Saturday, February 19, 2011

ලංකාවේ සහ ඊජිප්තුවේ බරක්ලා සහ මුබරක්ලා


මුබරක් එලවාපු එක ගැන එක එක කතා කියවෙනවා. බීබීසී කාරයො (සීඑන්එන් කාරයොත් නැතිවෙන්න බෑ ) එහෙම ඔය සිද්දිය හෙනට පුම්බනවා. මේක ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් බව හැමෝම කියනවා . අපේ සමහර නෝන මහත්තුරු හෙමත් ඒවගේ අදහස් ලියල කියල තියනව මං දැක්ක. ඔය නෝන මහත්තුරුන්ට සීඑන්එන් එකයි බීබීසී එකයි වගේ හිතන්න පුළුවන් උණාට පොඩිගමයට එහෙම හිතන්න උගත්කමක් වත් පඬි මහිමයක්වත් නෑ නොවැ. ඔය නෝන මහත්තුරුන්ට පේන විදිහට නොවෙයි අපට එව්ව මෙව්ව පේන්නෙ .

ඒ නිසා ඉතින් මං ඒවගේ ලොකු කතන්දර ලියන්න යන්නෙ නෑ. නෝන මහත්තුරු අමනාප කරන්නෙ මොකටෙයි. මං ලියන්නෙ වෙනම කතාවක්. අපේ ජාතක කතාවල එහෙම තියෙනවනෙ අතීත කතාවක් සහ වර්තමාන කතාවක්. අතීත කතාව වර්තමාන කතාවට සමාන්තරව සිදුවෙන්නෙ . ගොඩේ බයියෙක් ලියන මේ කතාවත් ඒවගේ. හා හා වැල්වටාරං මදෑ.

තමුන්නහෙලට මතකද මන්දා ලංකාවෙ මුබරක්ව එලෙව්වෙ ඊජිප්තුවට කලින් (ඒ මහත්තයට අපහාසයක් කරනව නෙවෙයි ඕං) කිරිකැට් ගැන උනන්දු උදවියට මතක නැතිවෙන්න බෑ . ලෝක කිරිකැට් සූරතාවත් කිට්ටු නිසා මට ඔය සිද්දිය මතක් උණේ . මේ වගේ සිද්දි අතරෙ තියන ලස්සන සම්බන්දකම් බොරු බේගල් කොම්පැනි කතන්දරවලට වඩා විනෝදයි .(ආයෙමත් පුරසාරම)

කිරිකැට් කණ්ඩායමේ දිගින් දිගට අසාර්ථක වෙද්දි මුබරක් මහත්තයව තියාගෙන ඉන්නෙ මොකටද කියල ඒ කාලේ කෙලිලොල් උදවිය ප්‍රස්න කළා . ඒ ගොල්ලො පාරට බැහැල කෑගැහුවෙ නැති උණත් ඒක තමා බහුතර මතය උණේ. ඒත් ඉතින් ඒ කිරිකැට් (සුදු මහත්තුරුංගෙ කිරීඩාව) මිස පොලිටික්ස් නෙවෙයිනෙ . රටම විරුද්ද උණත් මුබරක් මහත්තය දිගටම කණ්ඩායමේ හිටිය . බොහොදෙනා හිතුවෙ මුබරක්ව අයින් කරන්න බැරි කිරිකැට් තේරීම් කමිටුවෙ හිටපු බර පොරක්ගෙ බලපෑම නිසාය කියලයි . මුබරක් වගේම ඒ බරත් දැන් එතන නෑ. ඉතින් මේ කතාවෙන් කියන්නෙ ඒවගේ බරක් තියනකොට කොච්චර අඩුපාඩු තිබුණත් මිනිස්සුන්ගෙ බලවත් විරෝධයක් තිබුණත් තැනක රැඳී ඉන්න ඉඩ තියනවා .

වර්තමාන කතාවේ (ඊජිප්තු) මුබරක් ගැනත් එහෙමයි . උන්නැහෙ එකරැයින් බලයෙන් පහ වුණා නෙවෙයි . සමහරු හිතන්නෙ ඉන්ටර්නෙට් විප්ලවයකින් හදිසියෙ එහෙම උණා කියල . අවුරුදු විස්සක් උන්නැහෙ බලයෙ හිටියෙ කොහොමද කියල කවුරුත් අහන්නෙ නෑ. එතකොට නොතිබිච්චි ප්‍රජාතන්තරවාදය හදිස්සියෙම ඕන වෙන්නෙ කොහොමද? විරැකියාව වැඩි වෙලා කියල සමහරු කියනවා . විරැකියා අනුපාතය ලෝක බැංකු මහත්තුරුන්ට අනුව නම් 2000 ඉඳල වෙලා තියන්නෙ අඩුවීම මිස වැඩිවීම නෙවේ . ඔය අතරෙ යැන්කින්ගෙ රටෙන් උන්නැහෙට යෝජනා කොරාපු ආර්තික වැඩපිළිවෙල එහෙම හරියට කොරල නැතෙයි කියනවා . ඒකනං ඉතින් අනුමත කොරන්න බෑ නෙව. කරනවා නම් එකක් කරන්ට ඕන. එක්කො ප්‍රජාතන්තරවාදී එක නැත්නම් එහෙම නැති එක . දෙකක් බෑ.

කොහොමින් හරි උන්නැහෙට යන්න වුණා . මගේ අතීත කතාවෙ විදියට නම් මුබරක් පිටුපස්සෙන් බරක් ඉන්නවා. එහෙම ඉන්නකම් මුබරක් බේරිලා ඉන්නවා. බරක් අත ඇරියාම මුබරක් හැලෙනවා. හැබැයි පුතෝ කලින් වගේ බරක්ටත් ළඟදිම හැලෙන්න වෙයිද කියන්න නම් මම දන්නෙ නෑ.

No comments:

Post a Comment

අටුවා ලියන්නට පෙර කියවා බැලීමට
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ලියන දෙයක් තේරෙන සිංහලෙන් ලිව්වොත් හොඳා. පොඩිගමයගෙ ඉංගිරිස් දැනුම අන්තිමයි. සිංහලෙන් යතුරු ලියන්න බැරි නම් පරිවර්තකේ පාවිච්චි කරන්න.

කාරණාවට අදාල පුරස්නයක් හෙම අහනවා නම් පුළුවන් තරං කෙටියෙන් අහන්න. වැල්වටාරං ලියන්න එපා.

කුණුහරුපෙන් බණින්න හිතෙනවා නම් පරිස්සමෙං ලියන්න. නිසි බලදාරිය මහත්තයා වැඩ.

කාරණේට අදාල නං මිස වෙනත් අඩවිවල දාපු ලියුම් වලට සබැඳි දාන්න එපා. තමංගෙ අඩවියට සබැඳියක් දාගන්න ඕන නම් ඉල්ලීමක් කරන්න.