Monday, August 22, 2011

ඉන්ද්‍රිය ගෝචර සතෙක් වන ග්‍රීස් යකා

ග්‍රීස්-යක්කු ගැන ලියපු අය අතරෙ රැඩිකල්තුමාත් එක්කෙනෙක්. කලින් ලියුම දිග වැඩි වෙයි කියල ඒ කතාව ඇතුලට දැම්මේ නෑ. උන්නැහෙ රැඩිකල් විදියට හිතන්න තැනුවාට ග්‍රීස්-යක්කු ගැන කියන්න ගිහිල්ල අනාගැනීමක් වෙලාය කියලයි මට හිතුණෙ. උන්නැහෙ ග්‍රීස් යකයි මහසෝන් යකයි (රීරි යකයි) එකටම අරගන්නෙ දෙක වෙනස් කියන එක තේරුං අරං නැති නිසා. බටහිර විද්‍යාව ගැන පුරාජේරුව ගැහුවට කල්පනාවෙං පුරස්න දිහා බලන්න හිත නැඹුරු වෙනවා හොරයි.

මොකද්ද මේවයෙ වෙනස? 

මහසෝං යකා වගේ අය බොහොම පැරණි යක්කු. මහසෝං යකා ගැන පුරාවෘත්තයේ තියන්නෙ ගැමුණු රජ්ජුරුවංගෙ කාලෙ කතාවක්.

ඒක අහල ඇති නෙ. නැතත් කමක් නෑ මතක විදියට ඒකත් ලියන්නංකො. කතාවෙ පොඩි පොඩි වෙනස්කං තියෙන සංස්කරණ(version) කීපයක් තියනවා. රිටිගල ජයසේන කියල මනුස්සයෙක් ඉඳල තියනවා ඒ කාලෙ. මේ මනුස්සය ගුස්ති අල්ලන්න දස්සය. ඒ කියන්නෙ අතිං පයිං වාද කරන්න දක්සයෙක්. ගැමුණු රජ්ජුරුවංගෙ ගෝටයිම්බර යෝධයත් ඉතින් ඔය වැඩවලට දස්සය. ගෝටයිම්බර වැඩිය උස මිනිහෙක් නෙවෙයි. හයි හත්තිය තිබුණාට. ගෝට කියන්නේ ඒ හින්දාය කියනවා. ඉම්බර කෑල්ල ආවෙ ඉම්බර ගස් රාසියක් උදුරපු නිසා කියනවා.

කොහොම හරි ගෝටයිම්බර යෝධයා උත්සවයක් අරගෙන තියනවා යංකිසි කාරණේකට. ජයසේනටත් ආරාධනා කළා මේ උත්සවේට මේ දෙන්නා අතරේ දැනෑඳුනුම් කමක් නිසා වෙන්ටැති. ගෝටයිම්බරගෙ ගෑණු මනුස්සය ඇහැට කණට පේන කාන්තාවක්. මිනිහා ඒ ගෑණු මනුස්සයාට ඕන්නැති විහිළුවක් කළා කියල තමා කියන්නෙ. ඉතින් මේක ගෝටයිම්බරටත් ඇහුණායිං වැඩේ දුර දිග ගියා. ගෝටයිම්බරට ඕන වුණා ජයසේනට පාඩමක් උගන්නන්න. නමුත් ප්‍රස්නෙ විසඳගන්න බෑ නෙව ඒ අවු අස්සෙ.

ඉතින් මේක පස්සෙ දවසක දෙන්න අතරෙ හටනකින් විසඳගන්න යොදාගෙන එදාට යාප්පුවක් දාගන්න ඇති. ඒ විදියට පස්සෙ ඇතිවෙච්චි සටනෙදි ගෝටයිම්බර අතිං ජයසේන මැරුං කෑව කියලයි කියන්නෙ. එතනදි කරණම් පාපාරක් (මැරුණ බෲස් ලී මහත්තය නිසා දැං ඔව්වට කියන්නෙ ෆ්ල්යින් කික් කියල) වැදිලා ජයසේනගෙ හිස ගැලවිලා යාමෙං තමා මරණය උණාය කියන්නෙ.

නමුත් හිස නැති කඳ පිටියෙ වැටිල තියනවා දැක්ක ජයසේනගෙ හිතවතෙක් (නම මතක නෑ) වලස් ඔලුවක් ගෙනත් හයි කලාය එතනින් පස්සෙ කියනවා මහසෝං යකා ඇති වුණේ. වලස් හිසයි මිනිස් කයයි තියෙන යකෙක්.

කොහොම හරි මහසෝං යකාගෙයි ග්‍රීස් යකාගෙයි වෙනසයි අපිට වැදගත් වෙන්නෙ. මහසෝං යකාට ජාතියක් ජම්මයක් තියනවා වගේම වයසත් වැඩි. ග්‍රීස් යකාට එහෙම එකක් නෑ. මහසෝං යකාගෙං වෙන අතුරු ආන්තරා වලට තොවිල් පවිල් ආදියත් හැදිලා තියන එකෙන් පේන්නෙ උන්නැහෙට යම්කිසි තැනක් තියන බවයි. ග්‍රීස් යක්කුංගෙන් වෙන ප්‍රස්න වලට තොවිල් කොරන සිරිතක් නෑ නෙව. යකා කියල තිබිච්චි පලියට දෙකම එකයි කියල පඬිතුමාල හිතුවට සාමාන්‍ය මිනිස්සු වැඩේ පටල ගන්නෙ නෑ.ඔන්න මේ දවස්වල "වෙද ගෙදර" මහත්තය තොවිල් පවිල් වලට අදාල ලියුං වාගයක් ලියාන යනවා.

තවත් විස්තර ඇතුව බැලුවොත් දෙන්නගෙ වෙනස.මහසෝං යකා එක්ක පොලු අරගෙන ඔට්ටු වෙන්න යන මිනිහෙක් නෑ. හැබැයි ග්‍රීස් යක්කුය කියල අල්ලගත්තු මිනිස්සුන්ට පොලුවලිං එහෙම සංග්‍රහ කොරල තිබුණ මිනිස්සු. දැං මං කියන්නෙ නෑ ඒක හරි වැඩක්ය කියල. අහිංසක මිනිස්සුත් ඉන්න පුළුවං නෙව ඔය අතරෙ. එහෙම නීතිය අතට අරගෙන වැඩ කරන්න හොඳ නෑ. නමුත් මේකෙන් පැහැදිලිව පේන්නෙ ග්‍රීස් යකා ඇවිල්ල පොලුපාරවල් වලට සංවේදී සතෙක් මහසෝං යකා එහෙම නෑ කියන කාරණේ. ඒ කියන්නෙ ග්‍රීස්-යක්කු කියන්නෙ පංචේන්ද්‍රියන්ට ගෝචර සත්තු. මිනිහෙක්මනේ ඇඟේ ග්‍රීස් ගාගෙන ග්‍රීස් යකෙක් වෙන්නෙ.

තවත් ග්‍රීස්-යක්කු සුද්දො ලංකාවට එන්න කලිං ලංකාවෙ ඉඳපු යක්කුත් නෙවෙයි. මොකද ග්‍රීස් කියල ජාතියක් ආවෙ මෑත කාලෙ නෙව. ඒ ගැනත් රැඩිකල් මහත්තැන් ටිකක් කල්පනා කොළානං හොඳයි කියල තමා මට හිතෙන්නෙ. ග්‍රීස්-යකා නූතන යකෙක් වගේම අතිං අල්ලන්න පුළුවං යකෙක්. පරණ යක්කු එහෙම නෑ. අනිත් එක ඒ යක්කු ගෑණුන්ට විතරක් බැලම දාන්නෙත් නෑ.

මේ වගේ කාරණා නිසා මට හිතෙන්නෙ ග්‍රීස්-යක්කු වගේ නූතන යක්කු ගැන හොයා බලන්න ඕන ලයිට් කණු විදුලි පහන් යොදාගෙන යක්කු එලවන්න හදන නූතනවාදීන්ගෙ නියෝජිතයො වෙච්චි රැඩිකල්තුමාලයි කට්ටියම තමා. අපේ සහයෝගයක් ඕන නම් ඉතින් දෙන්නත් පුළුවං. නමුත් තමුං බැඳගත්තු බෙර තමුංම ගහනවානං තමා වඩා හොඳ.


මේ අතරෙ ආරංචියක් ආව ග්‍රීස් යකුන් නැගෙනහිර පලාතෙ දේසපාලන උවමනාවක් වෙනුවෙන් පාවිච්චි කෙරෙන කතාව. කලිං ලියුමෙ ප්‍රස්නයක් විදියට ඇහැවුවෙ රටේ වෙන වෙන තැං කීපෙකින් ග්‍රීස් යක්කු බිහිවීම ගැන. දැන් සයිඩර් මාමලගෙ භීතිකා වාදයට එහා ගිය ග්‍රීස් යක්ෂ නාටකයක් තියෙන බව පේනවා.

1,2,
3
4

2 comments:

  1. මහසෝනා, වගේ සංකල්ප වලට අරුතක් තියනවා. නමුත් ග්‍රීස් යකා මම නම් හිතන්නේ වැඩකට නැති මේ මදාවි යකෙක්. කිසිම ගන්න දෙයක් නැහැ. අඩුගානේ ගුටිකන එකේවත් සීමාවක් තියන්න එපායැ. එහෙමත් නැහැ. මේක කාගේ හරි උවමනා එපාකම් පිරිමසා ගන්න නිර්මාණය කරපු මොඩ් යකෙක්. අලුත්ම යාතු කරමයක් ඕනෙ වෙයි වගේ.

    ReplyDelete
  2. ඒක තමා. නමුත් සමහර උදවියට ඕනැ වුණා ග්‍රීස්යකා හුදී ජනතාවගේ හිතේ විතරක් තියන මිත්‍යා සංකල්පයක්ය කියල පණ්ඩිතකම පෙන්නන්න. ගෙදරට හොරෙක් පැන්නාමත් මිත්‍යා සංකල්පයක් කියල බලාගෙන ඉන්නවද දන්නෙ නෑ මේ කට්ටිය හැහ්!

    ReplyDelete

අටුවා ලියන්නට පෙර කියවා බැලීමට
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ලියන දෙයක් තේරෙන සිංහලෙන් ලිව්වොත් හොඳා. පොඩිගමයගෙ ඉංගිරිස් දැනුම අන්තිමයි. සිංහලෙන් යතුරු ලියන්න බැරි නම් පරිවර්තකේ පාවිච්චි කරන්න.

කාරණාවට අදාල පුරස්නයක් හෙම අහනවා නම් පුළුවන් තරං කෙටියෙන් අහන්න. වැල්වටාරං ලියන්න එපා.

කුණුහරුපෙන් බණින්න හිතෙනවා නම් පරිස්සමෙං ලියන්න. නිසි බලදාරිය මහත්තයා වැඩ.

කාරණේට අදාල නං මිස වෙනත් අඩවිවල දාපු ලියුම් වලට සබැඳි දාන්න එපා. තමංගෙ අඩවියට සබැඳියක් දාගන්න ඕන නම් ඉල්ලීමක් කරන්න.