Monday, April 18, 2011

මිහිඳු මහරහතන්වහන්සේ ඉන්දියන් කිරීමට හැකිද?

අර ලංදියන්කාරයො ලංකිස්තාන්කාරයො ගැන ලියාපු දේවල් ගැන සමහරක් උදවිය නොසතුටිං ඉන්නවාය කියන එක පැහැදිලියි. සමහරු කිව්වා එව්වා ලිවීමෙං නැති පුරස්න ඇති වෙනවාය කියල. ඒ කියන්නෙ ඒ උදවිය හිතනවා ඒක පුරස්නයක් නොවෙයි කියල. ඒ උදවියට අනුව පුරස්නෙ ඒ ගැන කතා කිරීමයි. කතා නොකර ඒක නොදැක්කා වගේ හිටියාම පුරස්නයක් නෑ කියන එකයි ඒ උදවිය කියන්නෙ. සමහර විට ඒ උදවිය කොටි කියන්නෙත් පුරස්නයක් නොවෙයි කියල හිතුවා(හිතනවා) වෙන්ට පුළුවං.

කොටි පුරස්නෙ කම්මුතු උණාට හැබෑ පුරස්නෙ තාම තියෙනවාය කියන එක නං බොහොමයක් දේසපාලන පඬිවරු දෙසා බාන මතයක්. පොඩිගමයත් හිතනවා එහෙම පුරස්නයක් තියෙනවාය කියල.හැබැයි ඒ පඬිතුමාල දෙසාබාන එක නං නෙවෙයි. අර ලංදියන් කතන්දරේ ඒ පුරස්නෙ මොකද්ද කියල පෙන්නුම් කරන කණ්ණාඩියක් වගේ. ඕක කිරිකැට් තරග වලදි තමයි හොඳට මතුවෙලා පේන්නෙ. මතුවෙලා පේන්න ප්‍රධාන හේතුව තමා මිනිස්සුන්ගෙ ජාතිකත්වය එතනදි ඉහලට එන එක. එතකොට යම් කිසි විදියක විජාතික එකතුවක් විදියට කැපිල පේනව අර සුළු පිරිස. නමුත් දේසපාලනේ වගේ තැංවලදිත් ඕක එහෙමම තියෙනවා. දේසපාලනේදි සුළු ජාතික දේසපාලන පක්ස කියල ජාතියක් හැදිල තියෙනවා. ඒවා සාමාන්‍යයෙන් සුළුජාතික බෙදුම්වාදවලට උඩගෙඩි දෙනවා. පොඩිගමය කියන්නෙ මේ ප්‍රස්න පැස්බරා වැල්ලෙ ඔලුව හංගනවා වගේ වහල තියන්නෙ නැතුව කතාබහට ලක්වෙන්ට ඕනෑ. නැත්නම් ඔව්ව ඉස්සරහටත් ප්‍රස්න හැටියට පවත්වාගෙන යන්න වෙනව. එහෙම කළාය කියල රටට වැඩක් වෙන්නෙ නෑ.

මහින්ද මහරහතන්වහන්සේ ඉන්දියන් කරන්න හදන්නෙත් මේ ප්‍රස්නෙ අවුල්කරල යටගහන බලාපොරොත්තුවෙන්ය කියන එක පැහැදිලියි. මෙව්ව අවුල් කරගන්න එක වලක්වන්න ලංදියන්කාරයෙක් වීමේ මූලික අවශ්‍යතාවක් හැටියට අපි ලංකාවේ රටවැසිභාවය දෙනව. නමුත් ඒක විතරක් ප්‍රමාණවත් වෙන්නෙත් නෑ. ඉන්දියන් ජාතිකත්ව ගැතිභාවයක් යං කිසි ආකාරයකින් තියෙන්ටත් ඕන කරනවා. මිහිඳු හාමුදුරුවො ඉන්දියන් කිරීමට හැකි වුණා නම් ඒ මගින් පණ්ඩිතයෙකුට පුළුවන්කමක් ලැබෙනවා උන්වහන්සේට ඉන්ලංකා කාරයෙක් නැත්නම් වෙනත් ඒවගේ නමක් දාල ලංදියන්කාරයිංගෙ කැතවැඩේ වහල දාන්න.

පළවෙනියෙන්ම කියන්න තියෙන්නෙ ඉන්දියාව කියල එකක් උන්වහන්සේ වැඩ ඉඳපු කාලෙ තිබුණෙ නැතය කියන එක. එහෙවු එකේ උන්වහන්සේ ට ඉන්දියන් නාමයක්වත් තියෙන්න හැටියක් නෑ . ඒ කාලේ ඉන්දියාවට අයිති කොටස් (දැං පකිස්තානෙත් නේපාලයත් ඇතුලු වර්තමාන ආසියාවෙ විසාල කොටසකුත්) දඹදිව කියා හඳුන්වාපු වග අහල ඇති නෙව.

එතකොට ආයිත් කෙනෙකුට අහන්න පුළුවන් රටේ නම මොකක් උණත් මිහිඳු හාමුදුරුවො "ඉන්දියාවෙ" පුරවැසියෙක් විදිහට ඉඳගෙන ලංකාවට ඇද්ද නේද නැත්නම් ලංකාවට ඇවිල්ල ඉන්දියාවට පක්සපාත විදියට කටයුතු කළා නේද කියල ? මේකත් මොට්ට පුරස්නයක් මොකද උන්වහන්සේ ලංකාවට ආවේ ධර්ම දායාදය දීල රටේ බුද්ධසාසනේ පිහිටුවන්න මිසක් දඹදිව රාජ්‍යයක් වෙනුවෙන් මොනම ආකාරයකවත් දේසපාලන කොන්තරාත්තුවක් කරන්න නෙවෙයි. ලංදියන්කාරයො ලංකිස්තාන්කාරයො ගත්තාම කතාව වෙනස්. උන්දැලා දේසපාලනිකව ඉන්දියාවත් එක්ක ගැට ගැහෙන්න හීන මවන කට්ටියක්. ලංකිස්තාන්කාරයොත් ඒවගේ කෑලි ගලවගෙන මූට්ටු කරගෙන බලේ පතුරුවන්ට පුළුවන්ද කියල බලනවා

පුරස්නයක් අහනකොට මීට වඩා ටිකක් හිතල මතල අහවිය කියල නෙව අපි උණත් බලාපොරොත්තු වෙන්නෙ කො..හෙද ඇහුවොත් 5 පන්තියට හරියන පුරස්නයක් තමා අහන්නෙ . අර හුරුල්ල නමිං අටුවාවෙ දාපු කොමෙන්ටුව හුරුල්ලෙක්ට තියා හාල්මැස්සෙක්ටවත් පිළිගන්න පුළුවං මට්ටමේ නැති වග පැහැදිලියි .

කොහොමිං හරි මිහිඳු මහරහතන්වහන්සේ එදා හිටපු සිංහලයෙකුට අද ඉන්න ඉන්දියන්කාරයෙක් අපිට තියෙනවාට වඩා අදහස් අතින් කිට්ටු වෙන්ට ඇතිය කියල හිතෙනවා. එහෙම නොවෙන්න දෙවන පෑතිස් රජ්ජුරුවොත් එක්ක අරවගේ ගැඹුරු සංවාදයක් කරන්න හැකිවෙයි කියල හිතන්න අමාරුයි. එහෙම බැලුවත් උන්වහන්සේ ඉන්දියන් කරන්න බෑ.


4 comments:

  1. කතාවනම් 100% හරි අපේ උන්දලගේ තියෙන්නේ තර්කයක් දාලා වඩේ කෙලවනවා කියලා තේරුනු ගමන් කිසිම සම්බන්දයක් නෑති අහසින් පාත් වෙච්ච ටොපික් එකක් උස්සලා දානවා.අන්තිමට අර කරගෙන ආපු කතාබහ එහෙම් පිටින්න ඉවරයි.

    ReplyDelete
  2. එදා අයිතිවුන කොටස් දැන් ඉන්දියාවට අයිති නැතත් මිහිඳු හාමුදුරුවො ආවේ ඉන්දියාවෙන් නෙවේය කියන එක නම් අසාර්ථක කතාවක් , මොකද අශෝක රජතුමා කියන්නෙ අදටත් ඉන්දියාවට අයිති බිහාර් මුල් කරගෙන පාලනය ගෙන ගිය කෙනෙක් . අනික ලෝකය පුරාම භාරතයේ අතීතය ගැන කතා කරන්නෙ ඒක වර්ථමාන ඉන්දියාවේ අතීතය කියල සලකලම තමයි . මිහිඳු හාමුදුරුවන්ගෙ ගමන සම්බඳ දේශපාලන අර්ථයකුත් තියෙන්න පුලුවන් , මොකද අශෝක රජතුමාගේ අධිරාජ්‍යට දකුනු ඉන්දියාව නතුවෙලා තිබුනෙ නැ , ඉතින් ඊට පහලින් තිබුන අපේ රටේ රජතුමාගේ දේශපාලන සහය වැදගත් වන නිසා තමන්ගෙ පුතා එව්වා වෙන්නත් පුලුවන් , ඔබ තුමා ඉන්දියාවට විරුද්ධ කෙනෙක් නම් ඔයිට වඩා පලදායක තර්කයක් තිය්නව ගොඩනගන්න . ඒ තමයි අශෝක වගේ දැවැන්ත අධිරාජ්‍යයෙක් එක්ක දේශපාලන සබඳතා ගොඩානගා ගත් දේවනම්පියතිස්ස රජතුමා ඔය ඉතිහාසයේ කියන විදිහේ ගොත්‍රික රජකෙනෙක් නොවේය කියන එකත් මහින්දාගමනයට කලිනුත් අපි ඉතාම හොඳ ශිෂ්ටාචාරවත් ජාතියක්ය කියන එකත්

    ReplyDelete
  3. “ඔබ තුමා ඉන්දියාවට විරුද්ධ කෙනෙක් නම් ඔයිට වඩා පලදායක තර්කයක් තිය්නව ගොඩනගන්න . ඒ තමයි අශෝක වගේ දැවැන්ත අධිරාජ්‍යයෙක් එක්ක දේශපාලන සබඳතා ගොඩානගා ගත් දේවනම්පියතිස්ස රජතුමා ඔය ඉතිහාසයේ කියන විදිහේ ගොත්‍රික රජකෙනෙක් නොවේය කියන එකත් මහින්දාගමනයට කලිනුත් අපි ඉතාම හොඳ ශිෂ්ටාචාරවත් ජාතියක්ය කියන එකත් ”

    ඒ කතාවනං පිළිගන්න ඇහැකි. ඉතිහාසකතාවලට අනුව බැලුවත් එහෙම නැත්නම් (ඒව කොහෙත්ම පිළිනොගන්න උදවිය සඳහා) පුරාවිද්‍යාඥයින්ගෙ සොයාගැනීම් අරගෙන බැලුවත් ඔය මතය හරි කියන්න සාධක පෙන්වන්ට පුළුවන්ය කියල හිතෙනවා.

    "මිහිඳු හාමුදුරුවන්ගෙ ගමන සම්බඳ දේශපාලන අර්ථයකුත් තියෙන්න පුලුවන් , මොකද අශෝක රජතුමාගේ අධිරාජ්‍යට දකුනු ඉන්දියාව නතුවෙලා තිබුනෙ නැ , ඉතින් ඊට පහලින් තිබුන අපේ රටේ රජතුමාගේ දේශපාලන සහය වැදගත් වන නිසා තමන්ගෙ පුතා එව්වා වෙන්නත් පුලුවන් ,”

    මේ කතාවත් හොඳ කතාවක් සාස්ත්‍රීය පැත්තෙන් බැලුවාම. නමුත් අපි ඉතින් ඒව විතරක්ම සලකන උදවිය නොවන නිසා පේන්නෙ වෙනස් විදියකට. මිහිඳු මහරහතන්වහන්සේ කියන්නෙ තවත් රහතන්වහන්සේල පිරිසකුත් එක්ක වැඩමවාපු ලෞකික අපේක්ෂා අතහැරදාපු උත්තමයෙක් නොවැ. දේසපාලන කාරණාත් ඉටුකරගන්න අන්තිම නුසුදුසු දූත මණ්ඩලයක් නේද එවල තියෙන්නෙ ? තවත් කාරණයක් තමා මේ වෙනකොට අශෝක අධිරාජයා තමංගෙ භූමිය ලොකු කරගැනීමේ (දිග්විජය) ප්‍රතිපත්තියෙන් ඈත්වෙලා ධර්මය පැතිරවීමේ (ධර්මවිජය) ප්‍රතිපත්තියට ආපු කෙනෙක්. එතුමාගෙ අභාවයෙන් පස්සෙ අධිරාජ්‍යය වැටීගෙන ගිය බවයි පේන්නෙ.

    තවත් කතාවක් තමා මේ දෙවන පෑතිස් රජතුමා අශෝක අධිරාජයත් එක්ක යම්කිසි මිත්‍රත්වයක් මුල සිටම තිබුණාය කියන එක. (ලංකාවෙ ලියවිච්ච පොතපතේ මේ මතය දකින්න පුළුවන්) එහෙම ගත්තොත් දේසපාලන වසයෙන් සහයෝගය කොහොමත් තිබුණාය කියා හිතන්න පුළුවන්.

    අනෙක් පැත්තෙන් අද ඉන්න සමහරක් හිතන්නෙ ඉන්දියාවෙ පහල කොටස් සහ ලංකාව යටත්(ගැති) රාජ්‍ය විදිහට තිබුණාය කියල . සමහරවිට ඉන්දියන්කාරයො අතරෙ නැගල ගිය මතයක් වෙන්න පුළුවන්.

    අර මිහිඳු හාමුදුරුවො ඉන්දියාවෙන් ආවය කියන එකත් වැදගත් පුරස්නයක් . ඒක ගැන ටිකක් විස්තර ඇතුව ලියන්නයි බලාපොරොත්තුව.

    ReplyDelete
  4. ඔව් දේශපාලන සහයෝගය කොහොමත් තිබුන නිසා තම්යි තමන්ගෙ පුතාව එවන්නේ , නමුත් එතන ඉන්දියානු දර්ශ්නනයේ ව්‍යාප්තවාදයකුත් අශෝක රජතුමා බලාපොරොත්තු උනාය කියල කියන අයත් ඉන්නව. මම ආගමික පැත්තෙන් ඕව ගැන නොබලන නිසා ඒ වගේ මත ගැනත් උනන්දුයි :). කොහොමටත් ඉතිහාසය කියන්නෙ අපි විසින් ගොඩ නගා ගන්න සංකල්ප මත පදනම් වෙන දෙයක් නේ ,

    "අර මිහිඳු හාමුදුරුවො ඉන්දියාවෙන් ආවය කියන එකත් වැදගත් පුරස්නයක් . ඒක ගැන ටිකක් විස්තර ඇතුව ලියන්නයි බලාපොරොත්තුව."

    ඒ ලිපිය දකින්න බොහොම කැමැත්තෙන් බලාගෙන ඉන්නව

    ReplyDelete

අටුවා ලියන්නට පෙර කියවා බැලීමට
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ලියන දෙයක් තේරෙන සිංහලෙන් ලිව්වොත් හොඳා. පොඩිගමයගෙ ඉංගිරිස් දැනුම අන්තිමයි. සිංහලෙන් යතුරු ලියන්න බැරි නම් පරිවර්තකේ පාවිච්චි කරන්න.

කාරණාවට අදාල පුරස්නයක් හෙම අහනවා නම් පුළුවන් තරං කෙටියෙන් අහන්න. වැල්වටාරං ලියන්න එපා.

කුණුහරුපෙන් බණින්න හිතෙනවා නම් පරිස්සමෙං ලියන්න. නිසි බලදාරිය මහත්තයා වැඩ.

කාරණේට අදාල නං මිස වෙනත් අඩවිවල දාපු ලියුම් වලට සබැඳි දාන්න එපා. තමංගෙ අඩවියට සබැඳියක් දාගන්න ඕන නම් ඉල්ලීමක් කරන්න.