Friday, January 27, 2012

දහතුන ධන ද දහතුන ඍණ ද?

(දහතුන,පනස් හය,පනහට පනහ,දෙමළ රාජ්‍ය)
දහතුන යනු දොළහ ධන එකය. දහතුන හැදුවාම වැඩේ හරියන බව කියූ උදවිය පසුකාලයේ තව තව එවුවාත් ඕනෑ යයි කීවෝය. දහතුන ධන හැදුවාම හරි යනවා යැයි කියන්නේද මේ උදවියම බව පෙනේ. දොළහ ධන එකෙන් නොසංසිඳුණු ආසාවල් දාහතරෙන් පහළොවෙන් සංසිඳේවි යැයි මට නම් නිකමටවත් හිතෙන්නේ නැත. මේවා වැඩි හරියක්ම ආසාවල්ය. පුහුදුන් හිත්වල ඇති ආසාවල් වලට සීමාවක් දාන්නට බැරි උනාට පොඩි එකාගෙ ආසාව නේ කියා හැම මගුලටම හා කියන්න ඕනෑ නැත. එහෙම හා කියා කිව්වත් කිවු පලියට කොරන්ට පුළුවංකමකුත් ඇත්තේ නැත.

වෙන එකක් තියා යැංකි ඩිකී සීයාට ඇල්ටීටී පැංචා වැටි වැටි නැගිටින කාලේ කෝටු මස් කරන්නට ඉඩ නොදුන්නායින් අන්තිමේදී රජතුමා මාමා එන කල්ම චණ්ඩි පාට් දමන්නට ඉඩලැබුණ බව අමතක කොරන්නට හොඳ නැත. ඒ කාලේ ඉඳන්ම ඇල්ටීටීඊ පැංචාගේ කැපකරු පියා විදියට වැඩ කර පළපුරුදු චණ්ඩියන් මාමා තාමත් මේ පැත්තට ඔලුව දමයි. චණ්ඩියන් මාමා මේ එන්නේ රජතුමා මාමාව බය කරගෙන නැති ප්‍රශ්නයක් ඇති කරන්න බව මගේ කල්පනාවය.

ඇතුලේ පුරස්න ටික විසඳාගන්න බැරුව දඟලන චණ්ඩියන් මාමා වටේ පිටේ ගෙවල් වල පුරස්න විසඳන්න ඕනෑ ය කියා දාන චණ්ඩි පාට් දෙවෙනි වෙන්නේ සෑම් අන්කල් මාමාට විතරය. (දෙන්නා හිතවත් නිසා පුදුමෙකුත් නැත.) බලාගෙන ගියාම ලොකු ලොකු මාමලා ඔක්කොටොම ඇත්තේ මේ ලෙඩේය.

සමහර පණ්ඩිත අන්කල්ලාට අනුව ඔක්කොටම පුරස්න වලට මුල පනස් හය ය. ඊට කලින් වෙච්චි සීරියස් වැඩ ගැන පණ්ඩිත අන්කල්ලා නෑසූ කන්ව සිටිති. පනහට පනහ ඉල්ලීම, දෙමළ රාජ්‍ය පක්සය හැදීම වගේ වැඩ කළේ පනස් හය දිවැසින් දැකලා දැයි අපිට හැකේකුත් ඇතිවෙනවාය.

මේවා ගැන කතා කරන එකට අකමැති උදවිය අතීතෙන් දැන් වැඩක් නැතැයි කියමින් පැස්බර වත අනුගමනය කරති. අතීතයේ එල්ලී ගැලවෙන්නට බැරිව ඉන්නේ චණ්ඩි බාප්පලා පණ්ඩිත අන්කල්ලා මිස අප නොවේ. ඒ උදවියට සල්ලි හම්බෙන්නේ පුරස්න වවා ගත් තරමටය. දහතුන ධන ඕනෑ වී ඇත්තේ ඒ සඳහාය.

හුදී ජනතාවට මේ පඬි බයිලාවලින් වැඩක් වෙතැයි සිතිය නොහැකිය. රෑ වැටුණු වල මතක තියන තාක්කල් දවලුත් වැටෙන්නට කැමති වෙනු ඇතැයිද අපි නොසිතමු. රජතුමා මාමා වැඩ කළ යුත්තේ ඒ ජනතාවගේ ඕනෑ එපාකම් සම්බන්ධයෙන් මිස පණ්ඩිත අන්කල්ලාගේ හීන හැබෑ කිරීමට නොවේ. හම්බන්තොට ගැන බලන අතරේම උතුර නැගෙනහිර පළාත් දෙක (එක නෙවෙයි) ගැනත් හිතයොදන එක කීප අතකින්ම වැඩදායක බව අපි හිතමු. උන්නැහෙට ඒ වෙනුවෙන් ප්‍රඥාව පහල වේවායිද පතමු.

11 comments:

  1. ආහ් ..ගම උන්නැහේ ,කාලෙකට පස්සේ . ඔබතුමා දකින විදිහට වඩා බොහොම වෙනස් විදිහට ඔය ප්‍රශ්නය දිහා බැලුවත් මමත් කියන්නේ 13 හෝ එකට තව කැලි බැලි එකතු කරන 13 + එකකින් වැඩක් වෙන්නේ නැ කියලයි . 13 කියන්නෙ චණ්ඩියන් බාප්පාගේ දැවැන්ත භූමියේ මොඩලය ගෙඩිය පිටින් මෙහාට දීපු එකක් නෙව , ඕක හරියනව නම් දැන් අවුරුදු 20ක් තිස්සේ තිබුනා හරි යන්න ඕනි නේ . මගේ සම්පූර්න අදහස ලිපියක තියෙයි හැකි නම් ගොහින් බලන්න

    ReplyDelete
  2. කොලුවගෙ ලිපියත් නරකම නෑ. මේ ගැන තව විස්තර ටිකක් ලියන්න තිබ්බා නම් හොඳා. වෙලාව තමා පුරස්නේ.

    ReplyDelete
  3. මා සතුව තිබෙනවා ඉතා වටිනා පොතක්. එහි නම ද්‍රවිඩ මුනේත්‍ර කසාගම් ව්‍යාපාරය හා සිංහලයාගේ අනාගතය. මෙය ලියා ඇත්තේ ඉතා විද්වත් පුද්ගලයෙක් වන මහාචාර්‍ය්‍ය විමලානන්ද තෙන්නකෝන් මැතිතුමාය. මෙහි සඳහන් වන තොරතුරු ඔබගේ අදහස හා සමඟ එකඟයි. මට තේරෙන් නැහැ, ඇයි මේ ප්‍රශ්න වලට පිළිතුරු සොයන මිනිසුන් මෙවැනි ග්‍රන්ථ පරිශීලනය නොකරන්නේ කියා? කෙසේ වුවත් ජාතියක් වශයෙන් වෙනම සිතා ද්‍රවිඩ ප්‍රශ්නය විසදීනට යාමෙන් වන්නේ පය බරවායට පිටිකර බෙහෙත් බැදීමක් බවයි මට නම් හැගෙන්නේ. අර එකක් කඩතොළු මකා ගන්නට ගොසින් මට වූ කාරියා දෙකක් කඩතොළු සදා දුන්නැයි ඉදුරුවේ ආචාරියා. කියා කීමට අවස්ථාවක් නොතිබේවා යන්න මගේ පැතුමයි.

    ReplyDelete
    Replies
    1. දෙමළ ජනතාව වෙනම ජාතියක් විදියට හිතන්න ඕනෑ නෑය කියන කාරණේ මාත් පිළිගන්නවා. ඒ අයට වෙනම සංස්කුරුතියක් තියෙනවා නෙව. ඒ අනන්නයතාවය පිළිඅරගන්න අතරෙම එක ජාතියක් විදියට ලංකාවෙ ඉන්න බැරිකමක් තියෙන්න විදියක් නෑ. අනිත් එක දෙමළ සංස්කෘතිය සිංහල සංස්කෘතියත් එක්ක බරපතල් විදියෙ ගැටුමකුත් නෑ නෙව. මෙතනත් තියන්නෙ වවා ගත්තු පුරස්නයක්. අසාධාරණකම් වගේ කතා ඔලුවලට දාල දාල හදපු ප්‍රස්නයක්.

      Delete
  4. තමුන්නැහෙ මේ පොත ගැන මට කලිනුත් කියා තිබෙනවා. මට ඕක කියවන්න උවමනයි. තෙන්නකෝන් මැතිතුමාගේ උඩරට කැරැල්ල ගැන ලියාපු පොත විතරයි දැනට විකුණන්න තියන්නෙ. මේ ගැන තව කොමෙන්ටුවක් දාන්නම්. අර මෛථුනය ගැන ලියවිච්ච ලියුම ගැන පොඩි විවේචනේකුත් තියෙනවා. පුළුවං කමක් ලැබුණොත් ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. මා ඉතාමත් කැමැතියි ඔබට මේ පොත් බලන්න දෙන්න. එය මා පණ මෙන් රකිනවා. නමුත් ඔබ වැනි අය කියවිය යුතුයි. ලංකාවේම පිටපත් 10 පමන තමය් ඇත්තේ.

      Delete
  5. මගේ නම් අදහස ප්‍රාන්ත 9 කට බෙදා හෝ රාජ්‍ය පාලනය කලාට ගැටලුවක් නැති බවය.

    ReplyDelete
    Replies
    1. ප්‍රාන්ත රාජ්‍ය සංකල්පය ගේන්න ලංකාව පුංචි වැඩියි කියල මම හිතන්නේ ,

      Delete
  6. දැං ඔය පලාත් පාලන ආයතන කියල නවයකට බෙදුවට ඔව්වැයින් ලොකු වැඩක් වෙලා තියෙනවාද? කළාට වරදක් නෑ අවශ්‍යතාවක් තියනවා නම්. මෙතන වෙලා තියෙන්නෙ එහෙම නැතුව ප්‍රාන්ත හදාගන්න තියන ආසාව.

    අනිත් ප්‍රශ්නෙ තමා බෙදන්නෙ පුළුවං රාජ්‍ය බලය නෙවෙයි. රාජ්‍ය බලය බෙදුවාම එතන රාජ්‍ය එකකට වැඩියෙන් පාලනය වෙන්නෙ. එහෙම හරියන්නෙ නැති බව තමා මගේ අදහස.

    ReplyDelete
  7. හරියට හරි.බෙදනව නම් බෙදන්න ඔන පරිපාලන බලය මිස රාජ්‍ය බලය නොවෙයි.13+ ගැන මගේ අදහස තියෙනව මෙන්න මෙතැන.වෙගාව ඇත් නම් කියනව්ව.

    http://meeghaya.wordpress.com/2012/01/20/%E0%B6%AF%E0%B7%84%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%A7-%E0%B6%91%E0%B7%84%E0%B7%8F-%E0%B6%9C%E0%B7%92%E0%B6%BA-%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8-%E0%B6%9A%E0%B7%94%E0%B6%B8/

    ReplyDelete
  8. ඔව් රාජ්‍ය බලය ප්‍රාන්ත(මොන නමකින් හරි) වලට බෙදන්න ඕනෑය කියන්නෙ වාර්ගික ස්වයංපාලනයක් බලාගෙන ඉන්න දේසපාලකයො. මේ උදවිය බලයට ආවය කියල හුදී ජනතාවට වෙන ඉටිගෙඩියක් ඇතෙයි කියල මං නං හිතන්නෙ නෑ. මේ ගොල්ලන්ට ප්‍රශ්නයක් වුණා සිංහල බහුතරයක් ඉන්න රටක සහජීවනයෙන් ජීවත් වෙන්නෙ කොහොමද කියන එක. ඒගොල්ලන්ගෙ ඊනියා විසඳුම උණේ දෙමළ බහුතරයක් ඉන්න රටක් හදාගැනීම. (දකුණු ආසියාවේ ඊශ්‍රායලේ වගේ වෙන්න තිබ්බ) සාමාන්‍ය මිනිස්සුන්ට මේ ප්‍රශ්නෙ ඔය විදියට ආවෙ නෑ. පරිපාලනය ගැන කතාව ඇත්ත. පරිපාලනය මධ්‍යගත කරන්න ඕනාය කියල මතයක කිසිම ජාතිකත්වවාදියෙක් ඉන්නවාය කියල මම නම් හිතන්නෙ නෑ.

    ReplyDelete

අටුවා ලියන්නට පෙර කියවා බැලීමට
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ලියන දෙයක් තේරෙන සිංහලෙන් ලිව්වොත් හොඳා. පොඩිගමයගෙ ඉංගිරිස් දැනුම අන්තිමයි. සිංහලෙන් යතුරු ලියන්න බැරි නම් පරිවර්තකේ පාවිච්චි කරන්න.

කාරණාවට අදාල පුරස්නයක් හෙම අහනවා නම් පුළුවන් තරං කෙටියෙන් අහන්න. වැල්වටාරං ලියන්න එපා.

කුණුහරුපෙන් බණින්න හිතෙනවා නම් පරිස්සමෙං ලියන්න. නිසි බලදාරිය මහත්තයා වැඩ.

කාරණේට අදාල නං මිස වෙනත් අඩවිවල දාපු ලියුම් වලට සබැඳි දාන්න එපා. තමංගෙ අඩවියට සබැඳියක් දාගන්න ඕන නම් ඉල්ලීමක් කරන්න.