Wednesday, December 30, 2009

කැලේ කතාව 2...

හමුව: අලිරාල කැලෙන් එලවීමේ සංගමයේ රැස්වීම.
තැන: ඌරු හාමිගේ ගෙදර (මඩවල)
ආපු කට්ටිය: සිංහරාල, ඌරු හාමි, වෘක හාමි සහ හිවල් හාමි

සිංහරාල: හරි දැං ඌරු හාමි කියනව බලන්න ඔහෙගෙ මහ ලොකු සැලැස්ම..? අර මඩ සෙල්ලමක් ගැන කිව්වෙ?

ඌරු හාමි (මඩේ බැස) නාසයෙන් හඬක් නගයි.

ඌරු හාමි: මෙහෙමයි සිංහරාල.. අලිරාලව එලවන්න නං ඔය රැවුම් ගෙරවුම් වලින් විතරක් බෑ. සත්තුන්ගෙ හිත්වලින් පුලුවන් තරං අලිරාලව ඈත් කරන්ට ඕන. ඒකට මඩ සෙල්ලම තමා හොඳම විදිය.
මේක එච්චර අමාරු නෑ කරන්න තියන්නෙ මඩවලින් අලිරාලට ගහන එක. වලස්රාලට උනත් එහෙමයි පුළුවන්තරම් මඩ ගහන්න. රැවුම් ගෙරවුම් වලටත් අමාරු වැඩ මඩ වලින් කරන්න පුළුවන්.

සිංහරාල: මඩ මුලු ඇඟටම ගහන්න ඕනද? ඔලුවටත් ගහනවද?

හිවල්හාමි: ඒකට අපි වඳුරුහාමිලාගෙන් උදවු ගන්නව. උන් ගස් උඩ ඉඳන් මඩ ගහවි. සිංහරාලට තියන්නෙ උන්දැලට මඩ අනල දෙන එකයි. ගිය පාර මං කලෙත් ඒ විදිහට තමයි.

සිංහරාල: මඩ ගඳ නැත්ද?
(ඌරුහාමි ඉන්න පැත්ත දෙස බලා නාසය හකුලා ගනියි.)
ඇඟේ ගෑවෙනව නේද?

වෘක හාමි: හෙ.. හෙ.. මඩ ගහන්නෙ ගඳගහන්නනෙ රාලහාමි. ගඳ ගස්සන්නෙ නැතුව මඩ ගහන්න බෑ. රාලහාමි තාම සෙල්ලමට අලුත් නිසා ගඳ ඉවසන්න අමාරු. පුරුදු වෙනකොට ඕක හරියයි.
අනික මේ ඌරු හාමි මඩ සෙල්ලමට හරිම දස්සය.. රාලහාමිව පුරුදු කරල ගනියි.

සිංහරාල: හ්ම්ම්.. මං නොදන්නවැයි ඒ වග.. මටත් ඒ දවස්වල මඩ ගැහුවෙ..

හිවල්හාමි: ඒ ඉතින් ඒ දවස්වලනෙ රාලහාමි.. දැං අපි රාලහාමිටනෙ උදවු කරන්නෙ..(හිවල්හාමි ඌරුහාමි දෙස යටැසින් බලා ඉඟිමරයි)

ඌරුහාමි: එහෙනම් ඉතින් පුරුදුවෙන්නත් එක්ක බහින්නකො සිංහරාල වලට...

හිවල්හාමි: ඔව් ඔව් අදම පටන් ගමු.

සිංහරාල: මේ වලටද බහින්නෙ?

හිවල්හාමි: ඔව් ඔව් මේ වලට.

සිංහරාල වල දෙසට යයි. (ඌරු හාමි කෝකටත් කියා ඉඩදෙයි.) අඩිය ආපසු ගනියි. අදිමදි කරයි. නාසය අකුලා ගොරවයි.

වෘකහාමි: බහින්න රාලහාමි. බහින්න.

සිංහරාල: චිහ්! ගඳේ බෑ. ඈ..හ්.. වෘකහාමි තමුසෙ කිව්වෙ නෑනෙ මේව්ව කරන්න ඕනය කියල.. අලිරාලත් මෙව්ව කරනවද ඕයි?

වෘකහාමි: රාලහාමි අපිට අලිරාල කරන දේවල් කරන්න බෑ. හොඬවැලයි දලදෙකයි උසයි තියන හින්ද උන්දැට මඩ නාගන්නෙ නැතුව සෙල්ලම් කරන්න පුලුවන්.

ඌරුහාමි: වෘක හාමි සිංහරාලට තල්ලුවක් දෙන්නකො. සිංහරාල බය ගන්න කාරියක් නෑ අපි හැමෝම ඉන්නවනෙ සිංහරාලට..

සිංහරාල: ගර්..ර් බය ? ඈ බොල ඌරෝ මං කොටියවත් මරාපු කාටවත් බය නැති එකෙක් තේරුණාද? ගර් ර්.. උඹ මට අපහාස කරනවද?

නෑ ..හ් නෑ.. සිංහ රාල..හාමි මං කිව්වෙ මඩ සෙල්ලමට රාලහාමි ටිකක් අදිමදි කරන හින්දයි.

වෘකහාමි: බය නැතිනම් රාලහාමි බහින්නකො.

හිවල්හාමි: වෘකහාමිත් බහින්න උදව්වට.

සිංහරාල ඉදිරි අඩි දෙක මඩේ ඔබාගෙන පසුපස අඩිදෙක එලියෙ තබාගෙන සිටියි.

වෘකහාමි: සිංහරාල කකුල් හතරම දාන්න වලට. මොකද අත්දෙක විතරක් දාගෙන? තල්ලුවක් දාන්නද?

සිංහරාල: එපා. වෘකහාමි මට බෑ ඒකෙ මඩ ගාගන්න. ගෙදර යන්නෙ කොහොමද ඒකෙ මඩ ගාගෙන. මායිය මට හිනාවේවි. අනික මේ වලේ තියන ජරාව ගඳට උන්දැ නහය අකුල ගනියි. ඒකෙ ජරාව ගෑවෙන්නෙ නැතුව කරන දෙයක් කරමු.

වෘකහාමි: තමුන්නාන්සෙට ඌරුහාමිගෙන් යට ඇඳුමක් ඉල්ලල දෙන්නම්. ඒක ඇන්දාම හරි. ඌරුහාමි සිංහරාලටත් අරවයින් එකක් දෙනවකො.

ඌරුහාමි වලෙන් නැගිට යට ඇඳුමක් සොයාගෙන ඒමට යයි...

සිංහරාල: කෝ ඌරුහාමි යට ඇඳුමක් ඇඳල හිටියෙ නෑ නෙ. අනිත් අයට ඇන්දුවට මිනිහ අඳින්නෙත් නෑ නේද ඔව්ව? හරියට මහලත් ඇත්ද?

වෘකහාමි: හෙ..හ් එයාට ප්‍රස්නයක් නෑනෙ රාලහාමි. ඒ වුනාට හැමෝම මඩට අඳින ඇඳුම ගන්නෙ එයාගෙන් තමා.

සිංහරාල : මොකද එයාගෙ එකේ මඩ ගෑවෙන්නෙ නැත්ද?

හිවල්හාමි සහ වෘකහාමි මුහුණෙන් මුහුණ බලාගනිති.

වෘකහාමි: රාලහාමි දන්නෙ නෑ වගේ.. ඔවු එයාට ගෑවෙන්නෙම නෑ.

හිවල්හාමි: වෘකහාමි ඔය කතා මෙතනට ඇදගන්න එපා..

සිංහරාල: නෑ නෑ කියමු බ්ලන්න... වෘකහාමි මොකද්ද ඒ කතාව?

වෘකහාමි: නෑ එච්චර ලොකු දෙයක් නෙවෙයි. රාලහාමි අහලත් ඇති. ඌරුහාමි පොඩිකාලෙත් දැන් වගේමයි. අහුවෙනදේ කා දමනවා. ඔය විදිහට කාදමන පුරුද්ද නිසා ඉන්න තැන තියන කෑමත් කාදමනවා කුණුත් කාදමනවා. ඉතින් දවසක් ඔහොම කාගෙන කාගෙන යනකොට ඌරුහාමිට යට ඇඳුම කන්න ආසාවක් ඇති උණාලු. යට ඇඳුම හපන අතරෙ වැරදීමකින් ඒක හපාගත්තාය කියලයි කියන්නෙ.
සමහරු නම් කියනවා මේ ඌරුහාමිට උපතින්ම ඒක නැතිය කියල. කවුරු හරිද කියන්න බෑ.

සිංහරාල: මටත් මතකයි ඒ දවස්වල වලස්රාල ඔහොම කතාවක් කියනව.

හිවල්හාමි: සිංහරාල ඔව්ව ගැන හිතන්නෙ නැතුව මඩ සෙල්ලම පුරුදු වෙන්න. කොහෙ ගියාද මේ ඌරුහාමි..?

No comments:

Post a Comment

අටුවා ලියන්නට පෙර කියවා බැලීමට
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ලියන දෙයක් තේරෙන සිංහලෙන් ලිව්වොත් හොඳා. පොඩිගමයගෙ ඉංගිරිස් දැනුම අන්තිමයි. සිංහලෙන් යතුරු ලියන්න බැරි නම් පරිවර්තකේ පාවිච්චි කරන්න.

කාරණාවට අදාල පුරස්නයක් හෙම අහනවා නම් පුළුවන් තරං කෙටියෙන් අහන්න. වැල්වටාරං ලියන්න එපා.

කුණුහරුපෙන් බණින්න හිතෙනවා නම් පරිස්සමෙං ලියන්න. නිසි බලදාරිය මහත්තයා වැඩ.

කාරණේට අදාල නං මිස වෙනත් අඩවිවල දාපු ලියුම් වලට සබැඳි දාන්න එපා. තමංගෙ අඩවියට සබැඳියක් දාගන්න ඕන නම් ඉල්ලීමක් කරන්න.