දේශප්‍රේමියා සහ දේශද්‍රෝහියා වගේ වචන මෑතකාලෙ දේසපාලනේදි හරි හරියට අහන්න ලැබෙනවා නෙව.
මහින්ද මහත්තයා එක සැරයක් කතාවකදි කිව්වා අද දේශප්‍රේමියා හෙට දේශද්‍රෝහියෙකු වෙන්න පුළුවන්ය කියල. ඒ කතාව නම් ඇත්ත. එතෙන්දි උන්නැහෙ ඇඟෙවුවෙ ෆොනී මහත්තයාව වෙන්ට ඕන. උන්නැහේ ඒ කාරණේ මොන විදියෙං හිතල කිව්වත් මට මෙතෙන්දි ඕන කරන්නෙ ඒ ගැන පොඩි හාර අවුස්ස බැලීමක් කොරන්ට.
දේශප්‍රේමය කියන වචනේ ගත්තාම ඒකෙ කෑලි දෙකක් තියෙනවා නෙව. එකක් තමා දේශය. අනික ප්‍රේමය. දේශය කියන එක ටිකකට පැත්තකින් තියල පුරස්නෙ දිහා බැලුවොතිං අපිට පේන දේ තමා ප්‍රේමය කියන එකත් යංකිසි විදියක මානසික ධර්මතාවයක්. ආයතන හයෙන් මනසට ගෝචර වන යමක් තමා ප්‍රේමය. ලෝකය පංචේන්ද්‍රියන්ගෙන්ම දැනගන්ට ඕනාය කියල එකක් අපිට නෑ නෙව. අපේ සම්ප්‍රදායෙ මනස හරි වැදගත්.
එතකොට ප්‍රේමය කියන එකත් යම් කිසි විදියක බැඳීමක්. තමංගෙ රට, ජාතිය සහ සිංහලයන්ට නම් බුද්ධ සාසනෙත් ඇතුලුව තියෙන මේ දේවල් කෙරෙහි යංකිසි විදියක ඇලීමක් සහ බැඳීමක් තියෙනවා නම් ඒක තමයි සම්ප්‍රදායේ එන දේශප්‍රේමය. සමහරු තමංගෙ දරුවන්ට දේශප්‍රිය වගේ නමුත් දානවා නෙව. හැබැයි එහෙම දාපු පලියටමත් කෙනෙක් දේශයට ප්‍රිය වෙන්නෙ නෑ.
ඉතින් සමහරක් උදවිය නගන පුරස්නයක් තමා දේශප්‍රේමය තෘෂ්ණාවක් නොවේද කියන එක. ඒක ගැන ලොකුවට තර්ක කරන්ට පුළුවං තමයි. පුහුදුන් මිනිහෙක් ගත්තාම තියෙන ලොකුම පුරස්නේ මේ ඇලීම. ඉතිං කිසිම ඇලීමක් නැති ආශ්‍රවයන් ක්ෂය වූ රහතන්වහන්සේලාගේ චරිතාපදාන අපි අහල තියෙනවා නෙව. උන්වහන්සේලා මන්දෝත්සාහී හුදෙකලා චරිත නොවෙයි කියන එකයි අපිට පේන්න තියෙන්නෙ. අඩුතරමිං බුද්ධසාසනේ ආරක්ෂාව වෙනුවෙන් උන්වහන්සේලා කටයුතු කළා.
ඒ නිසා සාසනේ නගාසිටුවන්න සහ ඒකට උපකාර වන විදියට රට ජාතිය නගාසිටුවන්න යමෙක් කටයුතු කරනවා නම් ඒක නරක වැඩක්ය කියල බැහැර කරන්න අපි කුහක වෙන්න නරකයි. අනිත් පැත්තෙන් බැලුවාම මේ ප්‍රශ්න නගන බොහෝ දෙනා මමත්වය දුරු කරගත්තු වාද ඉවතලාපු ආධ්‍යාත්මික පරමාදර්ශ නොවෙයි. ඉතින් ඒ උදවියටත් නොයෙක් නොයෙක් විදියෙ ඇලීම් බැඳීම තියෙනවා. මගේ අදහස නම් ආත්මප්‍රේමය තරම් බලවත් ඇලීමක් නෙවෙයි දේශප්‍රේමය. අනිත් පැත්තෙන් සමූහයක් වෙනුවෙන් යම් කිසි කැප කිරීමක් කරන්න පුළුවන් වෙන්නෙ මමත්වයත් සෑහෙන්න අඩු කරගත්ත මිනිහෙකුට. එහෙම තියෙද්දි කෝ ඔයගොල්ලො අපි වගේ නෙවෙයි ඇලිලා නේ ගැලවෙන්න කෝ කියල බයිලා දෙසා බාන එක නම් මෝඩ වැඩක්ය කියන එකයි අපට කියන්න තියෙන්න.
හොඳයි ආයෙත් එමුකො කලින් කතාවට. දැන් ප්‍රේමය කියන එක මානසික ධර්මයක් කියල ගත්තාම අපිට ධර්මයේ ආලෝකයෙන් පේන දේ තමයි මේකත් ලෝක ධර්මයට යටත් එකක්ය කියන කාරණාව. ඒ කියන්නේ මේවත් වෙනස් වෙන දේවල් තමයි. මිනිස්සු ගත්තාම යම්කිසි කරුණක් සම්බන්ධයෙන් එකම මතය හැමදාමත් දරන්නෙ නෑ. රට ගැන තියෙන හැඟීම කලින් කලට වෙනස් වෙන්න පුළුවන්. පිහිටල තියෙන පදනම දුර්වල නම් ලේසියෙන් වෙනස් වෙන්න පුළුවන්.
මේ කාරණා නිසා කෙනෙක් රට සම්බන්ධයෙං ගත්තාම ඉන්නෙ කොතනද කියන එක වෙනස් වෙනවා.දැන් කවුරුහරි කියන්න පුළුවන් මේ සංකල්ප වලින් වැඩක් නෑය මොකද හරියට අර්ථයක් දෙන්න බෑ කියල. ඒකට නං මං දෙන්නෙ සරල පිළිතුරක්. පිළිතුරක් කිව්වට මේක පුරස්නයක්. ප්‍රේමය, වෛරය වගේ එව්වත් අර්ථදක්වන්න පුළුවන්ද? බැරි නම් එව්ව නැත්ද? යමක් වාක්‍ය කීපෙකින් අර්ථදක්වන්න නුපුළුවං වීම නැති බවට සාක්ෂියක් නෙවෙයි.
දැං ෆොනී මහත්තයා ගත්තාම උන්නැහෙ ද්‍රෝහියෙක් බවට පත්වෙන්නෙ කොහොමද කියන එක හුදෙක් ආණ්ඩු විරෝධියෙක් වීමෙං නිගමනය වෙන්නේ නෑ. උන්නැහෙ ආණ්ඩුවෙන් ඉවත් වෙලා ගිහිං අත්වැල් අල්ලගත්තෙ දේශද්‍රෝහී ලේබලය හොඳට ඇණ දාලා අල්ලගෙන හිටපු පිරිසක් එක්ක. උන්නැහෙ සුදු කොඩි කතාව වගේ එව්ව කීමෙන් පස්සෙ ඉතුරු වෙලා තිබුණ යං කිසි ගරුනම්බුවක් තිබුණා නම් ඒකත් නැති වුණා.
එහෙම වෙනකොට මහින්ද මහත්තයව බලයට ගේන්න වැඩකරපු දේශප්‍රේමී බලවේග විසින් මතවාදී රාමුවක් ඇතුලෙ තමයි ඒ ඒ පුද්ගලයාගේ තැන කුමක්ද කියල නිගමනය කරන්නෙ. මේකෙන් අදහස් වෙන්නෙ නෑ මහින්ද මහත්තය සර්ව සම්පූර්ණ දේශප්‍රේමී ප්‍රති මූර්තියක්ය කියල. නමුත් ෆොනී මහත්තයා හිතුවෙ නෑ මෙතෙන්දි දේශප්‍රේමී බලවේග දිනාගෙන මිසක් දේශප්‍රේමියෙක් විදියට කරලියට එන්න අමාරුය කියන කාරණේ. ඒ නිසා කිරි කළයක් දොවල ගොම බිංදුවක් එකතු කළා වගේ උන්නැහෙගෙ දේශප්‍රේමය විනාස වෙලා ගියා.
ඒ නිසා දේශප්‍රේමී වෙන එකත් ලේසි නෑ. ක්‍රමේකට යන්න ඕනා. හදිස්සියට කරන්න බෑ.