Tuesday, June 28, 2011

ශවේන්ද්‍ර සිල්වා රාජවිලාසිතාවට වැඩේ දෙයි

සුද්දංගෙ චැනල් 4 වාහිනියෙං ලඟදි එලියට දාපු චිත්තරපටිය ගැන පහුගිය දවස් ටිකේ ලොකු හාහූවක් තිබුණ. මේ අලුත් චිත්තරපටිය මං හිතන්නෙ කලිංවතාවල එලියට දාපු හැම එකටම වඩා දිග මිනිත්තු 50ක විතර එකක්. එව්වයෙ තිබිච්චි කෑලිත් එකතු කරගෙන මේක හදාපු බවයි දැනගන්න තියන්නෙ.

-----------------------------------------------------------------------------------------------


-----------------------------------------------------------------------------------------------

අපේ ප්‍රබුද්ධ, මධ්‍යස්ත, උගත් බුද්දිමත් බ්ලොග් ලියන්නො/ලියන්නියො එහෙමත් මේක ගැන තමංගෙ අදහස් උදහස් දක්වලා තිබුණා. එව්වයිං වැදගත් කියල හිතිච්ච එකක් දිහා පොඩ්ඩක් බලන්න මම කල්පනා කළා.

ඒ තමා ජාත්‍යන්තරේ ගැන ජඹුර අදහස් පළකරන (අපිටත් ප්‍රතිචාර වලිං සහයෝගය දෙන) බුවා කොලුවගෙ විග්‍රහය. කොලුව මෙතෙන්දි වැදගත් කාරණාවක් කියල තිබුණ. ඒ කියන්නෙ අර කිමුන් ආතගෙ වාර්තාවයි C-4 විඩියෝ එකයි බද්ධවෙලාය කියන එක. හැබෑ නේන්නං ඇත්තටම පළවෙනි එකට සාක්කි විදියට තමා දෙවෙනි එක හදල තියන්නෙ. එතන තියෙන්නෙ බරපතල් බද්ධවිල්ලක්.(ඕකට ඉංගිරිස් ආණ්ඩුව, යැංකි ආණ්ඩුව වගේ සාධකත් බද්ධවෙලා තියනවාද කියල හොයල බලන්න වටිනවා!) පලවෙනි එකෙන් යුද අපරාද ගැන සාක්කි හොයන්න ඕන කියන කොට දෙවෙනි එක දාල කියනවා මෙන්න සාක්කි කියල.

ඊලඟට කොලූ කියන්නෙ මේ විඩියෝ ගැන එක්කො ආණ්ඩුව විමර්ශනේකට යන්න ඕන නැත්නම් ඒක බොරු කියල ඔප්පු කරන්න ඕනාය කියල. තවම ලංකාව යටත්විජිතයක් කියල හිතාන ඉන්න ඉංගිරිස් ආණ්ඩුව වගේ නොවී මෙතෙන්දි කොලූ ලංකාවෙ ආණ්ඩුවට අඩු තරමෙ විකල්ප දෙකක් දෙන එක ගැන මගේ ඉස්තුතිය පිළිගන්වන්න ඕන!

ආණ්ඩුව රාජතාන්තිරික නොවීම ගැනත් චෝදනාවක් එල්ල වෙනවා. රාජතාන්තිරික වෙනවනම් කරන්න ඕන කොහොමද කියන එකත් රාජ ඉස්ටයිල් දන්න මහ දැනමුත්තො ඔය අතරෙම ලිවුවා නම් තමා හොඳ. අපි වගේ නොදන්න බයියන්ටත් දැනගන්න. දැනට මං කියෝල අහල කරල තියන විදියට උපවාස,උද්ඝෝෂණ, විරෝධතා කිරීම, අනවසරයෙන් ඇතුල්වීම රාජතාන්තිරික වැඩ නොවෙයි. මට පොඩි සැකයක් තියෙනවා ශවේන්ද්‍ර මහත්තයගෙ බලෙන් කඩාපැනීමත් ඒ ගොඩටම වැටුනාදෝ කියල. එහෙම වුණානම් ඉතින් ඒ උත්සාහය ඔක්කොම වතුරෙ නෙව? මොකද ලංකාවෙ බොහො දෙනා හිතනවා ශවේන්ද්‍ර මහත්තයගෙ මැදිහත්වීමෙන් C-4 විඩියෝ එකට හරි පිළිතුර ලැබුණාය කියල. වැරදිලාවත් රාජ්‍යතාන්ත්‍රික නොවීම නිසා ඒ වැඩේ ගඟට කපාපු ඉනි වගේ උණා නම් වස වැරැද්දයි නේ. මේක හරියට කියන්න පුළුවන් අපේ රාජ්‍යතාන්ත්‍රික විසේසඥ බ්ලොග්කාරයංටම තමයි.

කොහොමහරි යැංකින්ගෙ රටේදි ඇන්ජීඕ සංවිදාන වලිං පවත්වාපු චිත්තර පටි දැක්මට බලෙන් ඇතුල් වෙලා ශවේන්ද්‍ර සිල්වා මහත්තය ඒ කෙහෙල්මලේ තිබුණ බොරුව එලිදරවු කරාපු බව අපිට දැනගන්න ලැබුණ. උන්නැහෙට අපේ ආචාරය පුදකරන්න ඕන මේ විදියට බය නැතුව වැඩ කිරීම ගැන. 58 වෙනි සේනාංකය අරං ගිහින් වන්නි මෙහෙයුමේ ලොකු වැඩකොටසක් කරාපු මහත්තයෙක්. මෙතෙන්දි පෙනුන දේ තමයි උන්නැහෙගෙ කතාවෙන් ඔප්පු වෙනවා මේ විඩියෝ චිත්තර පටියෙන් වැඩිහරියක් හිතාමතා කරුණු විකෘති කරල ලංකාවට මඩගහන්න හදාපු එකක් බව. ඒ කරුණ එතන හිටපු රාජතාන්තිරික, ඇඟෙන් දේසපාලනේ නොකරන (මොලෙං කරනවා කියල කියන) උදවියට ඒත්තු ගැන්වුන බවයි අහන්න ලැබුණෙ.

දැන් පුරස්නෙ තියන්නෙ හිතාමතා බොරුකීමට හදාපු විඩියෝ පටියක් අර රාජතාන්තිරික බාවයෙන් යුතු තර්ක බුද්දිය එහෙම ඇති උදවිය පිළිගනීවිද කියන කාරණේ. මට හිතෙන්නෙ නම් ශවේන්ද්‍ර මහත්තයගෙ කරුණු දැක්වීමෙන් අනතුරුව ඒ විදියට පිළිගන්න බෑ. අපිට වැරදුනාවත්ද දන්නෙ නෑ නෙ. කොයි එකටත් විසේසඥ මතය අහන එක හොඳ නෙව. මේ රාජතාන්තිරික උදවිය කටයුතු කරන අපිට නොතේරෙන විදිය ගැන බුවා කොලුව, W3 සයිඩර් මාමා, පාපිසි මහත්තය හෝ වෙනත් දැනුං තේරුං තියන උදවිය වෙනම ලිපියකින් හරි කෙටි පැහැදිලි කිරීමක් කරන්න කියල මං ඉල්ල හිටින්නෙ ඒකයි. (අඩු තරමෙ ශවේන්ද්‍ර මහත්තය කරපු වැඩේ රාජතාන්ත්‍රිකද නැත්ද කියන එකවත්)

ඩිප්ලෝමැටික්ස් පොරවල් සහ පොරියවල් තර්ක බුද්දියම පාවිච්චි කරනවාද? එහෙම නැත්නම් ඉඳහිට වත් හැඟීමට වහල් වෙලා තීන්දු ගන්නවාද? නැත්නම් ඒක වෙන වෙන දේවල් මත රඳා පවතිනවාද? කියන කාරණා පොඩ්ඩ්ක් පැහැදිලි මදි. එහෙමත් නැත්නම් ශවේන්ද්‍ර මහත්තයට තියන බව පේන තරම් තර්ක බුද්දිය ඒ උදවියට නැතුවා කියල හිතන්න ටිකක් අමාරුයි. බුද්දිය රටෙං රටට විචලනය වෙනවාද කියන්නත් බෑ. යැංකිංගෙ රටේ මොකක්හරි අවුලක් නිසා එහෙම වෙනවාද වගේ එව්ව නම් සපිරෝ නෝනෙගෙන් ඇහුවත් කියාවි. කොහොම වෙතත් තර්ක බුද්දිය පාවිච්චි කොරනවානං ආයිත් C-4 විඩියෝ එක සාක්කියක් වෙන්න හැටියක් නෑ. මොකද ඒකෙ විසාල වසයෙං මුසාවාද තිබීමෙන් අපක්ෂපාතී බවට කෙලවෙලා යනවා. ඒ වගේ එව්ව සාක්කි විදියට උසාවියකට දැම්මොත් නොමග ඇරියාය කියල හිරේ යන්න වෙනවා.

හැඟීමට වහල්වෙනවා කියල ගත්තොත් නම් ඒක ඊනියා රාජතාන්තිරික බාවයට ගැලපෙනවාද කියන කාරණේ පුරස්නයක් විදියට ඉතුරු වෙනවා. එහෙම නැත්නම් සමහරක් තැන්වලදි විතරක් තර්ක බුද්දිය දානවා නං ඒ තැං හොයාගන්නෙ මොන විදියටද කියල පෙන්නල දෙන්න වෙනවා. විරෝධතා උද්ඝෝෂණ වලදි ඉස්සරහට එන්නෙ හැඟීම කියන එක ගැන මං හිතන්නෙ වාදයක් නෑ. අනේ රාජතාන්තිරික අපබ්‍රංස අපිට තේරෙන්නෙ නැති හැටිද මන්දා.

ප.ලි:
තව පොඩ්ඩෙං මග ඇරෙනවා වැදගත් කාරණයක්. ශවේන්ද්‍ර මහත්තය ඉන්න රූපරාමු තියෙනවාලු අර ඉලවුවෙ. ඒ මදිවාට ඒකෙ ඉහල නිලධාරියෙකුට ඉන්නෙත් ඒ මහත්තය විතරයි කියනවා ගෝඨාභය මහත්තයයි මහින්ද මහත්තයයි ඇරුණාම. අනිත් හැමෝම ඉහල නිලධාරියො ඇරල ශවේන්ද්‍ර මහත්තයවම තමයි මේකටත් තෝරගෙන තියෙන්නෙ. ඔන්න එතකොටම මගේ මතකයා කෑගහනවා ෆොනී මහත්තයගෙ සුදුකොඩි කතාව කියල. ඒ කතාවෙත් ශවේන්ද්‍ර මහත්තයගෙ නම තියනවා. (ශවේන්ද්‍ර මහත්තය වගේම ඉස්සර ගෝඨාභය මහත්තයත් ගජබා රෙජිමේන්තුවෙ කියල එකක් මට ඇහිල තියනවා ඇත්තද මන්දා) මේ කතන්දර ඔක්කොම එකට බද්ධ වෙවී බද්ධ වෙවී යන විදියෙත් හරිම කාලකණ්ණි ගතියක් තියෙනවා නොවැ. හ්ම්හ්!

26 comments:

  1. AnonymousJune 28, 2011

    Ela kiyannea, kiyala wadak naa ban.

    ReplyDelete
  2. ශවේන්ද්‍ර මහත්තයට මේ වැඩේ කරන්න උපකාර කල අයටත් පිංසිද්ධ වෙච්චාවෙ.

    ReplyDelete
  3. ශවේන්ද්‍ර මහත්තය කරපු වැඩෙ උපවාස කිරිලි , කොණ්ඩම් උද්ඝෝෂන ගනයටම දාලා කථා කරන්නෙ ඇයි කියලයි මට තේරුම් ගන්න බැරි . මෙහෙ ඉඳන් සුද්දන්ට බැන බැන ඉන්නෙ නැතුව විඩියෝව හදපු ඉන් ඉස්සරහ දිම තර්කානූ කූලව කරුණු ඉදිරිපත් කරපු එක ඉතාම වැදගත් . ඒ වැඩෙ සාර්ථක බව අපිට විරුද්ධ ගතු කියන්න එකතු කරල තිබුන අනෙකුත් විදේශීය නියෝජිතයෝ ශවෙන්ද්‍ර මහත්තයට දීපු අත්පුඩියෙන්ම පේනව . හැබැයි පුතෝ සම් පූර්න කථාව එතනින් ඉවර නැ . චැනල් 4 කට්ටියගෙ විඩියෝවේ බරපතල කතන්දර තව ඉතුරුයි .

    විඩියෝව පක්ෂග්‍රාහි කියල ඔප්පු කරපු නිසා සැර බාල උනත් , විඩියෝවේ අන්තිමට අමුනල තියන කැලි ටික ගැන අයෙමත් ගේමක් ඇදෙන්න ඉඩ තියනව .

    ReplyDelete
  4. නෑ මට පොඩි සැකයක් තිබුණ අනවසරෙං ඇතුල්වීම වගේ හේතුවක් නිසා මේකත් ඒ ගොඩටම වැටේදෝ කියල. කොලූ කියනවා නම් ඉතින් අවුලක් නෑ.

    හැබැයි මට පේන්නෙ ජාතියංතරේ විදියට හිතන්න කොලූට බෑය කියලයි. මේ බලාපල්ලකෝ යැංකි රාජතන්තරේ අද කියල තියෙන කතාව.

    C4 නාටකය ගැන එකක තියනවා. මේක බැලුව නම්:

    BreakingNews-Asia

    rttnews


    බේගල් කොම්පැණිය කියන කතාව ටිකක් පරණයි. අනිත් දෙක මෑත එලියට ආපුව.


    අර අත්පුඩියෙන් කිසිම දෙයක් වෙනස් වෙලා නෑ කියලද ඒ කියන්නෙ? මං දැකල තියන මිනිස්සුනම් අප්පුඩිගහන්නෙ තමං යමක් හරි කියල පිළිගත්තාම. නමුත් යැංකි ආණ්ඩුවෙ මතය කලිං එකමයි. වෙන විදියකින් කියනවානම් අපේ පැත්තෙ කරුණු දැක්වීම මගින් වෙච්ච වෙනසක් නැත්තෙ මොකද?

    එක්කෝ වැරදිලා අප්පුඩි ගහල. එහෙමත් නැත්නම් අප්පුඩිය ගහල තියන්නෙ පිළිගත්තෙ නෑ කියන්න. එහෙමත් නැත්නම් මේ තානාපතිවරු කියන කිසිදෙයක් යැංකි රාජයන්තරේ අහන්නෙ නෑ. එහෙමත් නැත්නම් කොච්චර ඔප්පු කරල කිව්වත් මුංට තේරුංගන්න තරම් බුද්දියක් නෑ. අනේ මන්ද අපිට යැංකි විදියට හිතන්න බෑ නෙව. මං කල්පනා කළා කල්පනා කළා මේ රාජ. පොරවල්ව තේරුම් ගන්න. ම්හු මොන විදියෙංවත් බෑ. රාජ. පොරවල් නිකන් විහිළුවට අප්පුඩි ගහනවද? ඈ කොලුවො අපිට ඔබාම ලොක්කගෙන් වෙලාවක් ඉල්ලගෙන උන්නැහෙට මේක කියල දෙන්න වෙයිද?

    අර විජේසිංහ මහත්තයත් සමහර දේවල් ගැන සාධක දක්වනවා මම බලාගෙන. උන්නැහෙත් එක්ක මගේ ලොකු එකඟතාවයක් නැතත් ලඟදි සුද්දංගෙ ටීවී එහෙකට දීල තිබුණ සාකච්චාවෙදි ලංකාවෙ ඉස්තාවරෙ නිවැරදිව පෙන්නල දීල තිබුණ. ඒ ඇරෙන්න අහපු පුරස්න වලටත් හොඳට උත්තර දුන්න. නමුත් මාද්‍යකාරය ඒක දිහා බැලූබවක්වත් මටනම් පෙනුණෙ නෑ. එහෙම වෙන්නෙ ඒ උදවිය අපිවගේ නෙවෙයි කොලූල වගේ මධ්‍යස්ත නිසා වෙන්න්නැතිය කියල මං ඕක අල්ලල දැම්ම. හැහ් ! අපි නොදන්න සුද්දො.

    ReplyDelete
  5. ශවේද්‍ර මහත්තයගෙ කරුණු දැක්වීම වැදගත් වෙන්නේ ලංකාව ගැන අව්බෝධයක් නැති , චැනල් 4 වගෙ කතන්දර නිසා වැරදි විදිහට හිතාගන්න පුලුවන් රටවලට මිසක් යැංකින්ටය නෙවෙයි . මම කිව්වෙ කතන්දරේ තාම ඉවර නැ කියල ඒකයි . මෙච්චර ලොකු ගේමක් අප්පුඩියෙන්ම ඉවරයි කියල හිතන එක වැරදියි . මම මගෙ ලිපියේ කිව්ව කරුණු දෙක තාම වලංගුයි . ශවේන්ද්‍ර මහත්තය ඔය විඩියෝව පක්ෂග්‍රාහි බව පෙන්නන තැනට යමක් කලත් අර අමුණපු විඩියෝ කැලි ටික ගැන කතන්දරේ තාම ඉතුරුයි . ඒවා වෙනම නිර්මාණය කරපු ඒව කියල ඔප්පු කරන්න හරි අභ්‍යන්තර පරීක්ෂනයකට හරි යන්න වෙයි . එහෙම නැත්නම් බලය බෙදීම පැත්තෙන් ගේමක් ගහල මොකක් හරි කරන්න වෙයි . ජාත්‍යන්තර දේශපාලනික කටයුතු සර්ව සාධාරණ නැහැ . උපාය දන්නෝ අපායෙ නොවැටෙති ක්‍රමෙන් තමයි යන්න වෙන්නෙ

    අතිරේක ප්‍රශ්නයක් බිබිසිය බේගල් කොම්පැනියක් කියල කියන්නෙ ඇයි ?

    ReplyDelete
  6. බී බී සී කියන අකුරු වලට හොඳට ගැලපෙනවා බොරු බේගල් කොම්පැනිය කියන නම. දැන් ප්‍රස්නෙ මොනවද කියන බොරු කියන එක. මම බී බී සියෙ සංදේශය කියන ඉලවු වැඩසටහන කාලයක් ඇහුව. ඒක සම්පූර්ණයෙන්ම දෙමළ ජාතිවාදය පතුරුවන්න පාවිච්චි කරපු වැඩසටහනක්. නමට විතරක් සිංහල වෙච්ච එවුන් හතර පස් දෙනෙක් තමයි මේකෙ වැඩ කළේ. (තාමත් ඇති මම අහන්නෙ නැති වුණාට) මේ යක්කු එකතු වෙලා විජාතික මතවාද දරපු එවුන්ගෙන් තෝර බේරගෙන ඊනියා සංවාද කළා. ජාතික මතවාදවලට පහර දුන්න. තමන්ට උත්තර නැති ප්‍රශ්නවලට මුසාවාද මඩ ප්‍රචාර වලින් පිළිතුරු දුන්න. මේක අහන්න ගත්තට පස්සෙ තමා මට තේරුණේ බී බී සී කාරයොන්ගෙ ඊනියා මාධ්‍ය සදාචාරය ගැන. ඉන් පස්සෙ මම උන්දැලට ඔය නම පාවිච්චි කරනවා.

    ReplyDelete
  7. මම ඔය සංදේශය නම් අහල නැ . හැබැයි බිබිසි නාලිකාව නම් යුද්ධ කාලේත් ඊට පස්සෙත් බලල තියනව . අපේ අයට දිරවන්නෙ නැති උනාට ජාත්‍යන්තර මාධ්‍යක් විදිහට ඒ වාර්ථා කරනයේ එහෙමටයි කියල වරදක් නැ . අපිට වාසි සහගතව ජාතික රූපවාහිනියේ හෝ ස්වර්ණවාහිනියේ කියන ජාතියේ වාර්ථාකරනයක් ජාත්‍යන්තර මාධ්‍යක බලාපොරොත්තු වෙන්න බැනේ . අල්-ජසීරාවත් බිබිසියත් යුද්ධ දවස් වල වාර්ථා කරනය කරපු විදිහ දැක්කා නම් ඒ වෙනස පැහැදිලිව තේරෙනව

    ReplyDelete
  8. මම හිතනවා අපේ වැඩිදෙනා ඕකට විරුද්ධ කොටි ගැන දක්වන ආදරබර ආකල්පය නිසාය කියල. නමුත් ඒකෙ අමුත්තක් නෑ. බටහිර නිලමතය තමයි මේ ආයතනවලිං ප්‍රචාරය කරන්නෙ. මූලික කාරණේ වෙන්නෙ ඔය බීබීසී සීඑන්එන් ඇතුලු එව්වයිං ප්‍රචාරය වෙන්නෙ දැං අපේ ආණ්ඩුවෙ ඇලවල්(චැනල්)වලිං ආණ්ඩුවේ නිල මතය ප්‍රචාරය වෙනවා වගේ ඒ ඒ රටවල නිල මතවාද. ඒවට එකඟව තමයි අපේ රටේ දේවල් වාර්තා කරන්නෙ. තෝරගන්නෙත් එහෙම වැදගත් කියල හිතෙන දේවල් තමයි.

    හරි ඒ කතාව නෙවෙයි දැං අර අගට අමුණපු කෑලි ටික කියල කිව්වෙ මොන ටිකද? මට පේන විදියට නම් ඔය නාටකේ වැඩිහරිය සාක්කි කියල තමයි ගැනෙන්නෙ. ඕක අපිට මුසාවාද වුණාට ඕක හදපු එවුන්මනෙ එව්ව තීරණේ කොරන්නෙ. ඒ යක්කුන්ට ඕක සාක්කි හැටියට හොඳටම ඇති.

    ReplyDelete
  9. ඔය ඉංගිරිස්කාරයන්ගෙ හතරෙ ඇලත් දුවන්නෙ 2007 ඉඳල ආණ්ඩුවෙ ණයවලිං ඒ විදියට බීබීසිය ඇරුනාම ඉංගිරිස් ආණ්ඩුවෙන් ලැයිසොං වලින් දුවන වෙනත් ආයතනයක් නෑ කියලයි කියන්නෙ. ඒකෙ ඉතිහාසයත් බොරු කොම්පැනියයි ආණ්ඩුවයි එක්ක කිට්ටුවෙන් බැඳිල තියන බව පේනවා.

    ReplyDelete
  10. අගට අමුණපු කැලි මොනවද කියල දැන ගන්න නම් විඩියෝව බලල ඉන්න ඕනි . ඔබතුමා ඒක ගැන කථා කරන්නේ ඒක නොබල අනික් ඇයින් කියන ඒවා අහගෙනද? ඒක බලල ඉන්න . එතකොට තේරෙයි අමුණපු කැල් මොනවද කියල . ඊලඟට ශවේන්ද්‍ර මහත්තය උත්තර දුන්නේ කොයි තැන් වලටද , සාක්කි වෙන්නෙ මොනවද , අපි තව උත්තර දෙන්න ඉතුරු මොනවද කියල තේරුම් යයි

    ReplyDelete
  11. චැනල් 4යි බිබිසියයි කියන්නෙ සම්පූර්ණයෙන් වෙනස් මාධ්‍ය ආයතන දෙකක් . බිබිසිය ජාත්‍යන්තරව තියන හොඳම පුවත් මාධ්‍ය කියලයි මම නම් දකින්නේ . අපේ අය බිබිසියට නිවුස් කියා දෙන්න ගියාට පුවතක නිර්වචනයට අහලකින් තියන්න පුලුවන් ප්‍රවෘත්තියක් වත් ලංකාවේ මාධ්‍ය වල මැත කාලීනව නැ . බිබිසියෙ නිවුස් වල ඒක තියනව . එක සිද්දියකදි නෙවෙයි සිද්දි කිහිපයකදිම මම ඒක දැකලත් තියනව

    ReplyDelete
  12. මම බැලුවද නැත්ද කියල කොහොමද දැනගත්තෙ? මට දැනගන්න ඕන කොලුව ඕකෙන් සාක්කි කියල තෝරගන්නෙ මොනවාද කියන එකයි. මට පේන විදියට නම් ලංකාවෙ හමුදාවට විරුද්ධව සාක්කි කියල ඕකෙ ඇතුල්වෙලා තියන්නෙ අර ගෑනිගෙ කතාව විතරයි.

    (ශවේන්ද්‍ර මහත්තයගෙ මුළු කතාවම නම් මම බැලුවෙ නෑ)

    ReplyDelete
  13. ඒකෙන්ම පේනව බලල තියන තරම. ඒ ගැනිගේ සාක්කිය එතන තියන අනික්ව තරම් බරපතල නැ ඇත්තම කියනව නම් , හමුදාවට විරුද්ධ බරපතලම චෝදනා රූප රාමු හඬ පටි එක්ක තියෙන්නෙ අන්තිමට . ඒවා තමයි අමුණපුව .

    ReplyDelete
  14. ඔය අමුණපුව කියල අදහස් කරන්නෙ මොකද්ද? අමුණාපු නැති එව්වත් තියනවාද?

    ReplyDelete
  15. මොකද්ද ඉතින් පුවතක නිර්වචනය? මම නං ඔය නිර්වචනෙ සත පහකට වැඩක් ඇති කියල හිතන්නෙ නෑ ජනමාධ්‍ය උපාදියක් වගේ කරන මිනිහෙකුට කඩදාසි පුරවන්න ඇර.

    ReplyDelete
  16. මොකද මේ අමුණපුව මොනවද කියල දිගින් දිගටම අහන්නේ , බලනවකො ඒ මුලු විඩියෝ පටියේ ප්‍රධාන කථාව කියල ඉවර උනාට පස්සෙ තියෙන්නෙ මොනවද කියල .

    පුවතක නිර්වචනය හදල තියෙන්නෙ ජනමාධ්‍ය(ජන සන්නිවේදන මාධ්‍ය ) ඉගෙන ගන්න අයට තමයි . මොකටද ? ඒ අයගෙන් ඒ දේවල් වෘත්තීය ජිවිතයෙදි භාවිතා කරන්න . උපාධි මට්ටම ගැන නම් මම දන්නෙ නැ . හැබැයි පුවතක් වාර්ථාකරන්නෙ කොහොමද වගේම යම් සිද්දියක් පුවතක් වෙන්නෙ කොහොමද කියලත් මූලික මට්ටමේදීම කියා දෙනව . ඒ දේවල් ලෝකය පුරාම සදාචාරයක් ඇති මාධ්‍ය වල භාවිතා කරනව . බිබිසිය කියන්නේ ඒ අතර ඉහලින්ම ඉන්න පුවත් විකාශයක් . මම බලල තියන නාලිකා අතුරින් බිබිසි සහ එන්ඩිටිවි ඒ ලක්ෂන හොඳින්ම දරන නාලිකා . ලංකාවේ කිසිම පුවත් විකාශයක් එතන නැ . කාට හරි කඩේ යනව විතරයි . මිනිස්සුන්ට හිතන්න දෙයක් නැ . තමන්ට ඕනි දේ බලෙන් පටවනව විතරයි එහෙම බැලුවාම ඔය චැනල් 4 ගොඩටම අපේ ස්වාධීන නාලිකාව , සිරස ඇතුලු සියලුම නාලිකා යස රඟේටම ගැලපෙනව

    ReplyDelete
  17. ඉතින් ඔය නිර්වචනය මොකද්ද කියල ලියන්ටකො කොලුවම? පිටු ගාණක් යන්නෙ නෑ නෙව නිර්වචනයක් ලියන්න.(එහෙමද මන්ද? අපි ඉස්කෝලෙ යන කාලෙ නම් එහෙමයි)

    ඉං පස්සෙ තමා අපිට බලන්න පුළුවං බොරු කොම්පැනියෙ වැඩ නිර්වචනෙට අනුවද කෙරෙන්නෙ කියන කාරණේ. කොහොම වුනත් මේක අතුරු පුරස්න දිගේ ඇදගෙන යන්ට ඕනෙ නෑ. ඒ නිසා ඒක ගැන වෙන වෙලාවක ගමු.

    මට තේරෙන විදියට අග තියන කෑලි සාක්කි විදියට ගන්න බෑ. පුළුවං ගෑණිගෙ කතාව විතරයි. ආයෙ දොස්තරගෙ කතාව තර්ජනය කරල කියවපු එකක්ය කියල උන්නැහෙම පස්සෙ සාක්කි දීල තියනවා.

    අග තියන එව්ව සාක්කි විදියට ගන්න සෑහෙන්න කරුණු ටිකක් අතින් දාගන්න ඕන. හිතිං හිතාගෙන හැඟීමට වහල් වෙලා තීන්දු ගන්නවා නම් එව්වත් සාක්කි තමා.

    ReplyDelete
  18. අතුරු ප්‍රශ්නේ අතැරල දානව නම් ආයෙ නිර්වචන මොකටද . ඔබතුමා ඔය ඉන්න මතවාද වල හැටියට කීයටවත් බිබිසිය හොඳ දෙයක්ය කියල පිලිගන්නෙ නැනෙව (කොහොමටත් නිර්වචනයෙන් විතරක් නෙවෙයි අපේ ගොන් නිවුස් හා බිබිසි වගේ ඒව වෙනස් වෙන්නෙ ප්‍රවෘත්තියක් වාර්ථා කරනයේ රීතී සමුදායක් තියනව අන්න ඒවත් අනුව )

    ඔබතුමා සාක්ෂි වෙන්නෙ අරවය මේවය කියල හිතුවට වැඩක් නැ . ඇත්තටම අපිට විරුද්ධව භාවිතා කරන්න ඉඩ තියන (කරගෙන යන ) ඒවයි වැදගත් (ස්වර්ණවාහිනියත් පරන විඩියෝ කැල්ලක් අල්ලගෙන නැටුවයි කියන්නෙ ) අතඩංගුවට ගත් සිරකරුවො වෙඩි තියල මරණ එක , දූෂනය කරන එක වගේ චෝදනා තමයි අර විඩියෝ කැලි වල තියෙන්නෙ . ඒවායෙ අසත්‍යතාව ඔප්පු කරන්න තව ඉතුරුයි (ආරක්ෂක අමාත්‍යාංශය එහෙම කරගෙන යනවාය කියන්නේ ) ශවේන්ද්‍ර මහත්තයගෙ කථාවෙන් පස්සෙ ඉතුරුයි කියල මම කියන්නෙ අන්න ඒ වැඩ කොටස . අපිට චෝදනවක් කරන කොට අපිට ඕනි ඒවට උත්තර දීල හරි යන්නෙ නැ . උන් කියන දේටයි උත්තර දෙන්න ඕනි
    හැබැයි ඒ තරමිනුත් බේරෙන්න බැරි තැනට කටයුතු වෙන්න ඉඩ තියන බවක් පේනව . මම හැමවෙලේම කියනව වගේ අපි හරි කිව්වට විතරක් වැඩක් නැ . පොඩ්ඩක් උපාය දැනගෙන ඉන්නත් ඕනි

    ReplyDelete
  19. හිහ්! බීබීසියට තියනවා කැලේ නීතිය. ඒ නීතියට අනුව නම් උන්දැල වැඩ කරනවා. කොලුව පණ්ඩිත කමට ලියනවා නිර් වචන අර වචන මේ වචන කියල. ඇහුවාම කියන්න දෙයක් නෑ.

    හරි දැන් කතාව තියන්නෙ සාක්කි මොනවද කියලයි. කොලුව කියනවා සිරකාරයො වෙඩි තියල මරණවය කියල. මේ වෙඩි තියල මැරිල්ල උසාවියක ලංකාවෙ හමුදාවෙන් කරපු එකක්ය කියල සැකයකින් තොරව ඔප්පු කරන්න පුළුවන්ද කියලයි මම අහන්නෙ. එහෙම පුළුවන්නම් විතරයි ඒක සාක්කියක වෙන්නෙ.

    අඩනිරුවත් මල සිරුරු ටිකක් වාහනේකට පටවන එකෙන් නිගමනය කරනවා දූෂණයක් ගැන. ඒකත් ශෝක් සාක්කිය.

    කොලුව මොන තර්ක බුද්දිය ගැන කිවුවත් මේ විඩියෝ එක බලල තියන්නෙ හිතිං හිතාගෙන.

    හැබැයි ගෑණිගෙ සාක්කිය පැහැදිලියි. සාක්කි දෙන්න යන්න උණත් එයාට පුළුවන්.

    ReplyDelete
  20. තමුන්නාන්සෙගෙ නොදන්න කමට මම මක් කොරන්නද . වුවමනාවක් තියනව නම් හොයල බලනව ඒ ක්ෂෙත්‍රය ගැන ,කොහ්මටත් තමුන්නාන්සෙල ඔය සුද්දන්ගෙ නිර්වචන පිලිගන්න එකක්යැ . ඔබතුමාට කැමති නම් බිබිසියට බැන බැන ඉන්න . හැබැයි ලොකේ ඉන්න වැදගත් මිනිස්සු අදටත් බිබිසිය කියන්නෙ පිලිගත් පුවත් මාධ්‍යක් විදිහට පිලිගන්නව

    ඔබතුමාට ඕනි ඒව නෙවෙයිනේ මානව හිමිකම් සංවිධාන අපිට විරුද්ධ භාවිතා කරන්නේ . ශවෙන්ද්‍ර මහත්තය උත්තර දීපු ටික විතරක් ගැන හිතාන සංකල්ප හැදුවට වැඩක් නැ . එල්ල වෙලා තියන චෝදනා ගැනයි බලන්න ඕනි . ඔබතුමා තමයි හිතෙන් හිතාගෙන බලන්නෙ සුද්දන්ගෙ ව්‍යාජ විඩියෝවක් බලනව කියල . කවදාවත් යමක් විවෘත්ව බලන්නෙ නැනේ . මහ අන්තවාදි ග්‍රාම‍ය මතයක ඉඳන්නෙ බලන්නේ . ඔබතුමා මෙතන ඔලුවෙන් හිටගෙන කැගැහුවත් අපිට විරුද්ධව ඔය අන්තිම විඩියෝ කැලි ටික භාවිතා වෙනව . එක්කො අපි ඒව වැරදියි කියල ඔප්පු කරන්න ඕනි , එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය රජය කරන පරීක්ෂනයෙන් ඔප්පු වෙන්න ඕනි (ඔබතුමාල කියන විදිහට එහෙම දෙයක් නම් ජීවිතේට වෙන්නෙ නැනෙ ). නැත්නම් අපි අභ්‍යන්තර පරීක්ෂනයකට යන්න ඕනි . ඔය විඩියෝව නැතත් ඔය අන්තිම කාරනයට යන තැනටයි බලපැම් එල්ල වෙලා තියෙන්නෙ . ඔබතුමා වගේ අන්තවාදී විදිහටම නම් රජයත් හිතන්නේ . අපේ රටට නාථ දෙය්යන්ගෙම පිහිටයි

    ReplyDelete
  21. අයියෝ බුවෝ කියවෙන්නෙ මේවට තමයි. නාථ දෙවියංගෙන්වත් කොලුවට පිහිටක් ලබාගන්න පුළුවං වෙයිද කියල නම් මට පේන්නෙ නෑ. මේ මහා විස්ලේසණකාරයෙක්ය මැදහත්ය කියල කියවෙන බුවා කොලුවමද? හැහ්.

    වැදගත් මිනිස්සු (අපි තමා වැදගත් අනිත් ඔක්කොම නොවැදගත්.ෂහ්!) බලන බීබීසිය. අනේ ස්වයං වැදගත් අලගෙඩි වලට අපි ප්‍රශ්න අහල කරදර කරන්නෙ නෑ. බල බල ඉන්න.

    අර මාධ්‍ය ගැන කොලුව හිතාගෙන හිටපු ලොකු සීන් ටික ඊනියා අර්ථදැක්වීම් වලට ගිහින් නෑද? ඒ වුණාට හිත කලබල කරගන්න එපා තව ටිකක් හොයල බලන්න ගුගල් ඇංජිම දාල. ඔව්ව හදන්නත් හිතේ ආසාව තිබුණටම බෑ.

    ReplyDelete
  22. මං අහපු පුරස්නෙට නෙවෙයි මේ උත්තර දෙන්නෙ. ශවේන්ද්‍ර මහත්තය උත්තර දුන්නද නැත්ද කියන එකත් මම ඇදගත්තෙ නෑ. මගේ ප්‍රශ්නය වෙන්නෙ කිසිම දෙයක් ඔප්පු කරන්න පාවිච්චි කරන්න බැරි විඩියෝ කෑලි ටිකක් ඇයි සාධක විදියට ගන්නෙ කියන එක. ඒකට උත්තරේ අරය ගන්නෙ ඒක. මෙයා ගන්නෙ ඒක ඔයා කියන දේවල් ඒ අය අහන්නෙ නෑ වගේ කතා කියන එක නං නෙවෙයි. (අපි වගේ නැතුව බටහිර විද්‍යාවෙන් ඔප්පු කරාපු දේවල් පිළිගන්නවාය කියන කොලුවට නම් ඒක කොහෙත්ම ගැලපෙන්නෙත් නෑ. බටහිර විද්‍යාඥයෙක් ඔය වගේ උත්තර පිළිගනීද?) කොලූ හැමවෙලාවෙම පුරස්නෙන් පැනල යාමේ ලාමක වැඩේ කරනවා. මමත් ඉතින් එව්වට ඉඩ දෙනවා. කලිං වතාවෙ රත්නපුරේ අතුකෝරල මහත්තය ගැනයි චන්දෙ ගැනයිත් තහවුරු කරන්න බැරි බොරු කිව්ව. මේකත් ඒ වගේ කරන්න එපා.

    සුද්දො හදාපු එකක්ද කවුරු හදාපු එකෙක්ද කියන කාරණේත් මගේ තර්කයේ නැහැ. මම අහන්නෙ සරල ප්‍රස්නයක් ලේසියෙන්ම රූගත කරන්න පුළුවං විඩියෝ කෑලි (හැම එකම නොවෙයි) කොහොමද සාක්කි විදියට ඉදිරිපත් වෙන්නෙ කියලයි මම අහන්නෙ. අනේ මන්ද 10 පංතියෙ ළමයෙකුට වුනත් මේක තේරෙන්න ඕන සිංහලෙන් කියල දුන්නට පස්සෙ.

    ඊලඟට කියනවා අපිට විරුද්ධව මේවම තමයි බාවිතා වෙන්නෙ කියල. මේක උත්තරයක් නෙවෙයි පුරස්නෙම වෙන වචන වලිං කීම. මම අහන්නෙත් ඇයි එහෙම වෙන්නෙ කියල.

    මම හිතන්නෙ මේ කතාව තවදුරටත් ගෙනියන එකේ තේරුමක් නෑ. වැල්වටාරං දිගේ යනව නම්.

    ReplyDelete
  23. මාධ්‍ය කථාව ගැන ලියල තිය්න කොමෙන්ටුව නම් මට තේරෙනෙ නැත පැටලිලි සහිතය . මිනිසුන් ගැහැණුන් පමණක් උසාවියකදී සාක්ෂි වුයේ ඔබලාගේ සියාගෙ කාලයේය . විඩියෝ පටයක් යනු පැහැදිලිවම සාධකයකි . මේ වන විට ස්වර්ණ වාහිනියෙන් පතුරු අරමින් සිටින 2009දී ඉදිරිපත් වූ විඩියෝ පටය පමණක් ඔබ කියනා රූගත කිරීමේ කථාවෙන් ලිස්සා යා හැක / අනෙකුත් කොටස් වලදි ඔවුන් නිශ්චිත පුද්ගලයින් නම් කර විඩියෝ පට ඉදිරිපත් කරනු ලබයි . කොටි මාධ්‍ය කත මෙන්ම තවත් පුද්ගලයින් දෙදෙනෙක් පිලිබඳ ඔවුන් මෙසේ නම් වශයෙන් සඳහන් කර රූප රාමූ ඉදිරිපත් කරයි . දැනට එම මියගොස් ඇති එම පුද්ගලයින් නැවත යොදා රඟදැක්වීමේ හැකියාවක් නොමැත එනිසා මේවා ඉතා පැහැදිලිවම සාක්ෂි බවට පත්වේ . එම විඩියෝ පටවල සිටින්නේ ඔවුන් පවසනා පුද්ගලයින් නොවේ නම් එය රඟදැක්වීමක් කියා පැවසිය හැක . නමුත් රජය මෙතෙක් එලෙසින් කියා නැත (උදාහරණයක් ලෙසින් කොටි මාධ්‍යවේදිනිය කොටි කතක් කියා කිවාට වැඩක් නැත , එක්කෝ ඒ රූප රාමුවේ නිරුවත් කර මරා දමා සිටින්නේ ඇය නොවන බව ඔප්පු කල යුතුය නැතිනම් විඩියෝව තාක්ෂනික උප්ක්‍රම හරහා වංචනික ලෙස සැකසූවක් බව කිව යුතුය ) . මා කියන්නේ රජය අර 2009 දී ඉදිරිපත් කල විඩියෝ පටය ගැනම නැවත නැවත කියවනවා හැර අලුතෙන් එකතු විඩියෝ පට රඟ දැක්වූ ඒව ලෙසට හෝ තාක්ෂණික උපක්‍රම හරහා විකෘති කල ඒවා බවට හෝ ඔප්පු කිරීමෙ වැයමක නැත . ඔබතුමා කොයිතරම් නැ කීවත් නිශ්චිත පුද්ගලයින් සඳහන් කරමින් හා ඇතැම් විට ඔවුන් ජීවතුන් අතර සිටින මොහතක් හා මිය ගිය මොහොතක් සංසන්දනය කරමින් මේ ඉදිරිපත් කරන විඩියෝ/ඡායාරූප කොටස් තාක්ෂිකව නිමැවුම් හෝ, අදාල සැබැ පුද්ගලයින් නොවේ යැයි ඔප්පු වන තාක් පිලිගත හැකි සාක්ෂි ලෙස ගනන් ගැනේ . මා කියන දෙය අවිශ්වාස නම් ඔය විඩියෝ පට පෙන්වා ඒවා උසාවියකදී සාක්ෂි ලේස ඉදිරිපත් කල හැකිද නොහැකිද යන වග නීතීඥ මහතෙකුගෙන් අසා දෑන ගන්න

    ReplyDelete
  24. විඩියෝ හෝ මොන මගුල හෝ සාධකයක් කරගන්න ඒකෙන් ඔප්පු කරන්න හදන දේත් එක්ක සම්බන්ධයක් හදාගන්න ඕනා.

    /* කොටි මාධ්‍ය කත මෙන්ම තවත් පුද්ගලයින් දෙදෙනෙක් පිලිබඳ ඔවුන් මෙසේ නම් වශයෙන් සඳහන් කර රූප රාමූ ඉදිරිපත් කරයි . දැනට එම මියගොස් ඇති එම පුද්ගලයින් නැවත යොදා රඟදැක්වීමේ හැකියාවක් නොමැත එනිසා මේවා ඉතා පැහැදිලිවම සාක්ෂි බවට පත්වේ .*/

    මේ කොලූගෙ කෙබරයක්. බාල තර්කයක්. මේක ඔප්පු කරන්න හදන දේට කිසිම සම්බන්ධයක් නෑ. ජීවත්ව හිටි කාලෙ වැඩිය ආස්සරේ කළේ කොටින්ව. ඉතින් ඒ විඩියෝ එකක් දාන්න පුළුවන් කිසි කරදරයක් නැතුව. ඒකෙන් ඔප්පු වෙන්නෙ නෑ ඒ විඩියෝ එක අරගෙන තියන්නෙ හමුදාවෙ අයත් එක්ක කියල. මේව සාක්කි වෙයි "බඩුත් සුදුහාමුදුරුවංගෙ" උසාවිවලට නං.

    මෙතන වෙලා තියන්නෙ විඩියෝ එකත් එක්ක හිතන්න ඕන විදිය නිවේදකය කියල දෙනවා. කොලූත් ඒ විදියට හිතාගෙන බලල. තර්ක බුද්දියත් මොකක් හරි අවුලක් වෙලා ඒ වෙලාවෙ යට ගිහිල්ල. ඊනියා මද්‍යස්තව බලන්නත් බැරුව ගිහින්.

    /* එම විඩියෝ පටවල සිටින්නේ ඔවුන් පවසනා පුද්ගලයින් නොවේ නම් එය රඟදැක්වීමක් කියා පැවසිය හැක . නමුත් රජය මෙතෙක් එලෙසින් කියා නැත (උදාහරණයක් ලෙසින් කොටි මාධ්‍යවේදිනිය කොටි කතක් කියා කිවාට වැඩක් නැත , එක්කෝ ඒ රූප රාමුවේ නිරුවත් කර මරා දමා සිටින්නේ ඇය නොවන බව ඔප්පු කල යුතුය නැතිනම් විඩියෝව තාක්ෂනික උප්ක්‍රම හරහා වංචනික ලෙස සැකසූවක් බව කිව යුතුය ) . */

    මෙන්න තවත් උදාහරණයක් බලල තියන්නෙ අඩුතැං අතින් දාගෙන කියන්න. නිරුවත් / අඩනිරුවත් ගෑනු මලමිනියක් තියන විඩියෝ එකෙන් කොලූ නිගමනේ කරනවා නිරුවත් කර මරාදමා ඇති බව. මළාට පස්සෙ නිරුවත් කරලද නිරුවත් කරල මරලද කියන එක නිගමනය කරන්න බැරි උනත් එක ඊනියා නිගමනයක් වෙනවා. කැකිල්ලෙ රජ්ජුරුවොන්ගෙ ඇමතිකමක් ගන්න්නං හොඳයි ඕවගේ කතා. ඒකටම තව කාරණයක් කියන්න ඕන. දැං සුද්දො කියනවා කාම අපරාධ වෙලා කියල. නමුත් අතට අහුවෙන්න තියන මලසිරුරක් වුනත් අදිකරන වෛද්‍ය නිලධාරියෙක් ලවා බලවල මිසක් එහෙම නිගමනයක් කරන්නෙ නෑ අපේ සීයලගෙ කාලෙ නං! දැං බුවාලයි කාලෙ අමුතු විදියක් වෙන්ටැ? විඩියෝ කෑල්ලක් බලල පුළුවං විස්ලේසණේ කරල නිගමනේට එන්න.

    පැහැදිලියි ඊනියා යුද අපරාධ කතාවෙදි විජාතික බලවේග නඩු අහන්නෙ තීන්දුව දීල ඉවරවෙලා බව. කොලූල වගේ මධ්‍යස්ත බ්ලොග්කාරයොත් ඒකට පන්දම් අල්ලනවා. තර්ක බුද්දියයි පිළිපදිනවාය කියන බටහිර විද්‍යා ක්‍රමේයි ගෝ ටු හෙල් තමා.

    ReplyDelete
  25. /*ජීවත්ව හිටි කාලෙ වැඩිය ආස්සරේ කළේ කොටින්ව. ඉතින් ඒ විඩියෝ එකක් දාන්න පුළුවන් කිසි කරදරයක් නැතුව */

    යුද්ධේ යන අස්සෙම චැනල් 4 එකට විඩියෝ හදන්නත් පුලුවන් වෙන්න කැලි රූපගත කරල තියල වගේ . ශා... මාරයිනේ

    /*මෙන්න තවත් උදාහරණයක් බලල තියන්නෙ අඩුතැං අතින් දාගෙන කියන්න.......... */

    මැරුවට පස්සේ උනත් ඇඳුම් ගලවන්නෙ මක්කටෙයි . යුධ නීතිවලට අනුව එහෙම කරන්නය කියල කොහෙවත් නැනේ . චැනල් 4 එක සාධාරණ ව මේවා ඉදිරිපත් කරනවාය කියල කව්ද කියන්නේ . උන් හැම තැනකම කියන්නේ "බව පේනවා " කියලනේ . උන කටහඬක් ඉදිරිපත් කරනවනේ සිවිල් වැසියනුත් දූෂණය කලා කියල . ඊට පස්සේ ඒ අනුව උන් අතටත් සිද්ධිය අමුනනව . මැරුවට පස්සේ ඇඳුම් ගලවන්න සාධාරණ හේතුවක් තියනවානම් හරි, නැත්නම් ඉතින් උන්ගේ තර්කයට පදනමක් ලැබෙනව . කාන්තාවන් දූෂණය කලාමයි කියල වෛද්‍ය විද්‍යාත්මකව ඔප්පු නොකරාට යුධ අපරාදයක් ඔප්පු කරගන්න ඕවා භාවිතා කොර්න්න පුලුවන් . මොකද මම දන්න තරමින් මරන්න කලින් වත් මැරුවට පස්සෙවත් සතුරන්ගෙ ඇඳුම් ගැලවීමේ අයිත්යක් නැ
    ඒ වගේම උන් කියන දෙයක් තමයි ඔය විඩියෝවල මුල් පිටපත් අනුව මෙටා ඩේට ඇනලයිස් කලාම විඩියෝව රූගත කරපු දිනය උන් තහවුරු කරගෙන තියනවාය කියන එක . ඉතින් අපිට ෂුවර් නම් මේවා කැලි එකතු කරල හදපුවාය කියල . අපේ රජයට පුලුවන් ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කරන්න . මේවා හදාපුවා කියල අපිට 100%ක් විශ්වාසයි . අපිටත් ජාත්‍යන්තරයටත් චැනල් 4 එකටත් පිලිගන්න පුලුවන් විශේසඥ කමිටුවක් දාන්න. චැනල් 4 එකට මුල් පිටප්ත් ටික දෙන්නය කියන්න . අපි බලමු මේවා හදල තියෙන්නෙ කවද්ද සහ අනෙකුත් තාක්ෂණික දේවල් හරිද කියල.

    [අපේ නියෝජිතයෙක්, අපිට හිතවත් රටක ( චීන , රුසියානු හෝ ඉන්දියානු ) නියෝජිතයෙක් එවන් කමිටුවකට ඉල්ලා සිටීමේ අයිතියක් අපිට තියනව . (හැබැයි කලින් විඩියෝව ගැන තිබ්බ පරීක්ෂය අපේ අදක්ෂ කම නිසා නා ගත්තාය කියලත් සමහර වෙබ් අඩවි වල තියනව )].

    වැඩෙ අන්තිම සරලයි විඩියෝ ටික ඇත්තද නැත්තද කියල ඔප්පු වෙයි . කලින් විඩියෝ කැලි වලටත් අන්න ඒ විදිහේ ලෝකයා පිලිගන්න ක්‍රමයේ වැඩපිලිවෙලකට ගියා නම් චැනල් 4 එක අයෙමත් ඒවා පෙන්නන්නෙ නැනේ . ස්වර්ණවාහිනියෙන් අපිට ඕවා පෙන්නුවා කියල ඇති වැඩක් නැ . මොකද ලංකාවේ බහුතරයක් දෙනාට කොටි මරපු විදිහ සාධාරණද නැද්ද කියල කීසිම ගැටලුවක් නැ

    අවසාන වශෙයෙන් කියන්නෙ චැනල් 4 විඩියෝව සත්‍යයි කියන්න හෝ එහෙම වෙන්නය කියල පතන්න මට කිසිම හෙතුවක් නැ . ශ්‍රි ලාංකිකයෙක් විදිහ්ට මේ සියල්ලම බොරු වෙනවා නම් තමයි මගෙ කැමැත්ත . රජය ඒ වෙනුවෙන් තවමත් නිවැරදි ක්‍රියාමාර්ග අරන් නැය කියන එකයි මේ කියන්නෙ. නැතුව චැනල් 4 100% සත්‍යයි කියල නෙවෙයි

    ReplyDelete

අටුවා ලියන්නට පෙර කියවා බැලීමට
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ලියන දෙයක් තේරෙන සිංහලෙන් ලිව්වොත් හොඳා. පොඩිගමයගෙ ඉංගිරිස් දැනුම අන්තිමයි. සිංහලෙන් යතුරු ලියන්න බැරි නම් පරිවර්තකේ පාවිච්චි කරන්න.

කාරණාවට අදාල පුරස්නයක් හෙම අහනවා නම් පුළුවන් තරං කෙටියෙන් අහන්න. වැල්වටාරං ලියන්න එපා.

කුණුහරුපෙන් බණින්න හිතෙනවා නම් පරිස්සමෙං ලියන්න. නිසි බලදාරිය මහත්තයා වැඩ.

කාරණේට අදාල නං මිස වෙනත් අඩවිවල දාපු ලියුම් වලට සබැඳි දාන්න එපා. තමංගෙ අඩවියට සබැඳියක් දාගන්න ඕන නම් ඉල්ලීමක් කරන්න.