පැමිණෙන බව හිවල්හාමිට දැනගන්නට ලැබුණේ එහෙම ගිය වතාවකය. කොටිහපුවාට වී ඇති හදිය ගැන හිවල්හාමිගේ හිතට අමාරුය. නැසීගිය මහ කොටිරාල මැරෙන්නට පෙර බේරාගැනීමට නොහැකිවීමත් හිවල්හාමිගේ හිතට වේදනාවකි. ඒ නිසාම හිවල්හාමිට සිංහරාල ගැනද ඇත්තේ හොඳ හැඟීමක් නොවේ.

කොහොමත් හිවල්හාමි වලස්රාලව නුරුස්සයි. වලස්රාලට පාඩමක් උගන්නන්න හිතූ හිවල්හාමි වලස්රාල කොටි හපුවාගේ දත් ගලවන බවත් ඒවා අලිරාලත් වලස්රාලත් තියාගෙන ඇති බවත් තමාගේ හිතවත් දෙමලිච්චියන්ගේ සහ වඳුරන්ගේ කන තැබීය. හිවල්හාමි ඉඳහිට මෙවැනි කතා කීම පුරුද්දක් බැවින් කැලේ සත්තු ඒ ගැන එතරම් තැකුවේ නැත.

කලින් වතාවේ සිංහ පැටවු කොටිරාලට ආහාර පිණිස දෙන්නට ඔහු සෑහෙන්න මහන්සි ගත්තේය. කාරිය හරියාගෙන එනකොටම අලිරාල මැද්දට පැන්නායින් සිංහපැටවු ටික ගැලවුණි.
සිංහරාල දිනුවාට කොටිහපුවා තාමත් පණපිටින් යැයි හිවල්හාමි කතාවක් ගෙන ගියේ මහ කොටිරාල මැරුණ ගමන්මය. කොටිහපුවා ඇල්ලීම වලස්රාලගේ දක්සකමින් වූවකි. ඒ ගැන දුකෙන් සිටින හිවල් හාමි වලස් රාලට නින්දා කරයි.

අලිරාල දඩයක්කාරයා එලවා නොදමන්නට මේ වතාවේ සිංහරාලට සිදුවන්නේ වෙඩිකන්නටය. හිවල්හාමිත්
දඩයක්කරයාත් නොහිතූ පරිදි අලිරාල දඩයක්කරයා එලවීමෙන් අන්තිමේදී සිංහරාලට හටන දිනන්නටද හැකිවිය. වෘකහාමිත් හිවල්හාමිත් එකතුවී අලිරාල පන්නන්න සිංහරාල කැමතිකරවා ගත්තේ මීට පසුවය. සිංහරාලගේ හිතට කැලේ ලොක්කා වියයුතු බවට අදහස ඇත්තටම දැම්මේ වෘකහාමිය. පසුව හිවල්හාමිට හිතුනේ අලිරාල කැලෙන් එලවීම සහ ඔහුගේ දළ ගැලවීමේ කටයුත්ත සිංහරාල මගින්ම ඉටුකරගත හැකිබවය. දඩයක්කාරයාද මේ කටයුත්තට සහයෝගය දෙයි.

මේ අතර හිවල්හාමිගේ මායියා ගෙදර කටයුතු ගැන උනන්දුවක් නැතැයි හිවල්හාමිට දොස් කියයි. හිවල්හාමි තමන්ට ලැබෙන කෑම බීම හොර අඹුවන්ට දී තමන්ට නොසලකන්නේ යැයි ඇගේ තවත් චෝදනාවකි.

Monday, December 7, 2009

ඒ පැත්තෙන් මේ පැත්තට..

එස් බී උන්නැහෙට උනේ ෆොනී මහත්තයට වෙච්චි දේ අනිත් පැත්ත. හරියට කිව්වොත් විපස්සතුමා ෆොනී මහත්තයව අල්ලගත්තයින් එස් බී උන්නැහෙට උන්හිටිතැන් නැතිව යාමක් උණේ. ෆොනී මහත්තය ආණ්ඩුවෙන් අයින් උණා (දේසපාලකයෙක් විදිහට නොවුණත්) ජනාධිපති වෙන්න හිතාගෙන. අනිත් පැත්තෙන් මුන්නැහෙ ජනාධිපති ඡන්දෙට ඉදිරිපත් වෙන්න නොලැබුණායින් ලොක්කට එකතු වුණා. දැං ඉතින් විපස්සතුමාට මුවනොසෑහෙන්න ප්‍රසංසා කරනව.

කොහොම උණත් විපස්සතුමාව එලවන එක ලේසි නෑ එස් බී උන්නැහෙ හිතන තරම්. උන්නැහෙ මොන අඩුපාඩුව තිබුණත් සුදු මහත්තුරු කියල තියන විදිහට කීකරුව වැඩ ටික කොරගෙන යනව. ඒකනෙ උන්නැහෙට ඔච්චර සලකන්නෙ සුද්දො. ඇන්දුමෙං පැලඳුමෙං උණත් එස්බී ට බෑ උන්නැහෙට කිට්ටු කරන්න. අර ලෝක ප්‍රජාතන්ත්‍රකාරයින්ගෙ සංගමේ කියල එකක ඉන්නවය කියල උන්නැහෙගෙ මාධ්‍ය නඩේ කාලෙකට කලින් ලොකු සද්දයක් දැම්ම මතකද? (මොන අර්තෙන් ලෝක කියනවද දන්නෙ නෑ, අර කොටුවෙ ඉස්ටේසම ලඟ තියනව ලෝක වෙළඳපොල කියල එකක්) බුෂ් ලොක්ක ඉන්න කාලෙ ඇමරිකාවට ගියාම මිනිහට විනාඩි පහක් දුන්න පොටෝ එකකට පෙනී හිටින්නත් එක්ක. පේනවනෙ තියන සැලකිල්ල.

ෆොනී මහත්තයටත් විපස්සතුමාගෙ අඩි පාරෙ යන්න වෙයි උන්නැහෙට වඩා හොඳට නැත්තන් ඉස්සරහට එන්න අමාරුවෙයි.

ලොක්කටද විපස්සතුමාටද ?

සරත් මහත්තය ෆොනී මහත්තය වෙලා දේසපාලනේට ආපු එක ගැන මගෙ හිතේ තියෙන්නෙ කණගාටුවක්. උන්නැහෙට දේසපාලන අත්දැකීම් නැති නිසා අර මාධ්‍ය සාකච්ඡාවෙදි ටිකක් නාගත්ත. හැබැයි ඉතින් විපස්සතුමා මැතිවරණ කාලෙට නාගන්න නාගැනිල්ලෙ හැටියට මේ ගැන මුන්නැහෙට දුක්වෙන්න දෙයක් නෑ.

සමහර උදවිය කියන්නෙ ෆොනී මහත්තය දේසපාලනේට ආවෙ දූෂණයට සහ භීෂණයට විරුද්ධවය කියල. මට පෙනෙන විදියට නම් උන්නැහෙට ආණ්ඩුවත් එක්ක පුද්ගලික මට්ටමෙන් ඇතිවෙච්චි විරසකය තමා පස්සෙ දේශපාලන පිල්මාරුවක් බවට පත් උනේ. හැබැයි ඕකට ආණ්ඩුව විතරක් වගකියන්න ඕන කියල මං හිතන්නෙ නෑ.

උන්නැහෙ බලේට එයි කියල නිකමට හිතුවොත් පුළුවන් වෙයිද දූෂණ නැතිකරල දාන්න? ආණ්ඩුවක් අටවගන්න වෙන්නෙ දැන් විපස්සතුමා යටතෙ ඉන්න ගෝල බාලයො රොත්තත් එක්කනෙ. උන් නිකන් බලා ඉඳීද බලේ ලැබුණාම? අනිත් අතට ෆොනී මහත්තය දැන් ටිකෙන් ටික දේසපාලන මඩ ගැහීමේ වියාපාරයේ දක්සකම් දක්වන්න පටන් අරගෙන. හිටපු හමුදාපතිතුමාගෙ ප්‍රතිරූපය වියැකී ගිහින් දේසපාලකයෙකුගෙ ප්‍රතිරූපය මතුවෙන්න පටන් අරන්. අර කතාවක් තියනව රෝමෙට ආව නම් රෝමන්කාරයෙක් වගේ ඉන්න ඕනැය කියල.

ලොක්කව ගෙදර යැවීම සටන් පාඨය කරගත්තු සීනුකාරයොත් එකතු උනාට මොකද වෙන කිසිම දෙයක් ගැන එකඟතාවයක් නෑ උන් අතරෙ. මොකෝ ලිබරල්වාදී වෙන්නයැ සීනුකාරයො හදිස්සියෙම. හැබැයි ෆොනී මහත්තය කිසි පැකිලීමක් නැතුව කිව්වා තමන්ගෙ ආර්ථික ප්‍රතිපත්තිය මොකද්ද කියල.

කොහොමින් හරි උන්නැහෙ බලේට ආවොත් මාස හයෙන් විපස්සතුමාට පුටුව දීල ගෙදර යන්නලුනෙ බලන් ඉන්නෙ (පුටුව දුන්නට පස්සෙ ගෙදර යන එක ඇර වෙන කරන්න දෙයක් නෑ). මං කල්පනා කලා ෆොනී මහත්තයව ටිකකට වේදිකාවෙන් ඉවත් කරල ප්‍රස්නෙ දිහා බලන්න. විපස්සතුමයි ලොක්කයි ඡන්දෙට ආව නම් මම කාටද කතිරෙ ගහන්නෙ? දොන් ජුවන් ධර්මපාලගෙ මී මුණුපුරාට ඡන්දෙ දෙන්න පුලුවන්යැ කොටි පරාද කරාපු හැටි මතක තියන මිනිහෙකුට? කොහොමටත් බෑ. දැන් එතකොට ෆොනීමහත්තය ඉන්නෙ අර හිටපු දක්ෂ සෙන්පතිය විදිහට නොවෙයි විපස්සතුමාගෙ නියෝජිතය හැටියට. උන්නැහෙට ඡන්දෙ දෙන එක හිටපු සරත් මහත්තයටත් කරන අවමානයක් නෙව.
අනිවාර්යයෙන් ලොක්කට!

Sunday, November 8, 2009

කොන්ත නෝනා සහ කොන්ඩි නෝනා

කොන්ත නෝනා ගැන සබ්ජෙක්ට් කොල්ල ලියාපු දේ තමුන්නැහෙල කියවන්න ඇතිනෙ. ඉන්ගිරිස් පොත පත කියවල එව්වයෙන් ඉගෙන ගත්තු දේවල් සිංහලෙන් ලියන තමන්ගෙ රචනාවට එකතු කරන්න මිනිහ දස්සය. ඕක කියවන දවස්වල හිලරි නෝන ගැන කතාබහක් ඇති වුණ බවයි මගෙ මතකය. හිලරි නෝන දිගින් දිගටම ලංකාවට විරුද්ධ ප්‍රකාස නිකුත් කලා පහුගිය දවස්වල.

හිලරි නෝනත් ඔබාම ලොක්ක එක්ක මහ පුටුවට තරග කරන්නයි හිටියෙ. හැබැයි පස්සෙ තරගෙන් ඉවත්වෙලා ලොක්කටම සහයෝගෙ දුන්න. ලොක්ක දිනුවයින් පස්සෙ හිලරි නෝනට දුන්නනෙ කලින් කොන්ඩලිසා (එයාට ආදරේට කියන්නෙ කොන්ඩි කියල) නෝනට දීල තිබුන තනතුර. කලුපාට හමක් තිබුන පළවෙනි යැංකි රාජ්‍ය ලේකම්වරිය කියල කියන්නෙ උන්දැ.

කොහොමින් හරි හිලරි නෝනයි මිලි බෑන්ඩ් ගොයියයි තමා ලංකාවට එරෙහි ප්‍රකාශ නිකුත් කිරීමේ පෙරමුණ අරන් වැඩ කලේ. මේ ප්‍රකාශ වලින් ඇඟවෙන්නෙ මොකද්ද කියන එක ගැන නොයෙක් දෙනා නොයෙක් මත පලකළා ඒ දවස්වල. අවාසනාවට හුඟදෙනෙක් තාමත් පිළිගන්නෙ නෑ කොටින්ගෙ පිටිපස්සෙ හිටියෙ බටහිර රටවල්ය කියන කාරණේ. සමහරු කියන්න හැදුව කොටි ඒ රටවල දේසපාලකයො සල්ලි දීල බාගෙන මේවගේ ප්‍රකාස කරවගන්නවය කියල. මේ නෝනලයි මහත්තුරුයි ඒ ඒ තනතුරු වලට පත් කොරන්නෙ තමන්ගෙ පුද්ගලික මතවාද ලෝකෙ වටේ කිය කිය යන්න නෙමෙයි. හොඳයි අපි නිකමට හිතමු ඒක එහෙමමයි කියල. එතකොට මිලිබෑන්ඩ්ටයි හිලරිටයි පුළුවන්ද සරත් මහත්තයගෙන් ප්‍රශ්න කරන්නයි අපිට විරුද්ධව යුද අපරාද චෝදනා ගේන්නයි. ටිකක් කල්පනා කරන්න එපායැ මේ වගේ විහිළු කතා කියන්ඩ කලින්. එක්සත් ජාතීන්ගෙ ආරක්ෂක මණ්ඩලේදි වෙච්ච දේවල් ගැන මොකද කියන්නෙ? සල්ලි ටිකක් විසි කලාම කොටින්ට පුලුවන්ද රටකට විරුද්ධව චෝදනා ගේන්න මුලු ඒරොප්පෙම කැමති කරවගන්න?

මේවගේ සිද්ධි වලට කොටින්ගෙ සල්ලියි දෙමළ ඡන්දයි අමුණල සුද්දන්ගෙ කිලුටු රෙදි හෝදන උන්දැල වගේ නෙවෙයි කොන්ඩි නෝනල හිලරි නෝනල හෙම වැඩ කරන්නෙ. ඒ උදවිය රාජ්‍යතාන්ත්‍රික භාවයෙන් යුතුව තමයි තමන්ගෙ සරීර අවයව උනත් පාවිච්චි කරන්නෙ. වෙන විදියකට කියනවනම් යැංකි ආණ්ඩුවේ නිල මතයට පිටින් යන දේවල් කියන්න ඒ ගොල්ලන්ගෙ කටවල් ඇරෙන්නෙ නෑ. අරින්නත් බෑ. ඒ නිසා මේ ගොල්ල කියන කරන එව්ව ගැන අටුවා ලියන්ට කලින් අපේ රටේ පඬිතුමාල පොඩ්ඩක් නිවිහැනහිල්ලෙ කල්පනා කරන්න ඕන අදාල කාරණේ ගැන ඒ රටවල් නිලවසයෙන් කටයුතු කරන්නෙ කොහොමද කියන එක ගැන. මං අර එක්සත් ජාතීන්ගෙ මණ්ඩලේ කියන එක ගැන හෙම මතක් කලේ අන්න ඒකයි. එහෙම සංසංදනය කරල කිරල මැනල බලන්නෙ නැතුව විහිළු කතා කියන්න නරකයි. කොන්ඩි නෝනල නම් එහෙම විහිළු කරන්නෙ නෑ. විහිලු කරන්න ගිහින් අමාරුවෙ වැටෙන්න තරම් බබ්බු නෙවෙයි ඒ උදවිය.

ඔය අතරෙ සමහර චූ කොල්ලො ඉන්නව යැංකින්ගෙ රටේ තියෙන ප්‍රජාතන්තරවාදය ගැනයි මාධ්‍ය නිදහස ගැනයි මානව අයිතිවාසිකම් රැකීම ගැනයි අපිට කියල දෙන්න දත් හපාගෙන දඟලන. මේ දේවල් ගැන චූ කොල්ලන්ට වඩා හොඳට කොන්ඩි නෝනල දන්නව. ඉරාකෙයි ඇෆ්ඝනිස්තානෙයි යැංකියො කරාපු වැඩ අපිට අමතකද? රකින්න ඕන කාගෙ අයිතිවාසිකමද අයිතිවාසිකම් නැති මිනිස්සු කවුද කියන කාරණා ගැන තීන්දු ගන්නෙ කොහොමද කියන එක ඒ උදවියට කියල දෙන්න ඕන නෑ.

බටහිරයො කරන යුද අපරාද ගැන අමුතුවෙන් ලියන්න ඕන නෑනෙ. මේ හොර කොල්ලො කොච්චර රෙදි හේදුවත් ඒවයෙ තියන ලේ පැල්ලම් යවන්න බෑ. මට කනගාටු ඒ කොන්ත්‍රාත් අපුල්ලන්නො ගැන නෙවෙයි සමහර අහිංසක මිනිස්සුත් මුලාවෙ වැටිල ඉන්න එක ගැන. කොන්ඩි නෝන ආරක්ෂක උපදේශකකම කරන කාලෙ අල්-කයිඩාකාරයින්ගෙ මානව අයිතිවාසිකම් ගැනයි දෙන්න ඕන වධගැනයි හොඳ වැටහීමක් ඇතුව ක්‍රියා කරාපු වග පේනව. එහෙම රාජ්‍යතාන්ත්‍රික බාවයක් නැතුව ඔය වගේ උසස් තනතුරක් දරන්න පුළුවන්යැ? (අර රෙදි හෝදන කෙල්ලන්ට කොල්ලන්ටනම් ඔව්ව කරන්න කොහොමත් බෑ. කොටින්ම උන්ට රාජ්‍යතාන්ත්‍රික විහිළු තේරෙන්නෙ නෑ. බෙලි නවසිය අනූනවයක් අමු අමුවෙ කපාදාල එකෙක්ව නඩු අහල එල්ලුවොත් උන් ඒ එකෙන් තමා නිගමනය කරන්නෙ යැංකි ප්‍රජාතන්තරවාදයේ ශක්තිමත් බාවය)

"කොන්ත නෝනගෙ පස්ස කොන්ත නෝනට ඕන විදිහටලු" කියලයි කියන්නෙ. කොන්ත නෝනට පස්ස සම්බන්ධයෙන් තියන ඒ නිදහස කොන්ඩි නෝනට නෑ කියන එකයි අපිට තේරුම් ගන්න තියන්නෙ. ඒ නෝනලගෙ පස්සවල් ගැන තීරණ ගන්නෙ රාජ්‍ය දෙපාර්තමේන්තුවට ඕනැ හැටියට. ඒ නිසා අපට අර කතාව පොඩ්ඩක් වෙනස් කරල කියතෑකි "කොන්ඩි නෝනගෙ පස්ස යැංකින්ට ඕන විදිහටලු" කියල. හැබැයි ඔය කරණා ගැන ඉංගිරිස්කාරයො ලියාපු පොත්වල හෙම නං විස්තර තියෙන්න ඉඩ අඩුයි.

Saturday, October 31, 2009

අසමගිය වෙනුවෙන් පොදු අපේක්ෂකයෙක් !

පහුගිය දවස්වල පොඩිගමයට කොම්පැනියෙ වැඩ සෑහෙන්න යෙදිල තිබුණයින් සිංහල බ්ලොග්කාරයන්ගෙ අඩවි බලන්න වෙලාවක් නැති උණ තරමයි. වැදගත් දේවල් කීපයක් දේසපාලනේ උණා නෙව. සරත් ෆොන්සේකා මහත්තය ගැන ලොකු කටකතා (සහ බොරු කතා) පැතිරිලා ගියා. අඃ පොඩි වැරදීමක්. පැතිරිලා ගියා කියල කිව්වාම ඉබේම පැතිරිලා ගියා කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒ වුණාට ඇස් කන් ඇරගෙන ඉන්න මිනිහෙකුට එකපාරටම පේනව සමහරක් උදවිය හිතාමතාම සිද්දිය උලුප්පල පෙන්නන්න දඟලපු හැටි. පත්තර පිටුවල "ජෙනරාල්ට එරෙහිව ජනාධිපති" පිළිබඳ ආටිකල්ද එව්ව ගැන තාප්පවල ගහන පත්තර පිටු සයිස් පෝස්ටර්ද එක කෙලියයි පහුගිය ටිකේ.

කමක් නෑ ඉතින් උන්දැලටත් මොකක්හරි ඉටිගෙඩියක් තියෙන්න එපායැ දේසපාලනේ කොරන්ට. ඔය කොළඹ තාප්ප පුරා අලවන පෝස්ටර් වෙන මොක නැතත් පාරවල් අයිනෙ බඩගින්නෙ ඉන්න හරකුන්ට ආහාර වෙනව. ඔය අහිංසක සත්තු කුණු ගොඩවල්වල තියන පොලිතින් එහෙම කාල ලෙඩ වෙනවලු. පාංපිටියෙන් හදන පාප්පත් එක්ක කඩදහි කොල කෑවට අච්චර හානියක් වෙන්නෙ නැතුව ඇතෙයි කියලයි මං හිතන්නෙ.

කොහොම උණත් ඔය සිද්ධිය ගැන උඩ පැනපු එවුන් එකෙන් ලැබුවෙ කාලකන්නි සතුටක්. සරත් ෆොන්සේක මහත්තය රටට සම්පතක්. සමහරක් උන්ට ඕන ඇති උන්නැහෙව ජනාධිපතිවරණෙට දාල තමංගෙ අත පිච්චෙන එක වලක්වගන්න. අනිත් අතට උන්නැහෙට ආංඩුවෙන් කැපිල්ලක් එන එක ගැනත් සතුටුවෙන එවුන් ඇති අර ප්‍රභාකරන්කාරයට වැඩේ දීපු එක ගැන තියෙන තරහට.

කොහොමින් හරි සරත් මහත්තය ඡන්දෙ ඉල්ලනවය කියල අපි හිතමු. සරත් මහත්තය ගැලවීමේ හමුදාවටවත් සුදුසු නැතෙයි කියාපු මොංගල් කොල්ලයි (වයස අඩු හින්ද නෙවෙයි) විපස්සතුමයි කැමතියි මේ වැඩේට. මොකද ලොක්කට තරඟයක් දෙන්න තමන්ට බැරි හින්ද. ඊනියා පොදු අපේක්ෂකය විදිහට ඉදිරිපත් වෙලා සරත් මහත්තය දිනුවත් පැරදුනත් උන්දැලට නැතිවෙන්න දෙයක් නෑ සරත් මහත්තයට මිස. අර කතාවක් තියනවනෙ පැදුරෙ ඉන්න මිනිහට වැටෙන්න තැනක් නෑ කියල.

හැබැයි සරත් මහත්තයගෙ දේසපාලන ගමන දෙවන පියවරෙන්ම අවසන් වෙනව උන්නැහෙ පැරදුනොත්. හොඳයි කාටද ඒකෙන් පාඩු වෙන්නෙ? සරත් මහත්තයට වඩා ඒකෙන් පාඩුවෙන්නෙ සිංහලයන්ට. මොකද උන්නැහෙ හැම ප්‍රශ්නෙටම සිංහලයන්ගෙ පැත්තට ඇඟිල්ල දික්කරන සමහර දේසපාලුවො වගේ නෙවෙයි. වහෙන් ඔරෝ නැතුව කෙලින් කතාකරනව. කවුරුත් දන්නවනෙ කලින් කියපු දෙන්න වැඩකරන්නෙ සිංහලයන්ට විරුද්ධව කියන එක. අනිත් අතට උන්නැහෙ දිනුවොත් (එතකොට ආණ්ඩුව වැටෙන එක වලක්වන්න බෑ) ඒ මාර්ගෙං බලයට එන්න පොටක් පාදගන්න පුළුවන්ද කියල හීන මවන එවුනුත් ඔය අතරෙ ඇති.

ෆොන්සේක මහත්තය රටට සම්පතක්ය කියල මං ආයෙත් කියනව. නිර්මාණශීලී විදිහට වැඩක් කරන්න පුළුවන් මනුස්සයෙක්නෙ. ඒවගේ කෙනෙකුට ක්‍රීඩා අමාත්‍යංශෙ මල ඉලවු ලේකම් කමක් දීල ඇති වැඩක් නෑ. උන්නැහෙයි ලොක්කයි සමගිව හිටියයින් රටට වැඩක් කරන්න අවස්ථාවක් ලැබුණ. ඉස්සරහට උන්නැහෙයි ලොක්කයි අතරෙ විරසකයක් ඇති උනොත් පාඩුව වෙන්නෙත් රටට. බුදුහාමුදුරුවො ලිච්ඡවි රජදරුවන්ට අපරිහානීය ධර්ම හතක් කියල දුන්න නෙව. අන්න ඒව සිහියෙ තියාගෙන වැඩකරන්න කියල විතරයි මට කියන්න තියන්නෙ.

Friday, October 16, 2009

කලාව සඳහා කලාව මොක්කුන්ට බලන්නද?

කලාව සඳහා කලාව කියන්නෙ ජනප්‍රිය පණ්ඩිත මතයක්. අහල ඇතිනෙ ඔය ලංකාවෙ ඉන්න මහා කලාකරයො කියල කියන එව්වො පත්තරවලට ප්‍රකාශ දෙනකොට ඔය වාගෙ ප්‍රබුද්ද අදහස් එලියට දානව. මේක එක පැත්තකින් කලාකාරයන්ට ඇඟ බේරගන්න ලේසි වෙන්න පාවිච්චි කරන කතාවක්. අනිත් අතින් තමංගෙ පාණ්ඩිත්‍යය පෙන්නන්නත් මේ වගේ එව්ව කියනව. කොයි විදිහෙන් හරි මේ කතා අහල අන්තිමට ජනතාව රැවටෙන එකයි වෙන්නෙ.

කලාව සඳහා කලාව කිවම හරි ලේසියි ඕනැම බහු බූතයක් චිත්‍රපටියකට (නැත්නම් නාටකේකට බැරිනම් බ්ලොග් එකකට හරි) දාල ඒක මිනිස්සුන්ට පෙන්නන්න.කිසි වගකීමක් නෑ. චිත්‍රපටියෙ කතාවෙන් ඕන බොරුවක් කිව්ව හැකි. ඔය කලින් වතාවක් මං කියාපු බොරු සම්භාව්‍ය චිත්‍රපටි ගැනත් ලොකු කලබලයක් ඇති උණා නෙව. වතාවක් චිත්‍රපටියක් තහනම් කලාම චිත්‍රපටි තහනම් කරන්න එපාය කියල අර කලාපොරවල් ලොකු සද්දයක් දාන්න හැදුව.නමුත් ප්‍රස්නෙ තියෙන්නෙ ඔය චිත්‍රපටි පෙන්නනවනෙ රූප පෙට්ටියෙයි බයිස්කෝප් හෝල් වලයි. එතකොට අරකට මේකට මොකට හැදුවද කියල නෑ අන්තිමට ජනතාවට බලන්න හැදුව වෙනව. මොකෝ ඔය එකම පණ්ඩිතයෙක්වත් කියන්නෙ නෑනෙ මගෙ චිත්‍රපටිය බැලීමට ජනතාවට අවසර නැතිය නිකම් කලාව සඳහා පමණයි කියල!

ඔය විදිහට බයිස්කෝප් බලන මිනිහෙක් ඒකෙන් මොකක් හරි දෙයක් තේරුම් ගන්නව. එතකොට අර බොරු පණ්ඩිත කතාවෙන් වැඩක් නැතුව යනව. මේ කාරණා හින්ද චිත්‍රපටි වලට වාරණ පනවන එක වරදක් නොවෙයි. අනිත් එක කලාකාරයන් කියල මේ රටේ අමුතු වැදගත්කමක් හදාගන්න ඉඩදෙන්න ඕනත් නෑ ගහක් ගලක් ගානෙ හිටිය පලියට. අනිත් හැම එකාටම වගේ තමා සීමාවක් තියාගෙන වැඩ කරන්න දැනගන්න ඕනැ.

Thursday, October 1, 2009

මතක තියා ගමු

ආයෙමත් කියන්න යන්නෙ පරණ කතාවක්. පොඩිගමය පරණ දේවල්ම ඇදල ගන්නෙ මොකද කියල කෙනෙකුට ප්‍රශ්ණයක් එනව ඇති. එකක් අර අමතක වීමේ ලෙඩේට පිළියමක් හැටියට. අනිත් එක මේ අවුරුද්දෙ ලංකාවෙ ඉතිහාසයෙ අලුත් පිටුවක් පෙරළුණා. (මං එහෙම ලියනකොටම අපේ සමහර අයියලගෙ හිත්වල ප්‍රශ්ණ වැල් හටගන්න බව මං දන්නව. කොහොම වුණත් දැන් පිටුව පෙරලිලා ඉවරයි.) කලින් පිටුවල ලියාපු දේවල් වල වැරදි තැන් දැන් පෙන්නල දෙන්න ලේසියි. තේරුං ගන්නත් ලේසියි.

උදාහරණයක් විදියට කොටි පරාද කරන්න බෑ කියපු කතාව ඇස් පනාපිට කෙප්පයක් බවට පත්වුනේ හුඟදෙනා නොහිතපු විදියට. මේක වෙච්ච වේගෙට ඒකයි ඒවගේ තව කතන්දරයි රටේ පතුරවාපු කුලීකහින්නො(විතරක් නෙවෙයි) වගේ අය තක්බීර් වෙලා ගියා හරියට අර සුනාමියට අහුවෙච්ච කෝච්චියක් වගේ. ඒ අර්තෙං ගත්තාම "කොටි සමග හෙලුවෙන්" හිටපු අයියල අක්කල සෙට් එකත් කොටිත් එක්කම පරාද උණා.

හැබැයි ඉතින් කුලී ලියන්නන්ට කශේරුකාවක් කියල එකක් නැති නිසා තමං එහෙම දේවල් කාලෙකට ඉස්සර හිතුවෙවත් නැති ගාණට උන් දැන් ඉතුරු වෙච්ච වැල් බයිල ටික දිගටම වාදනය කරනව. අපිට අමතක වෙනකන් ඉඳල අර අවතැන් වූවන් අතරෙ ඉන්න කොටි වගේ පස්සෙ කල එලි බහින්න මුන්දැලත් බලාපොරොත්තුවෙන් ඇති. ඒ හින්ද අමතක නොකර කට්ටියගෙම මූණත්තහඩු මතක තියාගම්මු.

මතකද මන්ද තමුන්නැහෙලට ඔය බොරු සම්භාව්‍ය චිත්‍රපටි කියල එව්ව හැදුව රටේ මිනිස්සුන්ව නොමග යවන්නයි රණවිරුවන්ව සමච්චලේට ලක් කරන්නයි. දැන්නං සමහර උන්ට රණවිරුවන් ගැන ලොකු දයාවක් පහල වෙලා. රණවිරුවන්ව විකුණන්න එපාලු. කරුණාව ගලා බහිනවා! ඕකට සිංහල මිනිස්සු කියන්නෙ කන්න ඕන උණාම කබරගොයා තලගොයා කරගන්නව කියල. අපරාදෙ කියන්න බෑ ඒකනං කරනව අගේට.

සමහර උං කිවුව හමුදාව කරන්නෙ රස්සාවක්ය හමුදාවට බැඳෙන්නෙ සල්ලි හොයන්න විතරය කියල. තවත් උන් කිවුව දෙමළ තරුණයන්ට අවි ගන්න හේතුවක් තියනවය ඒ සිංහලයන්ගෙන් වෙච්ච අසාධාරණකම් ය කියල. උන් නිකමටවත් ඇහුවෙ නෑ දෙමළ ජාතිවාදයයි ත්‍රස්තවාදයයි නිසා සිංහල මිනිස්සුන්ටයි මුස්ලිම් මිනිස්සුන්ටයි විඳින්න වෙච්ච වේදනාව අවි ගන්න හේතුවක් නොවෙන්නෙ මොකද කියන ප්‍රශ්ණෙ.

අනිත් එක ඩොලර් වලට කහින එකෙන් තරම් ලොකු ආදායමක් හමුදාවට බැඳිල හොයන්න බැරි බවත් අපි අමතක කරන්න නරකයි. ඩොලර් කාක්කො හිතනවද දන්නෙ නෑ අනිත් හැම එකාම තමුන් වගේය කියල. අද කාලෙ හැටියකට සුළු මුදලක් ලබන්න ජීවිතේම පරදුවට තියයිද මනුස්සයෙක් රට ගැන පොඩි හරි හැඟීමක් නැතුව. වැඩේට හරි නායකත්වයක් ලැබුණාමයි ඒ හැඟීම පණගහල එන්නෙ. සිද්ධ වුණෙත් ඒකයි. ඕක කුලීකැස්සන්ට තේරෙන්නෙ නැති උණාට හැඟීම තියන එකාට තේරෙනව.

Sunday, September 27, 2009

අමතක වෙන හැටි...

දකුණෙ ඡන්දෙ ගැන ලියපු එව්ව වැදිච්ච් උන්ට තවත් කේන්තියි. තමන්ගෙ බ්ලොග් වලින් වැලමිටි පාරවල් අනිනව. කොනිත්තල කමෙන්ට් දානව. ඒකත් හොඳා. ආනෝල්ඩ් කාරය ගැන ලියාපුවට හෙමත් පොරවල්ගෙ හිත් රිදිල. ඔය සීන් එක ගැන සමහර උන් මහ පරිමාණ විශ්ලේෂණ හෙම ලිවුවනෙ. සමහරක් බ්ලොග් කරයො ඉන්නව කොණක් අල්ලගන්න බලාගෙන. උන්ට ඕන මොකක් හරි එක සිද්ධියක් පඬි විශ්ලේෂණයක් ලියන්න. ඒවගෙ එවුන්ට බටර්කලීගෙ රෙද්දත් ඇති එල්ලිල කෑගහන්න. ඕකෙ එච්චර උඩපනින්න දෙයක් නැති බව කියන්නයි මං ඉතිහාසය ටිකක් එලියට ඇද්දෙ. නැතුව යැංකියො කරන කරන මෝඩකං අපිත් කරන්න ඕන කියල එකක් නෑ.

පඬියන්ට ඉතිහාසය ලේසියෙන්ම අමතක වෙන ගතියක් තියනව.ඒකාධිපති ආණ්ඩු ගැනයි මානව හිමිකං ගැනයි හෙම ලොකුවට ලියන උන්ට විතරක් නෙවෙයි උන්ගෙ ගුරාලටත් අමතකයි මීට අවුරුදු විස්සකට එහා පැත්තෙ තිබුණ තත්වෙ. ඒ කාලෙ බ්ලොග් ලියන්න විදිහක් තිබුණනං හෙම සැකයක් නෑ උන් අද වගේම ලියනව විශ්ලේෂණ.හැහ්? ඕං බලමුකො ඒකෙත් හැටි. අවාසනාව!

දැං ඔය බස්නාහිරට ඡන්දෙ ඉල්ලපු හරක්යුලිස් කාරයටයි රේස්හෝස් කාරයටයි අම්බානට මනාප හම්බවුණා. උන්ට සල්ලි තියන එක ඇරෙන්න වෙන සුදුසු කමක් නෑ දේශපාලනේ කොරන්ට(දැං අහන්න එපා දේශපාලනේ කොරන්ට සුදුසුකං ඕනද කියල) හෝස් රේස් කාරය නම් කාලෝ උන්නැහෙට ගානක් දීල කියවගත්ත මිනිහ ඔබාම ලොක්ක ඉගෙන ගත්ත විශ්ව විද්‍යාලෙං ඇමරිකාවෙදි ඉගෙනගත්තය කියල. සල්ලි ටිකක් විසිකරන්න පුළුවන් එකාලට ඔබාම ගිය එකට නොවෙයි ඊටත් උඩ එකකට ගිහින් උනත් ඉගෙනගන්න බැරුවයැ. පොඩිගමරාල උන්දලට මනාප දුන්නෙ නෑ.

ලංකාවෙ මිනිස්සු සාමාන්‍යයෙන් මනාපෙ දෙන්නෙ දිනයි කියල හිතන්න පුළුවන් මිනිහට. හැබැයි මෑත කාලෙ මිනිස්සු පළාත් සභා ඡන්ද වලදි කතිර ගැහුව ජාතික ප්‍රශ්න ගැන හිතල. එහෙම නොවෙන්න ලොක්කට වන්නි මෙහෙයුම නතර කරන්න වෙනව. පොඩිගමරාල මේක අවස්ථාවක් කරගන්නව ඒ සත්කාර්යයට දායක වෙච්ච උදවියට හිස නමල ආචාර කරන්න.(ඒ ජනතාව තමා අර රතිඤ්ඤා හෙම පත්තු කලේ)

Saturday, September 26, 2009

අමතක වෙන්න කලින්..

කොටි බලවත් වෙලා හිටපු කාලෙ ප්‍රභාකරන් ඒ කියන්නෙ හිටපු මහ කොටිය ලංකාවෙ වැදගත් (සමහරක් උදවියට වැදගත්ම) දේශපාලන චරිතයක් වුණා නෙව. ඒ කාලෙ මිනිහගෙ ප්‍රකාශයි මහා වීර කතාව (ඔය කොල්ලො කියන්නෙ පොර ටෝක් දෙනව කියල අන්න ඒවගේ කතාව)යි හෙම අපේ සමහර මාධ්‍ය පොරවල්වලට ලොකු වුණා. මිනිහගෙ ත්‍රස්ත ජාවාරමේ වැදගත්ම කොටස උනේ මාධ්‍ය උන්නැහෙල ටිකද කියලත් හිතෙනව. මහා කතාව අහන්නද ඒ ගැන ලිපි ලියන්ටද අයෙ නොවැම්බර් මාසෙ වෙන්න යන කලබල ආදිය ගැන අනාවැකි පලකොරන්ටද ඔය වගේ නොයෙකුත් ආකාරයෙන් තමුන්ගෙ උපන් දිනේ තමුන්ටත් වැඩිය ඉහලින් සමරන්න කට්ටිය සැදී පැහැදී ඉන්න බව දන්න නිසා සිංහල මිනිස්සුන්ගෙ හිත්වල භීතියක් ඇති කරන්න මේ අවස්ථාව ලේසියෙන්ම යොදාගන්න පුළුවන් බව මිනිහට උනත් වැටහෙන්න ඇති.

මිනිහ කියාපු කතාවක් තමයිලු " සිංහල මිනිහට යමක් මතක තියෙන්නෙ සතියයි " කියන එක. ඕක සමහර විට අපේ මහත්තයෙක් ජනතාවට කාරණේ ඒත්තු ගන්නන්න හදාපු එකක්ද දන්නෙත් නෑ. කොහොමින් හරි ඔය කතාවෙ යම් ඇත්තක් තියනව.ඒකෙන් කියවෙන්නෙ සිංහලයන්ගෙ සංස්කෘතියෙ ලක්ෂණයක්. ඒ අතින් ගත්තාම ඇංග්ලෝ-සැක්සන් කාරයින්ගෙන් අපි ඉගෙන ගන්න ඕන දේවල් තියනව ඉගෙන නොගත්තට. අරක්කු බීමයි කලිසන් කෝට් ඇඳිල්ලයි තව ඕන්නං මල ඉලවු "ඇක්සන්ට් එක"යි එහෙමනං ඉගෙන ගන්න ඇති. ටිකක් දුරදිග බලන එක ඈත ඉලක්ක තියන් වැඩ කරන එක හෙම අපිට මගඇරිල ගිහින්. " ඉර නොබහින අධිරාජ්‍යය " (කොහොමද ඒකෙ තියෙන උජාරුව?) කියල එකක් හදාගන්න උන්දලට හැකියාව ලැබුණෙ ඔය වගේදේට දක්ෂ හින්දයි. ඔය මෑතකදි ඉඳන් ලොකු වෙලා ඉන්න යැංකිකාරයින්ට වඩා ඇංග්ලෝ-සැක්සන් කාරයන්ගෙ ලේවල තියනව ඔය ප්ලෑන් ගහගෙන වැඩකරන හැකියාව. කොටින්ම උන් උඩරට රාජධානිය යටත් කරගත්තෙත් හීන් නූලෙන්. නෑ මං කියන්නෙ අපි උන් වාගේ වංචාකාරයො වෙන්න ඕන නෑ. ඒ උනත් වංචාවක් වගේ නොපෙනෙන්න වැඩේ කරන විදිහ අපි තව ඉගෙන ගන්න ඕන. එහෙම නොකරන්න කොටි රැල අතු ගාල දාන වැඩේ මේ කපේදි කොරන්ට වෙන්නෙ නෑ.කොටිය අතුගාල දාපු එක මතක තියෙන වෙලේ හිතට ගන්න තියන එක පාඩමක් තමයි ඒ.

ඔය මතකය කියන එක බුද්ධියෙ වැදගත්ම කොටසක්නෙ. සමහර විට ඕක කොටසක් කියල කියන එකම වැරදි වෙන්නත් පුළුවන්. ඔහෙල සමහරවිට බලලත් ඇති එක ඉංගිරිසි චිත්‍රපටියක් තියනව ඒකෙ පෙන්නන්නෙ මතකය එක දවසකට සීමා වෙච්ච ගෑණු කෙනෙක් ගැන. තත්පර කීපයක කෙටි කාලයකට මතකය සීමා වෙච්ච මනුස්සයෙක් ගැනත් ඒකෙ තියෙනව. ඒ වගේ මනුස්සයෙක්ගෙ බුද්ධිය (තාවකාලිකව උනත්) අඩුවෙලා කියල හිතන්න පුළුවන්.වතාවක් ඔය ගැන මා එක්ක වාද කලා මිත්‍රයෙක් බුද්ධියයි මතකයයි හාත්පසින් වෙනස් දෙකක්ය කියල.

කොහොම උනත් මට කියන්න ඕන කරල තිබුණ කාරණේ වෙන එකක්. කොටි නැති කරන මෙහෙයුම සැලසුම් කලාය කියන්නෙ සාමාන්‍යයෙන් මේවගේ හටන් කරන සාස්තරේට අනුව නෙවෙයි.කොටින් කියනව නම් පොතේ හැටියට නෙවෙයි වැඩේ කරල තියන්නෙ. හැබැයි වැඩේ හරියට කරගත්ත හින්ද දැන් පොත අලුතෙන් ලියන්න පුළුවන් කමක් තියනව.ඔය වන්නි මෙහෙයුම කියලයි තවත් නොයෙක් නං ගං දාගෙනයි මාධ්‍යවේදියො ලියාපු පොත් හෙම මේ දවස්වල අඩු නැතුව තියනව. එව්ව ඉතින් වාර්තා විදිහට මිසක් ඒ තරං වැඩක් වෙයි කියල හිතන්න අමාරුයි. මේ වැඩේට අත ගහන්න ඕන සරත් ෆොන්සේකා මහත්තය වගේ උදවිය. උන්නැහෙ තමා වැඩේට සුදුස්ස.පහුගිය දා ඔයගැන දේසනයක් කොරන්ට උන්නැහෙට ආරාධනා ලැබිලත් තිබුන මැනේජර්ලගෙ සංගමේකින්.

කලින් පොත් ලියන්න ඇත්තෙත් ඔය වාගෙම හරිගිය හටන් දිහා බලාගෙන නෙව. එහෙමනෙ දැනුමට අළුතෙන් යමක් එකතුවෙන්නෙ.නැත්නම් ඉතින් කවුරුහරි සුද්දෙක් ඇවිත් ඕක ගැන රිසර්ච් එකක් කලාය කියල පොතක් ලියල ආයෙ අපිටම එවයි ඉගෙන ගන්න.ඒ කාලෙ පරංගි එක්ක අපි කොරාපු හටන් ගැන පවා උන්ම ලියාපු පොත් තමයි තියෙන්නෙ.

Thursday, September 24, 2009

රෝසි ඇන්ටි සහ බටර්කලී නංගි

දකුණු පළාත් ඡන්දෙට රංජන් අයියගෙ බටර්කලී නංගිව දැම්මෙ මොකද කියල හුඟදෙනා අහනවා. හුඟදෙනා ලොක්කට දොස් කියනව මේ තීරණේ වැරදිය කියල. මං කල්පනා කරා ලොක්ක මෙහෙම තීරණයක් ගත්තෙ මොකද කියල. ඔය රූප පෙට්ටියෙයි, පත්තර වලයි ඊනියා විග්‍රහ ලියන අය වගේ ලොක්කත් එක්ක පුද්ගලික මට්ටමේ දැනෑඳුනුම් කමක් මගේ නෑ. එහෙම කියල මං එක එක්කෙනාගෙන් අහගත්තු ඕපදූප එකතු කරල පල් හෑලි ලියන්නෙත් නෑ. ෂර්ලොක් හෝම්ස් මහත්තය වෙන කෙනෙක්ගෙ මනස තේරුම් අරන් සිද්ධිය ගොඩනගනව වගේ මාත් ලොක්කගෙ පැත්තෙන් බැලුව සීන් එක දිහා.

රංජන් අයියගෙනුයි හරක්යුලිස් අයිය ගෙනුයි රීලෝඩ් දදා හිටපු බටර්කලී දැරිවි දේශපාලනේ කොරන්ට මුහුකුරා ගිහින් ඇත්ද කියල කෙනෙකුට හිතෙන්න පුලුවන්. කෙල්ල අයියලගෙන් ඉගෙන ගත්තු පොලිටික්ස් ටිකකුත් ඇතිනෙ.
හරක්යුලිස් අයිය නම් කලින් වැඩ කලේ අලිය සමාගමට. ඒ සමාගම පල්ලම් බැහැල යන විදියට අලියත් පාරට බැහැල යයි කියල තේරිච්ච හින්ද බස්නාහිර ඡන්දෙදි කොල්ල මහින්ද චින්තනේට පැනගත්ත. රැස්වීමක් අමතන්න හෙම අමාරු වුණාට මාකටින් පාර දුන්න නියමෙට. සෑහෙන්න මනාපත් ගත්ත නෙව. අපරාදෙ කියන්න බෑ මිනිහට වයසක ගෑණු උදවිය තමා පැන පැන කතිර ගැහුව කියන්නෙ.

රංජන් අයිය මුලින් හිටියෙ රතුපාට පක්ෂෙක. පස්සෙ අලිය සමාගමට ගියා. හැබැයි මිනිහ ඊටත් කලින් ඇමරිකාවට ගිහින් ආව ඇඟ ලොකු කරගන්න තමුන්නැහෙලටත් මතක ඇති. අර මල්ගස් වටේ දුවන සීන් කරන කාලෙ මිනිහත් මගෙ ගාණට තමා හිටියෙ. ඇඟ ලොකු කරගත්තට පස්සෙ වන්ෂොට්, ටූ ෂොට් වගේ එව්ව කරන්න ලැබුණ. ඇමරිකාවෙ හිටපු දවස්වල මිනිහ අනෝල්ඩ් කියන නළුවගෙන් තමා ඉගනගෙන තියන්නෙ. (මිනිහත් දැන් එහෙ පලාත් සබාවක මහ ඇමති කෙනෙක් - දැන් ඔය ඇමරිකන්කාරයො කරන කියන එව්ව තමන්ගෙ බ්ලොග් අඩවි වල දාල “කෝ අපේ රටේ නෑ” කියන එව්වො මන් අහන්නෙ නිකමටවත් හොයල බලනවද ආනෝල්ඩ් කියන මිනිහ දේශපාලනේට ආවෙ මොන විදියටද කියල ?) ඔයින් මෙයින් රංජන් අයියගෙන් සහ හරක්යුලිස් මල්ලිගෙන් පොලිටික්ස් ඥානය බටර්කලී කෙල්ලටත් ආපි.

රඟපෑම කිව්වම කලාව කියන විෂයෙ පොඩි කොටසක් විතරයිනෙ. හැබැයි දේශපාලනේට ආවම මුලු දේශපාලනේම රඟපෑමක් කියල කෙනෙකුට කියන්න පුලුවන්. ඒ විදිහට ගත්තොත් නළුවොයි නිළියොයි දේශපාලනේට එන එක ගැන අපට වරදක් කියන්න බෑ. ඇයි රඟපෑමට සම්මාන දිනාගත්තු එවුන් හිට ඉන්නව නෙව ඔය කලාකාරයො අතරෙ.
මේ දවස්වල චිත්‍රපටි හැදෙනවත් අඩු එකේ උන්ටත් වැඩක් තියෙන්න එපායැ කොරන්ට. අනිත් එක ලොක්ක රාජ්‍ය සේවයෙ රැකියා ඔක්කොම උපාධිකාරයන්ට දුන්නම ඒවාගෙ කීප ගුණයක් ඉන්න කලාකාරයන්ට මල පනින්නැත්ද? අපේ හැකියාව මෙච්චර තියෙද්දි රැකියාවක් නැතුව ඉන්නෙ කොහොමද උපාධිකාරයො කිසිම හැකියාවක් නැති එවුන් රාජ්‍ය සේවයට බඳව ගන්නෙ කියල උන් ලෙඩක් අදින්න ඇති ආයෙ දෙකක් නෑ. අපි වේදිකාවට නැගල කතා කලා තමුන්නාන්සෙට පුටුව අරන්දෙන්න උපාධිකාරයො එහෙම කලාද කියල ඇහුවනම් එහෙම ලොක්කට උනත් කට උත්තර නැති වෙන්නෙ නැත්ද මං අහන්නෙ?

ලොක්ක ගෙදර ගිහින් පෙරලි පෙරලි ආවර්ජනය කලේ කලා පොරවල්ගෙ ඉල්ලීම. හා කියනව ද? බෑ කියනව ද? -ලොක්කත් කලා කාරයනෙ- රඟපාල හෙමත් තියනව. අලිය සමාගම ගත්තොත් කොයිතරං නළුවො නිළියො ඉන්නවද කියල බැලුව පොලිටික්ස් වලට බැහැපු. එතකොට ලොක්කට තේරුණා විපස්සතුමා සෑහෙන්න කලාකරයන්ට රඟපාන්න අවස්ථා හදල දීල තියන බව(එතුමාට රඟපාන්න හැකියාවක් නැති බව කවුරුත් දන්නවනෙ). නායකතුමී රෝසි ඇන්ටිගෙන් පටන්ගත්තාම, රංජන් අයියා, සේනසින්හ කොලුව, සමන් අයිය1, සමන් අයිය2, රවින්ද්‍ර අයිය.. ඔය විදිහට සෑහෙන්න රොත්තක් ඉන්නවනෙ බොලේ. අලි සමාගම නාය ගිහින් තියෙන කාලෙ මෙච්චර කට්ටිය ඉන්නවනම් බලේට ආවොත් කොහොමට වෙයිද? කරන්න තියෙන්නෙ තමනුත් රඟපෑමේ ජොබ් කීපයක් දෙන එක නේද? කියල ලොක්ක කල්පනා කලා.

ඔන්න ඔය ප්‍රශ්නෙට උත්තරයක් විදිහට තමයි ලොක්ක කලාකාරයන්ගෙන් යෝජනා වෙච්ච නම් ලැයිස්තුවට දැම්මෙ. උන්නැහෙගෙ පැත්තෙන් බැලුවාම ප්‍රශ්නෙ තේරුම්ගන්න අමාරු නෑ. මේ අවනඩුව ලොක්කගෙ හතුරන්ට හයේ හතරෙ පාරවල් ගහන්න නිමිත්තක් වෙලාය කියන එක මට තේරුණා. සමහරක් සිංහල බ්ලොග්කාරයො ඉන්නව ප්‍රභාකරන් මරාදාපු එකේ කේන්තියට මහින්ද චින්තනේ නැති කරල රාජපක්ෂ නම තියන එවුන් ඔක්කොම තුරන් කරන කන් නින්ද යන්නෙ නැතුව ලියන. උන්දල හිතාන ඉන්නෙ රටක් ආණ්ඩු කරන වැඩේ මඩ ප්‍රචාරවලින් හාඩ් ඩිස්ක් පුරවනව වගේම ලේසි වැඩක්ය කියල. පොඩි ගමරාල ලොක්කට කඩේ යනවය කියල උන් කියාවි. ඒ වුණාට ලොක්කගෙ වැඩ ගැන නිවිහැනහිල්ලෙ හිතල බලන්නෙ නැතුව වෛරයක් පිරිමහගන්න මඩ ගහන එකට මං විරුද්ධයි.

Tuesday, September 22, 2009

කිරිබත් කන්න එපා ද?

අද දවල් කියවපු සටහනක් ගැන මේ. එක මහත්තැන් කෙනෙක් (කියල හිතමු අපි ) උන්නැහැගෙ අඩවියෙ ලියල තිබුන ප්‍රභාකරන් මැරුණ වෙලාවෙ රතිඤ්ඤා පත්තු කිරීමෙන් සිංහල බෞද්ධයන්ගෙ ම්ලෙච්ඡත්වය පෙන්නුම් කරනවය කියල. එයින් නතර නොවෙච්ච උන්නැහෙ "බණ" වගයකුත් කියල තිබුණ සතුරන්ට මෛත්‍රී කිරීමේ අගය ගැන.

මහත්තයගෙ උපදෙස් නැතුවත් සතුරන්ට දයාව කරුණාව දක්වන්න සිංහල බෞද්ධයන්ට පුළුවන්. ඇයි දුටුගැමුණු මහරජතුමා තමන් අතින් මරාදමපු සතුරාට ගරු කිරීමක් විදිහට ස්මාරකයක් ඉදිකල බව අපට අමතකද? එහෙමය කියල ඉතින් ප්‍රභාකරන් වගේ නරුමයෙක් සිහිවෙන්න ස්මාරක හදන්නෙ නැති බව අර මහත්තය වගේ අයගෙ දැන ගනීම පිණිස ලියන්න වෙනව.

හොඳයි මං අහන්නෙ අර කරුණ අම්මාන් කියන මිනිහට දැන් ශ්‍රී ලංකා එකේ උප සභාපති කමක් දීල තියන එකම මදිද සිංහල බෞද්ධයන්ගෙ දයාවයි කරුණාවයි ගැන තේරුම් ගන්න.

අර රතිඤ්ඤා පත්තු කලේ කිරිබත් කෑවෙ ප්‍රභාකරන් කියන මිනිහ මරාදැම්මය කියන තේරුමෙන් නොවෙයිනෙ මහත්තයෝ. එහෙම කලේ රට බේරගත්තය කියන සතුටට. අර මිනීමරුවගෙ මරණයෙන් සංකේතවත් වෙන්නෙ අන්න ඒ කාරණේ. (ඒ ආරංචිය සමහරක් උදවියගෙ කණට කටු අනින්න වගේ වුන බවත් අහන්න ලැබුණ)

අනෙක ඔය කොටින්ගෙන් බැට කෑවෙ දුක්වින්දෙ සිංහල මිනිස්සුනෙ. කොටිවෙනුවෙන් ලියල කියල ඒ වෙනුවෙන් සුද්දන්ගෙන් හම්බවෙන ඩොලර් කුට්ටි වලින් ජීවත් වුනේ නැති මිනිස්සු තමා ඒ කිරිබත් කෑවෙ. ඒ හින්ද බයවෙන්න කාරියක් නෑ ප්‍රභාකරන් දීපු සල්ලි වලිං හරි සුදු මහත්තුරු ප්‍රභාකරන්ට කඩේ යන්න දීපු සල්ලි වලින් හරි කිරිබත් කෑවය කියල.

ඒකයි තේරුම !