Wednesday, March 2, 2011

ධර්මෙ පඬිතුමාගේ දුටුගැමුණු කොල්ලා සහ අපේ ගැමුණු මහරජතුමා

 ප්‍රබුද්ද කලාකාරයෙක් වන ධර්මෙ පඬිතුමා ගැන තමුන්නහෙලත් දැනගන්න ඕන. මගෙ මතකය හරි නම් මේ තුමා නෙමෙයි වෙන ධර්මෙ මහතැන් කෙනෙක් තමයි කාලෙකට ඉස්සෙල්ල මස් කෑල්ලේ මානව අයිතිවාසිකම ගැන පත්තරේට කිව්වෙ. ඒ කතාව මෙහෙමයි:

ඒ වෙන ධර්මෙ උන්නැහෙ පත්තරේකට දීපු සාකච්ඡාවක කියල තිබුණ දෙයක් තමා පෝය දාට මස් කඩ වැහීමට නීතියක් දැම්මයින් සිංහල බෞද්ධයො (හරියටම කියනවා නම් සිංහල බෞද්ධ ගෝත්‍රික සමාජය TM) තමංට එදාට මස් කෑල්ලක් රහ බලන්න තියන අයිතිය නැති කළාය කියන එක. ෂහ් බලාපල්ලකො ඉතින් ඒකෙත් හැටි කොච්චර අපූරු මානව අයිතියක්ද නැතිවෙලා ගිහින් තියන්නෙ? සතෙක්ගෙ මස් කෑල්ලක් කන්න ධර්මෙලාට තියන අයිතිය!

ඉතින් ප්‍රබුද්ද කතා කියන මේ ධර්මෙ මහතැන්ගෙ සාකච්ඡාවක් අන්තර්ජාලයෙ අහම්බෙන් දැක්කාම මට ලොකු සතුටක් ඇති වුණා.

ධර්මෙ මහතැන්ට හිතට අමාරුයි ලෝකල් ජැක්සන් මහතැන්ගෙ චිත්‍රපටිය සෑහෙන්න රොත්තක් බලාපු එකට. ලෝකල් ජැක්සන් උන්නැහෙ ප්‍රබුද්දකම අතෑරල ව්‍යාපාරික පැත්තට බරව කලාව කොරන කෙනෙක්නෙ. ඒ විදියට බලන කොට උන්නැහෙගෙ ප්‍රබුද්දගතිය පළුදුවෙලා යන එක ගැන ධර්මෙ මහතැන් කියන කතාව නම් ඇත්ත. හැබැයි ඉතින් ඒක ගැන අපිට දොසක් කියන්න බෑ. මොකද ප්‍රබුද්ද කලාව උණත් හුදෙක් සත්ත්ව කරුණාව පෙරදැරි කරගෙන කරන පින්කමක් නොවෙයිනෙ. එව්ව කොරනවටත් ගතමනාව අඩුපාඩුවක් නැතිව ලැබෙනවා. ප්‍රබුද්ද සමාජයේ පොරත්වයක් ලැබීම වගේ දේ උණත් ඉතින් හරි වටිනවානේ?

පරහකට තියන්නෙ ප්‍ර.කලාව බලන්න අර ගෝත්‍රික සමාජයTM එච්චර උනන්දුවක් නැති එක තමයි. ඒ සමාජයට ඒ තරං බලපෑමක් කරන්න ප්‍ර.කලාවට පුළුවන්ද කියල පුරස්නෙකුත් තියනවා. මොන අහේතුවකටද මන්දා ප්‍රබුද්ධ කලාවට වඩා ජනප්‍රිය කලාව මිනිස්සු රස විඳිනවා. ප්‍රබුද්දයො මහ ඉහලිං වණන සමාජ වලත් එහෙම වෙන්නෙ මොකද? හැම මළ ඉලව්වටම ගෝත්‍රික සමාජය මුවහමට තඩිබාන එකෙන් සමහර පඬියන්ට ස්වයංවින්දනයක් ලැබෙන බව නම් පේනව.

හඳගම මහතැන් ප්‍රබුද්දකම අතෑරීම ගැන කවුදෝ ප්‍රබුද්ද විචාරකතුමෙක් විස්සෝප වෙනවා මං බලාගෙන. හඳගම මහතැන් ගැන දුක්වෙන්නෙ මොකටෙයි? උන්නැහෙ ජැක්සන්තුමාගෙන් ආදර්ශයක් ගන්න එක වැරදිද? පොඩි අතුරු කාරණයක් - ප්‍රබුද්ද විචාරකයෙක් වෙන්නනම් පාරිභාෂික වචන සෙට් එක හොඳට කටපාඩම් වෙන්න ඕන. මොකද එව්වයින් තමා විචාරයේ ප්‍ර. ගතිය පේන්නෙ. අතීසාරයෙන් බඩයනවා වගේ වචන සෙට් එක දිග අරින්න පුළුවන්නම් සියේට පනහක් ගොඩ.

කොහොමිං හරි දැන් ධර්මෙ පඬිතුමාගෙ කතාවෙ වැදගත් කොටසට එමුකො. මුන්නැහෙට කවුදෝ ආරාධනා කළා (කියල කියනවා) දුටුගැමුණු ටෙලි වෘතාන්තයක් කරන්න. (අනේ දෙවියනේ!) මෙතන කියවෙනවා ධර්මෙ උන්නැහෙගෙ දුටුගැමුණු කවුද කියල. වැදගත්කම ඒකයි. එයාගෙ එළාර-දුටුගැමුණු මෙහෙමයි:

 එකමත් එක රටක ඉන්නවා අවුරුදු 44ක් රජ කරපු - රට ආක්‍රමණය කරාපු එකෙක් නෙවෙයි ඕං - රජ කෙනෙක්. දැන් දුටුගැමුණු කියන කොල්ලා ඇවිත් මේ වයෝවෘධ බුද්ධිමත් රජාට අභියෝග කරනවා මිනිස්සු මරාගෙන යුද්ධයක් කරන්න. එතකොට වීර, බුද්ධිමත්, මනුෂ්‍යත්වයTM වෑහෙන රජා කියනවා "උඹ මාව මරපන් එතකොට මිනිස්සු මැරෙන්නෙ නෑ" කියල. හප්පේ.. ඉතින් බලහල්ලකො මේ වගේ ධර්ම ඉස්ටාර් රජෙක්වනෙ බොල මේ දුෂ්ඨ කොල්ල මරාදාල තියන්නෙ? ප්‍රභාකරන්ගෙ මනුෂ්‍යත්වයට විතරයි නොවැ මේක දෙවෙනි වෙන්නෙ?  මට නිකමට හිතෙනවා ධර්මෙ පඬිතුමා ඒ කාලෙ එළාරට පුරෝහිතකමක්වත් කළාදෝ කියල.

දුටුගැමුණු කියන්නෙ ඒ කාලෙ ගැමුණු රජතුමාගෙ උත්සාහයට විරුද්ධවෙච්ච හතුරො දාපු නමක්ය කියන මතය පොඩිගමය පිළිගන්නව. බෝධිසත්ත්ව චරිතයක් දුෂ්ඨයෙක් බවට පත්කරන්නෙ මේ උදවිය තමයි. ගැමුණු කුමාරයා යුද්ධ කළේ බුද්ධ සාසනේ වැනසිලා යන එක වලක්වන්න. තමංගෙ පැත්තෙන් විතරක් බැලුවානම් ආත්ම ඝාතනයක් හා සමානයි මේ වැඩේ. මෙහෙම දෙයක් කරන්න ඉදිරිපත් වෙන්නෙත් බෝධිසත්ත්වයෙක්ම තමයි.

කොහොමිං හරි ගැමුණු මහරජතුමාම තමයි එළාර සිහිවෙන්න සෑයකුත් බැන්දෙ. සතුරෙක් සිහිවෙන්න ස්මාරකයක් බඳින්න තරම් සතුරාට මෛත්‍රිය කරපු උත්තමයෙක්. ප්‍රශ්නෙ තියන්නෙ ධර්මෙ පඬිතුමා කොහොමද දැනගත්තෙ ඔය ද්වන්ද්ව සටන එළාරගෙ යෝජනාවක්ය කියල? ඒ එළාරගෙ පැසුණු බුද්ධිය නිසාද? එළාර වැඩිමහල්ලෙක් නිසාද? වැඩිමහල් වෙන්නෙ රජකම් කරපු කාලයෙන්ද? දෙදෙනාගෙන් වැඩිමහල්ලා කවුද?

එළාර සිංහල බෞද්ධ ගෝත්‍රික සමාජයේTM නෙවෙයි. ධර්මෙලා කලින්ම ගන්නවා එළාරලා වගේ හතුරුකං කරන එකාල අතිමානුෂික, සීලවන්ත පොරවල්ය කියල. එහෙම කරල මුවහමට තඩිබාන්න පුළුවන් තත්වයක් තමංගෙ ඊනියා ප්‍රබුද්ද කලාකෘතිවලින් ඇති කරගන්නවා. අනුරාධපුරයට එන්න කලින් පොඩි කොල්ලව ඉවරයක් කරන්න පුළුවන් වේවි කියල එළාරට හිතිලද දන්නෙ නෑ මුලින් ඔය මනුෂ්‍යත්වය උඩට ආවෙ නැත්තෙ? අනේ මගෙ කට.

පොඩිගමයා ගැමුණු මහරජතුමාගෙ ආත්ම පරිත්‍යාගයට නමස්කාර කරනවා ධර්මෙ පඬිතුමා ඇතුලු ප්‍රබුද්දයන්ට මස් කකා තඩිබාන්නත් ඒකෙන් මඩිය තර කරගන්නත් ඇරුණාම කෙලෙස් නසා නිවන් දකින්න සිංහල බෞද්ධකම බේරලා දුන්නට. නලින් මහත්තය කියනවා වගේ දැන්වත් අපි ඔය දුෂ්ඨ කෑල්ල ගලවලා අයින් කරමු ඒ සත්කාරියට කරන උපහාරයක් හැටියට. ජයන්ත මහත්තයා නම් මේ කාරණේ කොහොමිං හරි දැනගෙන තියෙන බව පේනවා.

2 comments:

  1. පට්ට විචාරයක් මචෝ. සමහර එවුන් හදන්නේ එළාරව ධාර්මික කරලා ඒ උඩින් ප්‍රභාකරන් වත් ධාර්මික කරන්න

    ReplyDelete
  2. තව කීප දෙනෙක්ම ඉන්නවා එළාර ගැන ලියාපු. ඉඩක් ලැබුණොත් ඒ ගැනත් ලියන්නං.

    ReplyDelete

අටුවා ලියන්නට පෙර කියවා බැලීමට
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ලියන දෙයක් තේරෙන සිංහලෙන් ලිව්වොත් හොඳා. පොඩිගමයගෙ ඉංගිරිස් දැනුම අන්තිමයි. සිංහලෙන් යතුරු ලියන්න බැරි නම් පරිවර්තකේ පාවිච්චි කරන්න.

කාරණාවට අදාල පුරස්නයක් හෙම අහනවා නම් පුළුවන් තරං කෙටියෙන් අහන්න. වැල්වටාරං ලියන්න එපා.

කුණුහරුපෙන් බණින්න හිතෙනවා නම් පරිස්සමෙං ලියන්න. නිසි බලදාරිය මහත්තයා වැඩ.

කාරණේට අදාල නං මිස වෙනත් අඩවිවල දාපු ලියුම් වලට සබැඳි දාන්න එපා. තමංගෙ අඩවියට සබැඳියක් දාගන්න ඕන නම් ඉල්ලීමක් කරන්න.