Wednesday, March 23, 2011

මානවෝත්තමවාදී වර්ගවාද

පහුගිය සතියෙ පොඩිගමයට මතවාදී විරුද්ධකාරයෙක් එක්ක පොඩි සංවාදයක් කරන්න ලැබුණ. මෙයත් ඔය ප.නූ.වාදියො වගේ විහිළුකාරයෙක් නිසා විජාතික බලවේගවල අතකොලුවක් වෙනවා මිස වෙන කරන්න පුළුවන් අලගෙඩියක් නෑ. අර ඇක්ස්කාරයො දැන් ඒ තරම් කල එලියක් නෑ. ඒ වගේ කාලෙන් කාලෙට උඩ එන එක එක උදවිය ඉන්නවානේ. අපිටත් මොනවා හරි තියෙන්න එපායැ උත්තර දෙන්න.

මේ ලියුම ලියන්නෙ ඒ වගේ තැනකදි ඇදිල ආපු කාරණයක් ගැන. සමහර උදවිය හිතාගෙන ඉන්නවා අපිට සුදු මහත්තුරු එක්ක ලොකු කොක්කක් තියෙනවය කියල. පොඩිගමයා කලිනුත් කියල තියනවා එහෙම තනි තනියෙං (individual) කොක්කක් නැති බව. අපිට හැමදාමත් තියෙන්නෙ මතවාදී කොක්කක් තමයි.

ඒ කියන්නෙ උන්දැලගෙ  යටත්විජිතවාදයත් එක්ක අපේ ඇයි හොඳයියක් නෑ. හැබැයි තනි මනුස්සයෙක් ගත්තාම එහෙම ප්‍රස්නයක් නෑ. මොකෝ දැං ඔය සුද්දො උණත් ලංකාවට ආපුවාහම අපේ මිනිස්සු එක්ක කතා කොරන්නෙ. අපිත් එහෙම තමයි ලැබුණාම කතාබහ කොරනවා. ඔරෝගෙන හිතින් බැන බැන යනවය කියලද දන්නෙ නෑ මේ ලෝකල් පඬිතුමාල හිතාගෙන ඉන්නෙ? හැහ්! අපි ඇවිල්ල කරුණාව මෛත්‍රිය පුරුදු කරන අය නෙව. ඉතින් ඒක නිසාද මන්ද සුදු නෝනල මහත්තුරු අපත් එක්ක නං පැනලත් කතා කරනවා. අනික සමානකං වෙනස්කං මොනවාද කියල යංකිසි විදියක තේරුමක් තියෙන නිසා අපිට මැජික් වගේ වෙන්නෙ නැතුව ඒ උදවිය එක්ක වැඩ කරන්ට පුළුවනි.

මේ පොඩි කතාව නිකමට වගේ ලිවුවෙ ලියන්න දෙයක් නැති නිසාමත් නෙවෙයි. සමහර මෝඩයො කියාගන්න දෙයක් නැති වුණාම හරි තර්කෙං උත්තරයක් දෙන්න බැරි උණාම හරි ඔය වාගේ ගොබ්බ කතාත් කියනනවා ඇහිල තියෙන නිසා.

උන්දැල කියන්නෙ අපිට බටහිරයො සිංහලයො වගේ වර්ග කරගෙන මිස මිනිස්සු කියල බලන්න බැරිලු. ඉතින් අපි වර්ගවාදියොලු. අනේ එහෙම එකක් නෑ ආයිබොවං.  එහෙම බලන්නත් බැරිකමක් නෑ. හැබැයි පොඩි පරහක් තියනවා. ඔය පඬිවරුන්ට (ලෝකල් සහ ඉම්පෝටඩ්) නොතේරුණාට මිනිස්සු කියල විතරක් අරගෙන ලෝකෙ දිහා බලන්න අපට හුරු කලේ කවුද? නිකමටවත් හිතල බැලුවද? අපේ මිනිස්සුන්ට සියලු සත්ත්වයෝ නිදුක්වෙත්වා කියල කතාවක් මිස සියලු මිනිස්සු නිදුක්වෙත්වා කියල කතාවක් තිබුණේ නැති බව අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.

අපට වර්ගවාදියො කියල ලේබලේ අලවන්න දැගලුවාට මුං ඔක්කොමත් වර්ගවාදියො තමයි. තිරිසන් විරෝධී මානවෝත්තමවාදී (ඔන්න බර වචනෙකුත් හදල දුන්න. සමහරු හිතං ඉන්නෙ බර වචන වලිං ලියුම් ලිවුවාම "හරවත් යමක් එකතු කලා"ය කියල නෙව) මේ වර්ගවාදය එන්නෙ සත්තු සහ පරිසරය මිනිසා වෙනුවෙන් මැවී ඇතැයි කියල හිතාගෙන ඉන්න උදවියගෙන් තමයි. මේ බටහිර සුදු වර්ගවාදයේ වැඩිය කතාබහ නොකෙරෙන පැත්තක්. ඒ නිසා මේ සංසාරයක් නැතැයි කියන මිත්‍යාදෘෂ්ඨිය මත පදනම් වෙච්චි මානවෝත්තමවාදී වර්ගවාදයටත් එරෙහි වෙන්න වෙනවා ඉදිරියට.

Saturday, March 12, 2011

සබ්ජෙක්ට්කුඩු ලාල්කුඩු බාස්කුඩු සහ කුඩේකුඩු

පහුගිය දවස් ටිකේ සිංහල බ්ලොග්කාරයින්ගෙ නැගල ගිය මාතෘකාව උණේ සබ්ජෙක්ට් කොල්ලගෙ බ්ලොග් එක හැක් කිරීම. ශාස්ත්‍රීය අලංකාර ඇතුව කියනවානම් සිංහල බෞද්ධ ගෝත්‍රවාදී බ්ලොග්කාරයින් කිහිපදෙනෙකු විසින් බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදී සබ්ජෙක්ට් කොලූලගෙ අඩවිය ක්‍රැක් කිරීම සහ ඒ ගැන දෙපාර්ශවයේ අධාරකරුවන්ගෙ මූලිකත්වයෙන් ඇති වෙච්චි වාද විවාද. පොඩිගමයත් සෙල්ලමට වගේ ඔව්ව කියෙව්ව. හොඳයි ඉතින් ඉඳල හිටල මොකක් හරි සෙල්ලමක් ගියෙ නැතුවාම සිංහල බ්ලොග් කියවන එවුන්ටත් කෑවෙ නෑ වගේ ඇති.

සබ්ජෙක්ට් කොලූල ආයිත් සබ්ජෙක්ට් බ්ලොග් එකෙන්ම හරි අනිත් හිතවත් බ්ලොග් වලින් කීපෙක හරි ලිවීමෙන් කරලියට ඒවි ය කියන එක තමා පොඩිගමයගෙ කල්පනාව. උන්දැල ලියන එව්ව ආසාවෙන් කියවන ගැටවු ටිකක් හෙම ඉන්නව නෙව.  ඒ අතරෙ සිංහල බ්ලොග්කාරයොත් සෑහෙන්න රොත්තක් ඇතිය කියලයි පොඩිගමය නං හිතන්නෙ.

හරි දැන් වැදගත් කාරණේට එමුකො. සබ්ජෙක්ට් කොලූත් එක්ක කුඩුලාල්කාරයව පටලවගෙන දඟලන එක නම් කාලෙ මැරිල්ලට ඇර ඒ තරං පලක් නැති වැඩක්ය කියන එකයි පොඩිගමයගෙ කල්පනාව. අර කමෙන්ටුව ගැන (පෙරමුණේලගෙ මිත්‍රයෙක් එහෙම) ගෙනාපු තර්ක විතර්ක වැරදිය කියන එක නෙවෙයි මං කියන්නෙ. (අනිත් පැත්තෙන් ඒකට යංකිසි උත්තරේකුත් සබ්.කොලූ ගෙනත් තිබුණනෙ) බයෙන්ද ප්‍රේමෙ ගැන කියපු කතාවත් හරි. සබ්ජෙක්ට්ලගෙ හිතවත්තු නිසා දොසක් නං කියන්න බෑ.

අපේ පැත්තෙන් බැලුවාමනං සබ්.කොලුවයි කුඩුලාල්කාරයයි මකබාසුයි අතරෙ ඇති මතභේදයක් නෑ. උදාහරණයක් විදියට සබ්ජෙක්ට් කොලූ ශාස්ත්‍රීය බාසාවෙන් කියපු කතන්දරම කුඩුලාල්කාරය බජාර් එකේ බාසාව යොදාගෙන වෙන උන්ගෙ අඩවිවල ප්‍රතිචාර හැටියට දානවා.ඉතින් කුඩුකොලූ ගහන්නෙත් කුඩුලාල් ගහන්නෙත් කුඩුබාස් ගහන්නෙත් එකම කුඩු ජාතිය නම් උන් ඔක්කොම එකම මිනිහද එහෙම නැත්නම් යාලුවොද ආදී කාරණා දැනගත්තත් නැතත් එහෙම එකම මිනිහ නැත්නම් යාලුවො හරි උණත් නැතත් ඇති වෙනසක් නෑ.

ඔන්න බැරිවෙලාවත් තුන්දෙනා "තැන් තුනක" ඉඳන් ලිවුවානම් ඕක හොයාගන්න එකේ වැදගත්කම වැඩි වෙනවා. දෙයියන්ගෙ නාමෙං හොයාගන්න වටිනවානෙ. මොකද එකෙකුට හරි අලුතෙන් යමක් හිතල ලියන්න වෙනවා නෙව. ඩෙස්මන් මොරිස් වගේ කවුරු හරි සුද්දෙක් ලියාපු එකක් උපුටල දක්වන්න එකෙකුට පුළුවන් කියල ගත්තොත් 1/4 මාක්ස්ව කෝට් කරන්න තවත් එකෙකුට පුළුවන් එතකොට ඉතුරු එකාට එකෙක් නැතුව යනවා නෙව. තේරුණාද වැඩේ?... අර පොඩි මල්ලි කියනවා වගේ එයාට මෙයා මෙයාට මෙයා කියල බැලුවාම එකෙක් ඉතුරු වෙනවා!

සබ්ජෙක්ට්ල ගහන කුඩු වලින් ඇස් නිලංකාරවෙලා කුඩේකුඩු වෙලා යන එක වලක්වගන්න ගැටවුන්ගේ දෑස් පාදන එකයි අපිට කොරන්න තියෙන්නෙ. ඉහ නිකට පැහීගෙන එන උදවිය ගැනනං ඉතින් කොරන්ට දෙයක් නෑ මයෙ හිතේ.


ප.ලි. "සබ්.කොලූ ගැන වාදකිරීම සඳහා බයෙන්දප්‍රේමෙ විසින් දැමූ ලියුම මේ වන විට මකා දමා ඇති බව පෙනේ. පෙරමුණේලා විසින් IP ලිපිනයක් හෙලි කරන ලෙස තිබූ යෝජනාවද මේ ලියුමට අදාලය."


Wednesday, March 2, 2011

ධර්මෙ පඬිතුමාගේ දුටුගැමුණු කොල්ලා සහ අපේ ගැමුණු මහරජතුමා

 ප්‍රබුද්ද කලාකාරයෙක් වන ධර්මෙ පඬිතුමා ගැන තමුන්නහෙලත් දැනගන්න ඕන. මගෙ මතකය හරි නම් මේ තුමා නෙමෙයි වෙන ධර්මෙ මහතැන් කෙනෙක් තමයි කාලෙකට ඉස්සෙල්ල මස් කෑල්ලේ මානව අයිතිවාසිකම ගැන පත්තරේට කිව්වෙ. ඒ කතාව මෙහෙමයි:

ඒ වෙන ධර්මෙ උන්නැහෙ පත්තරේකට දීපු සාකච්ඡාවක කියල තිබුණ දෙයක් තමා පෝය දාට මස් කඩ වැහීමට නීතියක් දැම්මයින් සිංහල බෞද්ධයො (හරියටම කියනවා නම් සිංහල බෞද්ධ ගෝත්‍රික සමාජය TM) තමංට එදාට මස් කෑල්ලක් රහ බලන්න තියන අයිතිය නැති කළාය කියන එක. ෂහ් බලාපල්ලකො ඉතින් ඒකෙත් හැටි කොච්චර අපූරු මානව අයිතියක්ද නැතිවෙලා ගිහින් තියන්නෙ? සතෙක්ගෙ මස් කෑල්ලක් කන්න ධර්මෙලාට තියන අයිතිය!

ඉතින් ප්‍රබුද්ද කතා කියන මේ ධර්මෙ මහතැන්ගෙ සාකච්ඡාවක් අන්තර්ජාලයෙ අහම්බෙන් දැක්කාම මට ලොකු සතුටක් ඇති වුණා.

ධර්මෙ මහතැන්ට හිතට අමාරුයි ලෝකල් ජැක්සන් මහතැන්ගෙ චිත්‍රපටිය සෑහෙන්න රොත්තක් බලාපු එකට. ලෝකල් ජැක්සන් උන්නැහෙ ප්‍රබුද්දකම අතෑරල ව්‍යාපාරික පැත්තට බරව කලාව කොරන කෙනෙක්නෙ. ඒ විදියට බලන කොට උන්නැහෙගෙ ප්‍රබුද්දගතිය පළුදුවෙලා යන එක ගැන ධර්මෙ මහතැන් කියන කතාව නම් ඇත්ත. හැබැයි ඉතින් ඒක ගැන අපිට දොසක් කියන්න බෑ. මොකද ප්‍රබුද්ද කලාව උණත් හුදෙක් සත්ත්ව කරුණාව පෙරදැරි කරගෙන කරන පින්කමක් නොවෙයිනෙ. එව්ව කොරනවටත් ගතමනාව අඩුපාඩුවක් නැතිව ලැබෙනවා. ප්‍රබුද්ද සමාජයේ පොරත්වයක් ලැබීම වගේ දේ උණත් ඉතින් හරි වටිනවානේ?

පරහකට තියන්නෙ ප්‍ර.කලාව බලන්න අර ගෝත්‍රික සමාජයTM එච්චර උනන්දුවක් නැති එක තමයි. ඒ සමාජයට ඒ තරං බලපෑමක් කරන්න ප්‍ර.කලාවට පුළුවන්ද කියල පුරස්නෙකුත් තියනවා. මොන අහේතුවකටද මන්දා ප්‍රබුද්ධ කලාවට වඩා ජනප්‍රිය කලාව මිනිස්සු රස විඳිනවා. ප්‍රබුද්දයො මහ ඉහලිං වණන සමාජ වලත් එහෙම වෙන්නෙ මොකද? හැම මළ ඉලව්වටම ගෝත්‍රික සමාජය මුවහමට තඩිබාන එකෙන් සමහර පඬියන්ට ස්වයංවින්දනයක් ලැබෙන බව නම් පේනව.

හඳගම මහතැන් ප්‍රබුද්දකම අතෑරීම ගැන කවුදෝ ප්‍රබුද්ද විචාරකතුමෙක් විස්සෝප වෙනවා මං බලාගෙන. හඳගම මහතැන් ගැන දුක්වෙන්නෙ මොකටෙයි? උන්නැහෙ ජැක්සන්තුමාගෙන් ආදර්ශයක් ගන්න එක වැරදිද? පොඩි අතුරු කාරණයක් - ප්‍රබුද්ද විචාරකයෙක් වෙන්නනම් පාරිභාෂික වචන සෙට් එක හොඳට කටපාඩම් වෙන්න ඕන. මොකද එව්වයින් තමා විචාරයේ ප්‍ර. ගතිය පේන්නෙ. අතීසාරයෙන් බඩයනවා වගේ වචන සෙට් එක දිග අරින්න පුළුවන්නම් සියේට පනහක් ගොඩ.

කොහොමිං හරි දැන් ධර්මෙ පඬිතුමාගෙ කතාවෙ වැදගත් කොටසට එමුකො. මුන්නැහෙට කවුදෝ ආරාධනා කළා (කියල කියනවා) දුටුගැමුණු ටෙලි වෘතාන්තයක් කරන්න. (අනේ දෙවියනේ!) මෙතන කියවෙනවා ධර්මෙ උන්නැහෙගෙ දුටුගැමුණු කවුද කියල. වැදගත්කම ඒකයි. එයාගෙ එළාර-දුටුගැමුණු මෙහෙමයි:

 එකමත් එක රටක ඉන්නවා අවුරුදු 44ක් රජ කරපු - රට ආක්‍රමණය කරාපු එකෙක් නෙවෙයි ඕං - රජ කෙනෙක්. දැන් දුටුගැමුණු කියන කොල්ලා ඇවිත් මේ වයෝවෘධ බුද්ධිමත් රජාට අභියෝග කරනවා මිනිස්සු මරාගෙන යුද්ධයක් කරන්න. එතකොට වීර, බුද්ධිමත්, මනුෂ්‍යත්වයTM වෑහෙන රජා කියනවා "උඹ මාව මරපන් එතකොට මිනිස්සු මැරෙන්නෙ නෑ" කියල. හප්පේ.. ඉතින් බලහල්ලකො මේ වගේ ධර්ම ඉස්ටාර් රජෙක්වනෙ බොල මේ දුෂ්ඨ කොල්ල මරාදාල තියන්නෙ? ප්‍රභාකරන්ගෙ මනුෂ්‍යත්වයට විතරයි නොවැ මේක දෙවෙනි වෙන්නෙ?  මට නිකමට හිතෙනවා ධර්මෙ පඬිතුමා ඒ කාලෙ එළාරට පුරෝහිතකමක්වත් කළාදෝ කියල.

දුටුගැමුණු කියන්නෙ ඒ කාලෙ ගැමුණු රජතුමාගෙ උත්සාහයට විරුද්ධවෙච්ච හතුරො දාපු නමක්ය කියන මතය පොඩිගමය පිළිගන්නව. බෝධිසත්ත්ව චරිතයක් දුෂ්ඨයෙක් බවට පත්කරන්නෙ මේ උදවිය තමයි. ගැමුණු කුමාරයා යුද්ධ කළේ බුද්ධ සාසනේ වැනසිලා යන එක වලක්වන්න. තමංගෙ පැත්තෙන් විතරක් බැලුවානම් ආත්ම ඝාතනයක් හා සමානයි මේ වැඩේ. මෙහෙම දෙයක් කරන්න ඉදිරිපත් වෙන්නෙත් බෝධිසත්ත්වයෙක්ම තමයි.

කොහොමිං හරි ගැමුණු මහරජතුමාම තමයි එළාර සිහිවෙන්න සෑයකුත් බැන්දෙ. සතුරෙක් සිහිවෙන්න ස්මාරකයක් බඳින්න තරම් සතුරාට මෛත්‍රිය කරපු උත්තමයෙක්. ප්‍රශ්නෙ තියන්නෙ ධර්මෙ පඬිතුමා කොහොමද දැනගත්තෙ ඔය ද්වන්ද්ව සටන එළාරගෙ යෝජනාවක්ය කියල? ඒ එළාරගෙ පැසුණු බුද්ධිය නිසාද? එළාර වැඩිමහල්ලෙක් නිසාද? වැඩිමහල් වෙන්නෙ රජකම් කරපු කාලයෙන්ද? දෙදෙනාගෙන් වැඩිමහල්ලා කවුද?

එළාර සිංහල බෞද්ධ ගෝත්‍රික සමාජයේTM නෙවෙයි. ධර්මෙලා කලින්ම ගන්නවා එළාරලා වගේ හතුරුකං කරන එකාල අතිමානුෂික, සීලවන්ත පොරවල්ය කියල. එහෙම කරල මුවහමට තඩිබාන්න පුළුවන් තත්වයක් තමංගෙ ඊනියා ප්‍රබුද්ද කලාකෘතිවලින් ඇති කරගන්නවා. අනුරාධපුරයට එන්න කලින් පොඩි කොල්ලව ඉවරයක් කරන්න පුළුවන් වේවි කියල එළාරට හිතිලද දන්නෙ නෑ මුලින් ඔය මනුෂ්‍යත්වය උඩට ආවෙ නැත්තෙ? අනේ මගෙ කට.

පොඩිගමයා ගැමුණු මහරජතුමාගෙ ආත්ම පරිත්‍යාගයට නමස්කාර කරනවා ධර්මෙ පඬිතුමා ඇතුලු ප්‍රබුද්දයන්ට මස් කකා තඩිබාන්නත් ඒකෙන් මඩිය තර කරගන්නත් ඇරුණාම කෙලෙස් නසා නිවන් දකින්න සිංහල බෞද්ධකම බේරලා දුන්නට. නලින් මහත්තය කියනවා වගේ දැන්වත් අපි ඔය දුෂ්ඨ කෑල්ල ගලවලා අයින් කරමු ඒ සත්කාරියට කරන උපහාරයක් හැටියට. ජයන්ත මහත්තයා නම් මේ කාරණේ කොහොමිං හරි දැනගෙන තියෙන බව පේනවා.