Thursday, September 24, 2009

රෝසි ඇන්ටි සහ බටර්කලී නංගි

දකුණු පළාත් ඡන්දෙට රංජන් අයියගෙ බටර්කලී නංගිව දැම්මෙ මොකද කියල හුඟදෙනා අහනවා. හුඟදෙනා ලොක්කට දොස් කියනව මේ තීරණේ වැරදිය කියල. මං කල්පනා කරා ලොක්ක මෙහෙම තීරණයක් ගත්තෙ මොකද කියල. ඔය රූප පෙට්ටියෙයි, පත්තර වලයි ඊනියා විග්‍රහ ලියන අය වගේ ලොක්කත් එක්ක පුද්ගලික මට්ටමේ දැනෑඳුනුම් කමක් මගේ නෑ. එහෙම කියල මං එක එක්කෙනාගෙන් අහගත්තු ඕපදූප එකතු කරල පල් හෑලි ලියන්නෙත් නෑ. ෂර්ලොක් හෝම්ස් මහත්තය වෙන කෙනෙක්ගෙ මනස තේරුම් අරන් සිද්ධිය ගොඩනගනව වගේ මාත් ලොක්කගෙ පැත්තෙන් බැලුව සීන් එක දිහා.

රංජන් අයියගෙනුයි හරක්යුලිස් අයිය ගෙනුයි රීලෝඩ් දදා හිටපු බටර්කලී දැරිවි දේශපාලනේ කොරන්ට මුහුකුරා ගිහින් ඇත්ද කියල කෙනෙකුට හිතෙන්න පුලුවන්. කෙල්ල අයියලගෙන් ඉගෙන ගත්තු පොලිටික්ස් ටිකකුත් ඇතිනෙ.
හරක්යුලිස් අයිය නම් කලින් වැඩ කලේ අලිය සමාගමට. ඒ සමාගම පල්ලම් බැහැල යන විදියට අලියත් පාරට බැහැල යයි කියල තේරිච්ච හින්ද බස්නාහිර ඡන්දෙදි කොල්ල මහින්ද චින්තනේට පැනගත්ත. රැස්වීමක් අමතන්න හෙම අමාරු වුණාට මාකටින් පාර දුන්න නියමෙට. සෑහෙන්න මනාපත් ගත්ත නෙව. අපරාදෙ කියන්න බෑ මිනිහට වයසක ගෑණු උදවිය තමා පැන පැන කතිර ගැහුව කියන්නෙ.

රංජන් අයිය මුලින් හිටියෙ රතුපාට පක්ෂෙක. පස්සෙ අලිය සමාගමට ගියා. හැබැයි මිනිහ ඊටත් කලින් ඇමරිකාවට ගිහින් ආව ඇඟ ලොකු කරගන්න තමුන්නැහෙලටත් මතක ඇති. අර මල්ගස් වටේ දුවන සීන් කරන කාලෙ මිනිහත් මගෙ ගාණට තමා හිටියෙ. ඇඟ ලොකු කරගත්තට පස්සෙ වන්ෂොට්, ටූ ෂොට් වගේ එව්ව කරන්න ලැබුණ. ඇමරිකාවෙ හිටපු දවස්වල මිනිහ අනෝල්ඩ් කියන නළුවගෙන් තමා ඉගනගෙන තියන්නෙ. (මිනිහත් දැන් එහෙ පලාත් සබාවක මහ ඇමති කෙනෙක් - දැන් ඔය ඇමරිකන්කාරයො කරන කියන එව්ව තමන්ගෙ බ්ලොග් අඩවි වල දාල “කෝ අපේ රටේ නෑ” කියන එව්වො මන් අහන්නෙ නිකමටවත් හොයල බලනවද ආනෝල්ඩ් කියන මිනිහ දේශපාලනේට ආවෙ මොන විදියටද කියල ?) ඔයින් මෙයින් රංජන් අයියගෙන් සහ හරක්යුලිස් මල්ලිගෙන් පොලිටික්ස් ඥානය බටර්කලී කෙල්ලටත් ආපි.

රඟපෑම කිව්වම කලාව කියන විෂයෙ පොඩි කොටසක් විතරයිනෙ. හැබැයි දේශපාලනේට ආවම මුලු දේශපාලනේම රඟපෑමක් කියල කෙනෙකුට කියන්න පුලුවන්. ඒ විදිහට ගත්තොත් නළුවොයි නිළියොයි දේශපාලනේට එන එක ගැන අපට වරදක් කියන්න බෑ. ඇයි රඟපෑමට සම්මාන දිනාගත්තු එවුන් හිට ඉන්නව නෙව ඔය කලාකාරයො අතරෙ.
මේ දවස්වල චිත්‍රපටි හැදෙනවත් අඩු එකේ උන්ටත් වැඩක් තියෙන්න එපායැ කොරන්ට. අනිත් එක ලොක්ක රාජ්‍ය සේවයෙ රැකියා ඔක්කොම උපාධිකාරයන්ට දුන්නම ඒවාගෙ කීප ගුණයක් ඉන්න කලාකාරයන්ට මල පනින්නැත්ද? අපේ හැකියාව මෙච්චර තියෙද්දි රැකියාවක් නැතුව ඉන්නෙ කොහොමද උපාධිකාරයො කිසිම හැකියාවක් නැති එවුන් රාජ්‍ය සේවයට බඳව ගන්නෙ කියල උන් ලෙඩක් අදින්න ඇති ආයෙ දෙකක් නෑ. අපි වේදිකාවට නැගල කතා කලා තමුන්නාන්සෙට පුටුව අරන්දෙන්න උපාධිකාරයො එහෙම කලාද කියල ඇහුවනම් එහෙම ලොක්කට උනත් කට උත්තර නැති වෙන්නෙ නැත්ද මං අහන්නෙ?

ලොක්ක ගෙදර ගිහින් පෙරලි පෙරලි ආවර්ජනය කලේ කලා පොරවල්ගෙ ඉල්ලීම. හා කියනව ද? බෑ කියනව ද? -ලොක්කත් කලා කාරයනෙ- රඟපාල හෙමත් තියනව. අලිය සමාගම ගත්තොත් කොයිතරං නළුවො නිළියො ඉන්නවද කියල බැලුව පොලිටික්ස් වලට බැහැපු. එතකොට ලොක්කට තේරුණා විපස්සතුමා සෑහෙන්න කලාකරයන්ට රඟපාන්න අවස්ථා හදල දීල තියන බව(එතුමාට රඟපාන්න හැකියාවක් නැති බව කවුරුත් දන්නවනෙ). නායකතුමී රෝසි ඇන්ටිගෙන් පටන්ගත්තාම, රංජන් අයියා, සේනසින්හ කොලුව, සමන් අයිය1, සමන් අයිය2, රවින්ද්‍ර අයිය.. ඔය විදිහට සෑහෙන්න රොත්තක් ඉන්නවනෙ බොලේ. අලි සමාගම නාය ගිහින් තියෙන කාලෙ මෙච්චර කට්ටිය ඉන්නවනම් බලේට ආවොත් කොහොමට වෙයිද? කරන්න තියෙන්නෙ තමනුත් රඟපෑමේ ජොබ් කීපයක් දෙන එක නේද? කියල ලොක්ක කල්පනා කලා.

ඔන්න ඔය ප්‍රශ්නෙට උත්තරයක් විදිහට තමයි ලොක්ක කලාකාරයන්ගෙන් යෝජනා වෙච්ච නම් ලැයිස්තුවට දැම්මෙ. උන්නැහෙගෙ පැත්තෙන් බැලුවාම ප්‍රශ්නෙ තේරුම්ගන්න අමාරු නෑ. මේ අවනඩුව ලොක්කගෙ හතුරන්ට හයේ හතරෙ පාරවල් ගහන්න නිමිත්තක් වෙලාය කියන එක මට තේරුණා. සමහරක් සිංහල බ්ලොග්කාරයො ඉන්නව ප්‍රභාකරන් මරාදාපු එකේ කේන්තියට මහින්ද චින්තනේ නැති කරල රාජපක්ෂ නම තියන එවුන් ඔක්කොම තුරන් කරන කන් නින්ද යන්නෙ නැතුව ලියන. උන්දල හිතාන ඉන්නෙ රටක් ආණ්ඩු කරන වැඩේ මඩ ප්‍රචාරවලින් හාඩ් ඩිස්ක් පුරවනව වගේම ලේසි වැඩක්ය කියල. පොඩි ගමරාල ලොක්කට කඩේ යනවය කියල උන් කියාවි. ඒ වුණාට ලොක්කගෙ වැඩ ගැන නිවිහැනහිල්ලෙ හිතල බලන්නෙ නැතුව වෛරයක් පිරිමහගන්න මඩ ගහන එකට මං විරුද්ධයි.

4 comments:

  1. උගත්කමක් නැති අය දේශපාලනට එවපුහම වෙන්නෙ රටේ අනාගතය අදුරුවෙන එක විතරයි

    අනික මේ වෙලාවෙ රණවිරුවන් විකුණගෙන ජන්ද දිනන්නෙ ඒක හින්ද ඔය කවරු ලොක්කගෙ පැත්තෙන් ජන්දෙ ඉල්ලුවත් දිනනව

    ලොක්ක ආවර්ජනය කරන්න ඕනැ රණවිරුවෝ විකුණගෙන සියලු රාජ්‍ය බලය යොදල ජන්ද තැබීමේ ආදීනව

    ReplyDelete
  2. රණ විරුවො ගැන කීවාම මතක් උනේ. සමහරු හිතන්නෙ ලොක්ක විතරයි රණවිරුවො පොලිටික්ස් වලදි යොදගන්නෙ කියල. ඒ වුණාට කාරණා හොයල බලනකොට තේරෙනව අපේ විපස්සතුමා එතෙන්දිත් හොඳ තරඟයක් දීල තියන බව. දැන් ඔය කොටින්ගෙ බෝම්බෙන් අවාසනාවන්ත විදිහට මියගිය ජානක පෙරේර මහත්තයව කවුද ගෙනාවෙ පොලිට්ක්ස් වලට? විපස්සතුමා මිස වෙන කවුද? උන්නැහෙ රණවිරුවන්ට සලකනව. අනේ ඒ මහත්තය මැරුණයින් විපස්සතුමාට වාසියක් වෙන්න තිබුණද කියල බලාගන්න බැරුව ගියා නෙව.

    අනික් කාරණෙ රාජ්‍ය බලය නැති එකෙත් හොඳ පැත්තක් තියනව. වැලේ වැල් නැති තත්වෙට පත් වෙලා ඉන්න විපස්සතුමාටයි කිසිදාක රාජ්‍ය බලය නොලැබෙන සීනු කාරයින්ටයි පිදුරු ගහක් තියනව හවුලෙ එල්ලෙන්ට.

    ReplyDelete
  3. දැන් සමහරු පොලීසිය රණ විරුවන් ගෙ ලැයිස්තුවෙන් අයින් කරන්නත් යනවලු!

    ReplyDelete
  4. ඒකාධිපති ආණඩුවලට ජයවේවා !

    හොරකම් කරල රණවිරුවගෙ කරපිටින් නැවත හොරකම් කරන්නන්ට යන්නන්ට ජය වේවා !

    විපක්ෂයක් එපා කියන්නන්ට ජයවේවා !

    දේශපාලකයින් කරන කියන ඒවා නොදැන ඒවා ගැන ලියන්නන්ට ජයවේවා !

    දකුණු පළාතට ඡන්දය ඉල්ලන අපේ මහ රජතුමාට ජයවේවා !

    ReplyDelete

අටුවා ලියන්නට පෙර කියවා බැලීමට
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ලියන දෙයක් තේරෙන සිංහලෙන් ලිව්වොත් හොඳා. පොඩිගමයගෙ ඉංගිරිස් දැනුම අන්තිමයි. සිංහලෙන් යතුරු ලියන්න බැරි නම් පරිවර්තකේ පාවිච්චි කරන්න.

කාරණාවට අදාල පුරස්නයක් හෙම අහනවා නම් පුළුවන් තරං කෙටියෙන් අහන්න. වැල්වටාරං ලියන්න එපා.

කුණුහරුපෙන් බණින්න හිතෙනවා නම් පරිස්සමෙං ලියන්න. නිසි බලදාරිය මහත්තයා වැඩ.

කාරණේට අදාල නං මිස වෙනත් අඩවිවල දාපු ලියුම් වලට සබැඳි දාන්න එපා. තමංගෙ අඩවියට සබැඳියක් දාගන්න ඕන නම් ඉල්ලීමක් කරන්න.