Wednesday, June 15, 2011

මිහිඳු මහරහතන්වහන්සේ ඉන්දියන් කිරීමට හැකිද? (2)

මේ ලියුම කලින්ම දාල තියන්නෙ පොසොන් පෝය දාට එලිදැක්වෙන්න. කියන්න බෑ නෙව එතකන් පණ තියේවිය කියල! අපේ බුදුහාමුදුරුවො ශ්‍රාවකයන්ට කිව්වෙ ජීවිතේ කොයි මොහොතෙ කෙලවර වෙයිද කියන්න බෑ. ඒ නිසා නිතර මරණය මෙනෙහි කරන්න කියලයි.

මිහිඳු හාමුදුරුවෝ ඉන්දියන් නොවේය කියල කලිං ලිපියක කියාපු කතාව සමහර කෙනෙකුට විකාරයක් වගේ පේනවා ඇති. මේ කාරණේ වැදගත් නිසා තව ටිකක් විස්තර ඇතුව බලමු.

මෙතනදි කවුරුත් අහල තියෙන දේ තමා අතීතයෙ දඹදිව කියා හැඳින්වුවෙ අද ඉන්දියාව කියා හඳුන්වන භූමිය කියන එක. කොහොම උණත් දඹදිව ඉන්දියාවටත් වඩා විසාල ප්‍රදේශයක් කියන එක තමා සමහර පොතපත බැලුවාම හිතන්න වෙන්නෙ.

කොහොමිං හරි කාරණේ පැහැදිලිවෙන්න අපි පොඩි උපමාවක් ගනිමු. ඔන්න අපේ අල්ලපු ගෙදර ඉන්නවා පවුලක් පෙරේරා කියන වාසගම තියෙන. පෙරේර ජෝඩුව වයසයි (වල පයයි ගොඩ පයයි කියල කතාවට කියන්නෙ) පවුලෙ බාල දරුව ඇර අනිත් එවුන් බැඳල වෙං වෙලා ගිහින්ය කියමුකො. ඉතින් අපේ ගෙදර උදවිය ඒ ගෙදර හඳුන්වන්නෙ පෙරේර මහත්තයලගෙ ගෙදර කියල වත්ත පෙරේර මහත්තයගෙ වත්ත කියල. මේ පවුලෙ බාල දරුව පවුලෙ අනිත් අයවගේ නෙවෙයි ටිකක් මරුමුස් නාස්තිකාර එකෙක්. මිනිහා ගෙදරිනුත් අකමැති කසාදයක් එහෙම බැඳගන්නවාය කියල කියමු.

ඔහොම ඉන්නකොට පෙරේර ජෝඩුව මිය යනවාය කියල හිතමුකෝ. දැං පොඩි පෙරේරා කරන වැඩේ තමංගෙ ගේ තියෙන ඉඩමෙං කෑලි කීපයක් සල්ලි උවමනාවකට විකුණල දාන එක. ඉතිං දැං ඉස්සර පෙරේර මහත්තයගෙ වත්ත කියල හඳුන්වාපු කොටස් ඔක්කොම එහෙම හඳුන්වන්න බෑ. මොකද එව්වයිං කොටස් වෙන වෙන උදවියටත් අයිති වෙලා තියෙන හින්දා. පාලනේ වෙනස් වෙලා ගිහිං.

දැන් ඉන්දියාවයි දඹදිවයි ගත්තාමත් එකයි කියල ගත්තට දේසපාලනේ වගේ ගත්තාම විසාල වෙනසක් තියෙන "රටවල්" දෙකක්.

පැරණි කාලෙ දඹදිව තිබුණාය කියන්නෙ සොළොස් මහ ජනපද.



වැදගත් කාරණේ පැරණි කාලෙ මේව ඔක්කොම එක රටක් නොවෙයි. වෙන වෙන දේසපාලන ඒකක. වෙන වෙන පාලකයො වගේම සමහර පාලන ක්‍රම උණත් වෙනස්. මීලඟට අශෝක අධිරාජයගෙ කාලෙ වෙද්දි මේව ඔක්කොම තමංගෙ අණසකට යටත් කරගන්න මෞර්ය පෙළපතට හැකිවුණා. හැබැයි එයිං පස්සෙ නැවතත් ඒක කැඩිල ගියා. ඔය විදියට එක එක පෙළපත් වල උදවිය තමංගෙ බලය පතුරවපු කාල "ඉන්දියන්" ඉතිහාසෙ තියෙනවා. මේව ඔක්කොම අද හඳුන්වන්නෙ ඉන්දියන් ඉතිහාසය හැටියට තමයි (ඔය උඩ තියෙන රූපෙත් තියෙන්නෙ ඒ විදියට). එහෙම උණාට එතනදි කෙරෙන්නෙ අද තියෙන ඉන්දියාව අතීතයට ආරෝපණය කිරීමෙන් යංකිසි විදියට සාමාන්‍යකරණයක් කිරීම.


සුද්දො තමංගෙ පාලනය අරගෙන ගියේ ඉන්දියාවයි පකිස්තානෙයි බංගලිදේසෙයි තවත් කොටස් ගණනාවකුයි ඉන්දියාව කියන තනි ඒකකයක් විදියට අරගෙන. ඔය උඩ තියන රූපෙ ඒ තනි "රට" පෙන්නුං කරනවා. දැං කවුරුවත් කියන්නෙ නෑ මිහිඳු හාමුදුරුවො බ්‍රිතානි-ඉන්දියාවෙන් ආවය කියල මොකද කියනවානම් ඒක කෙටිකාලීනව පැවතිච්චි දෙයක් කියල හිතනවා. නමුත් ලේසියෙංම වරදවා ගන්නවා උන්වහන්සෙ ඉන්දියාවෙං ආපු ඉන්දියානුවෙක්ය කියල. නමුත් අර ගාථාවෙන් උන්වහන්සෙම කියන්නෙත් දඹදිව ඉඳන් ආවය කියලයි. ඉන්දියන් ජාතිකත්වයක් නොතිබිච්චි කාලයක් සම්බන්ධයෙන් උන්වහන්සෙ ඉන්දියානුවෙක් විදියට ගැනීම හරි මදි බවයි පේන්නෙ. 

අද වෙනකොට ඉන්දියානු ජාතිකත්වයක් තියෙනවා නෙව. ඉන්දියානුවො අශෝක අධිරාජයා ගැන ගොඩක් ලොකුවට හිතන හේතුවත් සුද්දන්ගෙ ඉන්දියාවට බොහොම කිට්ටුවෙන් ගිය රටක් හදාගන්න හැකි වුණේ එතුමාට නිසාය කියන එකයි මගේ කල්පනාව. අනෙකුත් පෙළපත්වල උදවිය වෙනස් වෙනස් කොටස් වල බලය පතුරුව ගත්තා. ලංකාවත් එක්ක ඕක සංසංදනය කරල බලන්න පුළුවන්. තනි දූපතක් වගේම ඉන්දියාව තරං විසාල රටක් නොවෙච්චි ලංකාව ඉතිහාසෙ වැඩි වසයෙං පාලනේ උණේ තනි රටක් විදියට. 

අනිත් පැත්තෙන් ගත්තාම ඒ කාලෙ දඹදිව බලවත්ව තිබිච්චි බුද්ධ සාසනෙත් අද වෙනකොට නැතිගානයි. අද ලංකාවට බුද්ධාගමට වැදගත් තැනක් නැති ඉන්දියාව ආගන්තුකයි. මේ තත්වය පැරණි මගධයත් එක්ක නැත්නම් අවසාන කාලෙ දකුණට වෙන්න තිබුණු පළාත් එක්ක උණත් සසඳල බැලුවාම වෙනස පේනවා. අපි "ඉන්දියාව" දිහා බලන්නෙ අපේ පැත්තෙං එතකොට අපත් සමග සබඳකම් තිබුණු දඹදිව අද තියෙන ඉන්දියාවෙන් හත්පසිං වෙනස් කියන එකයි පේන්න තියෙන කාරණේ. අද වෙනකොට තියෙන්නෙ බෞද්ධ සංස්කෘතියට තැනක් නැති හින්දු සංස්කෘතිය බලවත් වෙච්චි ඉන්දියාවක්. අර සමහර නූතනවාදීන් අතින් තොරොම්බල් කෙරෙන මුම්බායිකරණය ඒකත් එක්ක අත්වැල් බැඳගෙන යන බව පේනවා.

දැං ආයෙත් පෙරේරලගෙ කතාවට ආවොත් එහෙම මේ මනුස්සයාගෙ ගෙදර වලි. අහල පහල ගෙවල් එක්කත් හොඳ මදි. බීගෙන ඇවිත් ගෙදර රණ්ඩු සරුවල් කරගන්නවා. මහ රෑට බජවු දාගෙන නින්දත් නැති කොරනවා කියල හිතන්න. ඉතින් ඔහොම යනකොට මේ ගෙදරට මිනිස්සු කියනවා "යකා ගෙදර" කියල. ගේ "පෙරේර මහත්තයලගෙ ගෙදර" උණාට මොකද දැන් ඒකට එහෙම කියන්නෙ නෑ.

මං කියන්නෙ නෑ ඉන්දියන් කාරයො කියන්නෙ යක්කුය කියල. නමුත් ඉන්දියානුවෙක් කිව්වාම මගෙ හිතට එන ප්‍රතිරූපය මිහිඳු හමුදුරුවන්ට යොදන එක හරිම අපහසුයි. හරියට නිකන් අර "යකාට" පෙරේර මහත්තය කියන්න බැරුවා වගේ. ප්‍රාථමික පංතිවල හිටපු කාලෙත් ඔය පුරස්නෙ මගෙ හිතේ නොතිබුණා නෙවෙයි. එහෙම හිතෙන්න මෑත ඉතිහාසයත් බලපාන් ඇති.

4 comments:

  1. ඔබ ඉතාම නිවැරදි බව මට හැගේ. ඔය කථාව ලංකාවට හොදින් ගැලපේ යැයි සිතමි. අපි ඒ ගැනත් කථා කරමු. හෙට වෙනකොට ඔය ගැන මගේ අදහසත් පෝස්ට් එකකින් දානවා. දැනටත් ලියලා තියන්නේ අද තාම මම ඉන්නේ මඟ. ගෙදර ගිය ගමන් වැඩේ කරන්නම්.

    අපි හරි දේ දකින්න පුරුදු වෙමු.
    ජය!!

    ReplyDelete
  2. ඔය ගැන මගේ අදහස මම කලින් දැක්වුවා , ලෝකේ හැම තැනම රාජධානි වල ඔය ලක්ෂණය තියනවා .සමහර වෙලාවට විශාල තනි රාජ්‍යක් කෑලිවලට කැඩිලා පාලනය වෙලා තියනවා . වර්තමාන ඉන්දියානු ඉතිහාසය කියල එඅ ය භාවිතා කරන්නේ ඔය ඒ කාලයේ වෙනම තිබුන රාජ්‍ය වල ඉතිහාසය තමයි .ඉන්දියානු සංස්කෘතිය වෙලා තියෙන්නේ ඒ වෙනම තිබුන රාජ්‍ය වල සංස්කෘතිය තමයි . ඒ දේ ප්‍රශ්න කරන්න සාධාරන හැකියාවක් නැ . මොකද එදා දඹදිව හරි භාරතය කියල හරි හැඳින්වුන භූමි ප්‍රදේශයෙන් වැඩි කොටසක් අද ඉන්දියාවට අයිතියි . එදා විවිධ කොටස් වලට බෙදිල හිටිය ජනතාව අද තමන්ගේ රට ඉන්දියාව විදිහට පිලිගන්නව . ඒ ඒ රාජධානි වල නිපැවුම් තමන්ගේය කියල පිලිගන්නව . මේ වෙනකන් ඒ ගැන වෙනත් කිසිම රටක විරෝධයක් එල්ල වෙලා නැ . බුදු හාමුදුරුවන්ගෙ උප්පත්තිය සිදු වුනේ වර්ථමාන නේපාල භූමියේ ,නමුත් උන්වහන්සේගෙ ජීවිතයේ වැදගත් සිදුවීම රාශියකට සම්බන්ධ තැන් තියෙන්නේ වර්ථමාන ඉන්දියානු භූමියේ (බුද්ධගයාව ඇතුලු ) . ඉපදුනු නේපාලයට විතරක් උන්වහන්සෙගේ වපසිර්ය සිමා කරන්න බැ . මිහිඳු හාමුදුරුවන් ගැන කියනවා නම් උන්වහන්සේගේ උප්පත්ත්යේ සිටම ගතවුනේ ඉන්දියානු භූමිය තුල . ලංකාව වගේ දූපතක තත්වය මහද්වීපික රාජ්‍යක් එක්ක සංස්න්දනය කරන එකත් වැරදියි . අනික අතිතයේ බුද්ධාගම පැතිර තිබුන දැන් වෙනත් ආගමක් පැතිර තිබෙන එකම රටත් ඉන්දියාව නෙවෙයි . අදාල ප්‍රදේශයේ ජනතාව පිලිගන්නවා නම් , අනෙකුත් ලෝකය පිලිගන්නවා නම් එදා දඹදිවේ / භාරතයේ වර්ථමාන ස්වරූපය ඉන්දියාව කියල එතනින් එහාට ඒකෙ ඇති වැද්ගත් කමක් නැ . ඉන්දියානු වන් එක්ක තරහට මිහිඳු හාමුදුරුවො ඉන්ද්යන් නෙවෙයි කිව්වට ඒක ලෝකය පිලිගන්න තර්කයක් නෙවෙයි , ශාස්තීය තර්කයක් හරහා සියුම් ආතල් එකක් ගැනීමක් විතරයි . අපිට වඩා වැදගත් වෙන්නේ මිහිඳු රහතන් වහන්සෙ නිසා ලංකාවට ලැබුන ශේෂ්ට දර්ශනය භාවිතා කරන්නෙ කොහොමද කියන එක මිසක් උන්වහන්සේ ඉන්දියන්ද පකිස්ථාන්ද කියන එක නෙවෙයි . අනිත් අතට කැමැත්තෙ හෝ අකමැත්තේ වර්ථමානයේදී මුන දෙන්න වෙලා තියන ඉන්දියාවේ දේශපාලන බලපැම් වලට උප්ක්‍රම ශීලිව මුහුන දෙන්නෙ කොහොමද කියන එකයි

    ReplyDelete
  3. මට හිතෙන්නෙ කොලූගෙ මතය සාමාන්‍යයෙන් කවුරුත් දන්න කියන සරල කතාවම තමා. ඒක බොහෝ දෙනා පිළිගන්න එක ගැනත් මගේ ප්‍රස්නයක් නෑ. ඒත් ඉතින් මම ඒක නොපිළිගන්නෙ ඇයි කියල කියන්න පුළුවන් නෙව :)

    මට වැදගත් වෙන්නෙ ඉන්දියානු සංස්කෘතිය එදා දඹදිව සංස්කෘතියේ තිබිච්ච වැදගත්ම කොටසක් නැති එකක්ය කියන එකයි. ඒ තමයි බුද්ධ සාසනය. අද උණත් ධර්මපාලතුමා නොහිටින්න ඉන්දියාවෙ බෞද්ධයන්ට කියල යන්න තැනක් නැති බව කියන්න ඕන නෑ. අනිත් පැත්තෙන් මම ඉන්දියානු ජාතිකත්වය ගැනත් යමක් කීව. ඒකට එච්චර දිග ඉතිහාසයක් නෑ කියන එකත් පැහැදිලියි. අද වුනත් මේ බෙදීම් ඉස්මතුවෙන හැටි තමිල්නාඩුවේ දේසපාලනේ බැලුවාම පේනවා. ලංකාවෙ බාහිර ආධාර උපකාර වලිං පවත්වාගෙන යන දෙමළ ජාතිවාදී දේසපාලනය වෙනුවට තමිල්නාඩුව නිසගයෙන්ම දෙමළ දේසපාලන ඒකකයක් විදියට වැඩ කරනවා.

    කලින් වගේ අපිට දිග වාදයක් කරන්න තරම් දේකුත් මේ කතාවෙ නෑ. හැබැයි මේක නොවැදගත් කතාවක් කියන එකට නම් මම කොහෙත්ම එකඟ වෙන්නෙ නෑ. මේකෙ වැදගත්කම අද වෙනකොට හරි හරියට දැනෙන්න පටන් අරන්.

    මෙතෙන්දි කොලූගෙ කටින්ම හරි වැදගත් දෙයක් කියවුනා. මේ කතාවට කටේ මසුරං දාන්න වටිනවා.

    ලංකාව වගේ දූපතක තත්වය මහද්වීපික රාජ්‍යක් එක්ක සංස්න්දනය කරන එකත් වැරදියි .
    අද ඉන්දියන් මොඩල් ගැන කතා කරන උදවිය ඊනියා බලය බෙදීමේදි එහෙම තකතීරු සංසංදනය කිරීම් කරන්න හදනවා නෙව. මේ උදවියට තත්වය පැහැදිලි කරල දෙන එක බුවා කොලූලගෙ උණත් වගකීමක්:P

    මෙතන මට ඕන පොඩි සාස්ත්‍රීය චූන් එකක් ගැනීම නොවෙයි. මේක ලිවීමේ අරමුණනත් ඉන්දියාවත් එක්ක වැඩකරද්දි අපේ ආකල්පය මොකක් වියයුතුද කියන එක පැහැදිලි කිරීම. සමහර තැන්වල කියවෙනවා ඉන්දියාව අපේ ලොකු අයියාය කියල. නමුත් මේ ලොකු අයියා අපිට ආදරේ නැති වග උන්දැගෙ වැඩපිළිවෙල බැලුවාම පැහැදිලියි. ඒ නිසා තමයි අපි හරි දැක්මක් ඇතුව පුරස්නෙ දිහා බලන්ට ඕනා. පැරණි දඹදිව අපේ මිත්‍රයො හිටියට අද ඉන්දියාව අපිට ඒතරම් හිතවත්ය කියන වැරදි ආකල්පයේ ඉන්ඩ ඕන නෑ කියන කාරණේ තමා මෙතන තියන වැදගත්ම කතාව.

    ReplyDelete
  4. ඔව් මාත් වාද්යක් කරන්න බලගෙන් ලිව්වා නෙවෙයි , මම දේශපාලනිකව යමක් දෙමල ජනතාව වෙනුවෙන් ව්ය යුතුයි කියල විශ්වාස කලත් ඔය ඉන්දියන් මොඩලයට නම් විරුද්ධයි . අපිට වඩා 65 ගුණයක් විශාල සංස්කෘතීන් ගනනාවකින් පිරිච්ච රටක ආකෘතිය අපෙ පුංචි රටට ගැලපෙන්නෙ නැ . ඔය ඉන්දියන් මොඩලය වන්දනා කරන මෙහෙ අය මතක කරන දෙයක් තියනව .ඒ ඇමරිකාවේ , කැනඩාවේ වගෙ ඉන්දියාවේ ෆෙඩරල් ක්‍රමය සාර්ථක වෙලා නැහැ . ප්‍රාන්ත ගනනාවක ගැටුම් කාරි තත්ව ඇති වෙලා තියෙන්නෙ ඒ නිසා

    . ඉන්දියාව විතරක් නෙවෙයි චීනය උනත් 100% වැඩ කරන්නෙ තමුන්ගෙ වාසිය වෙනුවෙන් විතරයි . රුසියාව ඇරුණාම ඔය ලොකු රටවල් කවුර්ත් අපිට බලපාන්නේ එක විදිහට . ප්‍රශ්නෙ තියෙන්නේ රජීව් ගන්ධි ගෙ කාලෙ දේශපාලන චණ්ඩියෙක් විතරක් වුන ඉන්දියාව මේ වෙනකොට ඊට වඩා අතිශයින් ප්‍රභල තැනක ඉඳන් තමයි කටයුතු කරන්නේ . බලමු .

    ReplyDelete

අටුවා ලියන්නට පෙර කියවා බැලීමට
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ලියන දෙයක් තේරෙන සිංහලෙන් ලිව්වොත් හොඳා. පොඩිගමයගෙ ඉංගිරිස් දැනුම අන්තිමයි. සිංහලෙන් යතුරු ලියන්න බැරි නම් පරිවර්තකේ පාවිච්චි කරන්න.

කාරණාවට අදාල පුරස්නයක් හෙම අහනවා නම් පුළුවන් තරං කෙටියෙන් අහන්න. වැල්වටාරං ලියන්න එපා.

කුණුහරුපෙන් බණින්න හිතෙනවා නම් පරිස්සමෙං ලියන්න. නිසි බලදාරිය මහත්තයා වැඩ.

කාරණේට අදාල නං මිස වෙනත් අඩවිවල දාපු ලියුම් වලට සබැඳි දාන්න එපා. තමංගෙ අඩවියට සබැඳියක් දාගන්න ඕන නම් ඉල්ලීමක් කරන්න.