Wednesday, December 30, 2009

කැලේ කතාව 2...

හමුව: අලිරාල කැලෙන් එලවීමේ සංගමයේ රැස්වීම.
තැන: ඌරු හාමිගේ ගෙදර (මඩවල)
ආපු කට්ටිය: සිංහරාල, ඌරු හාමි, වෘක හාමි සහ හිවල් හාමි

සිංහරාල: හරි දැං ඌරු හාමි කියනව බලන්න ඔහෙගෙ මහ ලොකු සැලැස්ම..? අර මඩ සෙල්ලමක් ගැන කිව්වෙ?

ඌරු හාමි (මඩේ බැස) නාසයෙන් හඬක් නගයි.

ඌරු හාමි: මෙහෙමයි සිංහරාල.. අලිරාලව එලවන්න නං ඔය රැවුම් ගෙරවුම් වලින් විතරක් බෑ. සත්තුන්ගෙ හිත්වලින් පුලුවන් තරං අලිරාලව ඈත් කරන්ට ඕන. ඒකට මඩ සෙල්ලම තමා හොඳම විදිය.
මේක එච්චර අමාරු නෑ කරන්න තියන්නෙ මඩවලින් අලිරාලට ගහන එක. වලස්රාලට උනත් එහෙමයි පුළුවන්තරම් මඩ ගහන්න. රැවුම් ගෙරවුම් වලටත් අමාරු වැඩ මඩ වලින් කරන්න පුළුවන්.

සිංහරාල: මඩ මුලු ඇඟටම ගහන්න ඕනද? ඔලුවටත් ගහනවද?

හිවල්හාමි: ඒකට අපි වඳුරුහාමිලාගෙන් උදවු ගන්නව. උන් ගස් උඩ ඉඳන් මඩ ගහවි. සිංහරාලට තියන්නෙ උන්දැලට මඩ අනල දෙන එකයි. ගිය පාර මං කලෙත් ඒ විදිහට තමයි.

සිංහරාල: මඩ ගඳ නැත්ද?
(ඌරුහාමි ඉන්න පැත්ත දෙස බලා නාසය හකුලා ගනියි.)
ඇඟේ ගෑවෙනව නේද?

වෘක හාමි: හෙ.. හෙ.. මඩ ගහන්නෙ ගඳගහන්නනෙ රාලහාමි. ගඳ ගස්සන්නෙ නැතුව මඩ ගහන්න බෑ. රාලහාමි තාම සෙල්ලමට අලුත් නිසා ගඳ ඉවසන්න අමාරු. පුරුදු වෙනකොට ඕක හරියයි.
අනික මේ ඌරු හාමි මඩ සෙල්ලමට හරිම දස්සය.. රාලහාමිව පුරුදු කරල ගනියි.

සිංහරාල: හ්ම්ම්.. මං නොදන්නවැයි ඒ වග.. මටත් ඒ දවස්වල මඩ ගැහුවෙ..

හිවල්හාමි: ඒ ඉතින් ඒ දවස්වලනෙ රාලහාමි.. දැං අපි රාලහාමිටනෙ උදවු කරන්නෙ..(හිවල්හාමි ඌරුහාමි දෙස යටැසින් බලා ඉඟිමරයි)

ඌරුහාමි: එහෙනම් ඉතින් පුරුදුවෙන්නත් එක්ක බහින්නකො සිංහරාල වලට...

හිවල්හාමි: ඔව් ඔව් අදම පටන් ගමු.

සිංහරාල: මේ වලටද බහින්නෙ?

හිවල්හාමි: ඔව් ඔව් මේ වලට.

සිංහරාල වල දෙසට යයි. (ඌරු හාමි කෝකටත් කියා ඉඩදෙයි.) අඩිය ආපසු ගනියි. අදිමදි කරයි. නාසය අකුලා ගොරවයි.

වෘකහාමි: බහින්න රාලහාමි. බහින්න.

සිංහරාල: චිහ්! ගඳේ බෑ. ඈ..හ්.. වෘකහාමි තමුසෙ කිව්වෙ නෑනෙ මේව්ව කරන්න ඕනය කියල.. අලිරාලත් මෙව්ව කරනවද ඕයි?

වෘකහාමි: රාලහාමි අපිට අලිරාල කරන දේවල් කරන්න බෑ. හොඬවැලයි දලදෙකයි උසයි තියන හින්ද උන්දැට මඩ නාගන්නෙ නැතුව සෙල්ලම් කරන්න පුලුවන්.

ඌරුහාමි: වෘක හාමි සිංහරාලට තල්ලුවක් දෙන්නකො. සිංහරාල බය ගන්න කාරියක් නෑ අපි හැමෝම ඉන්නවනෙ සිංහරාලට..

සිංහරාල: ගර්..ර් බය ? ඈ බොල ඌරෝ මං කොටියවත් මරාපු කාටවත් බය නැති එකෙක් තේරුණාද? ගර් ර්.. උඹ මට අපහාස කරනවද?

නෑ ..හ් නෑ.. සිංහ රාල..හාමි මං කිව්වෙ මඩ සෙල්ලමට රාලහාමි ටිකක් අදිමදි කරන හින්දයි.

වෘකහාමි: බය නැතිනම් රාලහාමි බහින්නකො.

හිවල්හාමි: වෘකහාමිත් බහින්න උදව්වට.

සිංහරාල ඉදිරි අඩි දෙක මඩේ ඔබාගෙන පසුපස අඩිදෙක එලියෙ තබාගෙන සිටියි.

වෘකහාමි: සිංහරාල කකුල් හතරම දාන්න වලට. මොකද අත්දෙක විතරක් දාගෙන? තල්ලුවක් දාන්නද?

සිංහරාල: එපා. වෘකහාමි මට බෑ ඒකෙ මඩ ගාගන්න. ගෙදර යන්නෙ කොහොමද ඒකෙ මඩ ගාගෙන. මායිය මට හිනාවේවි. අනික මේ වලේ තියන ජරාව ගඳට උන්දැ නහය අකුල ගනියි. ඒකෙ ජරාව ගෑවෙන්නෙ නැතුව කරන දෙයක් කරමු.

වෘකහාමි: තමුන්නාන්සෙට ඌරුහාමිගෙන් යට ඇඳුමක් ඉල්ලල දෙන්නම්. ඒක ඇන්දාම හරි. ඌරුහාමි සිංහරාලටත් අරවයින් එකක් දෙනවකො.

ඌරුහාමි වලෙන් නැගිට යට ඇඳුමක් සොයාගෙන ඒමට යයි...

සිංහරාල: කෝ ඌරුහාමි යට ඇඳුමක් ඇඳල හිටියෙ නෑ නෙ. අනිත් අයට ඇන්දුවට මිනිහ අඳින්නෙත් නෑ නේද ඔව්ව? හරියට මහලත් ඇත්ද?

වෘකහාමි: හෙ..හ් එයාට ප්‍රස්නයක් නෑනෙ රාලහාමි. ඒ වුනාට හැමෝම මඩට අඳින ඇඳුම ගන්නෙ එයාගෙන් තමා.

සිංහරාල : මොකද එයාගෙ එකේ මඩ ගෑවෙන්නෙ නැත්ද?

හිවල්හාමි සහ වෘකහාමි මුහුණෙන් මුහුණ බලාගනිති.

වෘකහාමි: රාලහාමි දන්නෙ නෑ වගේ.. ඔවු එයාට ගෑවෙන්නෙම නෑ.

හිවල්හාමි: වෘකහාමි ඔය කතා මෙතනට ඇදගන්න එපා..

සිංහරාල: නෑ නෑ කියමු බ්ලන්න... වෘකහාමි මොකද්ද ඒ කතාව?

වෘකහාමි: නෑ එච්චර ලොකු දෙයක් නෙවෙයි. රාලහාමි අහලත් ඇති. ඌරුහාමි පොඩිකාලෙත් දැන් වගේමයි. අහුවෙනදේ කා දමනවා. ඔය විදිහට කාදමන පුරුද්ද නිසා ඉන්න තැන තියන කෑමත් කාදමනවා කුණුත් කාදමනවා. ඉතින් දවසක් ඔහොම කාගෙන කාගෙන යනකොට ඌරුහාමිට යට ඇඳුම කන්න ආසාවක් ඇති උණාලු. යට ඇඳුම හපන අතරෙ වැරදීමකින් ඒක හපාගත්තාය කියලයි කියන්නෙ.
සමහරු නම් කියනවා මේ ඌරුහාමිට උපතින්ම ඒක නැතිය කියල. කවුරු හරිද කියන්න බෑ.

සිංහරාල: මටත් මතකයි ඒ දවස්වල වලස්රාල ඔහොම කතාවක් කියනව.

හිවල්හාමි: සිංහරාල ඔව්ව ගැන හිතන්නෙ නැතුව මඩ සෙල්ලම පුරුදු වෙන්න. කොහෙ ගියාද මේ ඌරුහාමි..?

Monday, December 14, 2009

කැලේ කතාව..1.5

දඩයක්කාරයගේ උවමනාව කුමක් විය හැකිද? දැන් සිංහරාල ගතින් කෙසේ වෙතත් සිතින් ඉන්නේ කැලෑවේ නොවේ. ඔහු දඩයක්කාරයාට තම පැරණි මිතුරන් අල්ලාදීමට උත්සහ කරයි. කැලේ ලොක්කාවීමේ උවමනාවක් ඔහුට නැති සේය. මේ අවුලෙන් වාසිය අත්වන්නේ දඩයක්කාරයාට මිස වෙන අයෙකුට නොවේ. සිංහරාල කරන කැත වැඩේ ගැනද කැලේ සත්තුන්ට ටිකෙන් ටික වැටහෙන බව දැන් දැන් උන් කරන කතා බහෙන් පෙනෙයි.

වලස්රාල සහ අලිරාල පසෙකින් තබමු. සිංහ පැටවුන්ද පාවාදීමට
සිංහරාල පසුබට නොවන බව පෙනෙයි. දඩයක්කරයාට උදවු කිරීමෙන් වැඩිම වුවහොත් සිංහරාලට ලැබෙන්නේ සත්තු වත්තකි. සිංහරාල ඒ සඳහා හිවල්හාමිගේ මට්ටමට පහත වැටීම ගැන කැලේ සත්තු වැඩිදෙනා දුක්වෙති.

මේ අතර දඩයක්කාරයාගේ ඔලුවේ වසන උකුණෝ "කැලේ ගැන අප තරම්
තොප දන්නේ නැතැ" යි උදම් අනති ! උන් සිතා සිටින්නේ කැලෑව යනු දඩයක්කාරයාගේ ඔලුවේ ඇති යමක් බවත් ඒ ගැන තමන්ට තරම් දැනුමක් අනෙක් සතුන්ට නැති බවත්ය. කොන්ඩගස්වලට වඩා ලොකු ගස් කැලේ ඇති බව උන් නම් මේ ආත්මයේදී දැන ගනු නැත. උන්ට අනුකම්පා කිරීම හැර අපි කුමක් කරමුද?

Saturday, December 12, 2009

කැලේ කතාව...

මේ දවස්වල හිවල්හාමිට ගමන් බොහෝය. එකක්වත් ඔහුගේ ගෙදර කටයුතු පිණිස නොවෙයි. එක පැත්තකින් අලිරාල කැලෙන් එලවන්න සිංහරාලට උදවු කරන වැඩය. අනෙක් පැත්තෙන් දඩයක්කාරයාව හමුවී අලිරාලගේ දළ ගැලවීමේ පිළිවෙල ගැන උපදෙස් අවවාද ලබාගන්නා වැඩය.

සතියකට තුන් හතර වතාවක් කූඩුවේ සිටින කොටිහපුවා හමුවෙන්නට යාම මෑතක
සිට හිවල්හාමිට පැවරී ඇති කාරියයි. කොටි හපුවා හමුවන්නට වලස්රාල සතියකට වතාවක් පැමිණෙන බව හිවල්හාමිට දැනගන්නට ලැබුණේ එහෙම ගිය වතාවකය. කොටිහපුවාට වී ඇති හදිය ගැන හිවල්හාමිගේ හිතට අමාරුය. නැසීගිය මහ කොටිරාල මැරෙන්නට පෙර බේරාගැනීමට නොහැකිවීමත් හිවල්හාමිගේ හිතට වේදනාවකි. ඒ නිසාම හිවල්හාමිට සිංහරාල ගැනද ඇත්තේ හොඳ හැඟීමක් නොවේ.

කොහොමත් හිවල්හාමි වලස්රාලව නුරුස්සයි. වලස්රාලට පාඩමක් උගන්නන්න හිතූ හිවල්හාමි වලස්රාල කොටි හපුවාගේ දත් ගලවන බවත් ඒවා අලිරාලත් වලස්රාලත් තියාගෙන ඇති බවත් තමාගේ හිතවත් දෙමලිච්චියන්ගේ සහ වඳුරන්ගේ කන තැබීය. හිවල්හාමි ඉඳහිට මෙවැනි කතා කීම පුරුද්දක් බැවින් කැලේ සත්තු ඒ ගැන එතරම් තැකුවේ නැත.

කලින් වතාවේ සිංහ පැටවු කොටිරාලට ආහාර පිණිස දෙන්නට ඔහු සෑහෙන්න මහන්සි ගත්තේය. කාරිය හරියාගෙන එනකොටම අලිරාල මැද්දට පැන්නායින් සිංහපැටවු ටික ගැලවුණි.
සිංහරාල දිනුවාට කොටිහපුවා තාමත් පණපිටින් යැයි හිවල්හාමි කතාවක් ගෙන ගියේ මහ කොටිරාල මැරුණ ගමන්මය. කොටිහපුවා ඇල්ලීම වලස්රාලගේ දක්සකමින් වූවකි. ඒ ගැන දුකෙන් සිටින හිවල් හාමි වලස් රාලට නින්දා කරයි.

අලිරාල දඩයක්කාරයා එලවා නොදමන්නට මේ වතාවේ සිංහරාලට සිදුවන්නේ වෙඩිකන්නටය. හිවල්හාමිත්
දඩයක්කරයාත් නොහිතූ පරිදි අලිරාල දඩයක්කරයා එලවීමෙන් අන්තිමේදී සිංහරාලට හටන දිනන්නටද හැකිවිය. වෘකහාමිත් හිවල්හාමිත් එකතුවී අලිරාල පන්නන්න සිංහරාල කැමතිකරවා ගත්තේ මීට පසුවය. සිංහරාලගේ හිතට කැලේ ලොක්කා වියයුතු බවට අදහස ඇත්තටම දැම්මේ වෘකහාමිය. පසුව හිවල්හාමිට හිතුනේ අලිරාල කැලෙන් එලවීම සහ ඔහුගේ දළ ගැලවීමේ කටයුත්ත සිංහරාල මගින්ම ඉටුකරගත හැකිබවය. දඩයක්කාරයාද මේ කටයුත්තට සහයෝගය දෙයි.

මේ අතර හිවල්හාමිගේ මායියා ගෙදර කටයුතු ගැන උනන්දුවක් නැතැයි හිවල්හාමිට දොස් කියයි. හිවල්හාමි තමන්ට ලැබෙන කෑම බීම හොර අඹුවන්ට දී තමන්ට නොසලකන්නේ යැයි ඇගේ තවත් චෝදනාවකි.

Monday, December 7, 2009

ඒ පැත්තෙන් මේ පැත්තට..

එස් බී උන්නැහෙට උනේ ෆොනී මහත්තයට වෙච්චි දේ අනිත් පැත්ත. හරියට කිව්වොත් විපස්සතුමා ෆොනී මහත්තයව අල්ලගත්තයින් එස් බී උන්නැහෙට උන්හිටිතැන් නැතිව යාමක් උණේ. ෆොනී මහත්තය ආණ්ඩුවෙන් අයින් උණා (දේසපාලකයෙක් විදිහට නොවුණත්) ජනාධිපති වෙන්න හිතාගෙන. අනිත් පැත්තෙන් මුන්නැහෙ ජනාධිපති ඡන්දෙට ඉදිරිපත් වෙන්න නොලැබුණායින් ලොක්කට එකතු වුණා. දැං ඉතින් විපස්සතුමාට මුවනොසෑහෙන්න ප්‍රසංසා කරනව.

කොහොම උණත් විපස්සතුමාව එලවන එක ලේසි නෑ එස් බී උන්නැහෙ හිතන තරම්. උන්නැහෙ මොන අඩුපාඩුව තිබුණත් සුදු මහත්තුරු කියල තියන විදිහට කීකරුව වැඩ ටික කොරගෙන යනව. ඒකනෙ උන්නැහෙට ඔච්චර සලකන්නෙ සුද්දො. ඇන්දුමෙං පැලඳුමෙං උණත් එස්බී ට බෑ උන්නැහෙට කිට්ටු කරන්න. අර ලෝක ප්‍රජාතන්ත්‍රකාරයින්ගෙ සංගමේ කියල එකක ඉන්නවය කියල උන්නැහෙගෙ මාධ්‍ය නඩේ කාලෙකට කලින් ලොකු සද්දයක් දැම්ම මතකද? (මොන අර්තෙන් ලෝක කියනවද දන්නෙ නෑ, අර කොටුවෙ ඉස්ටේසම ලඟ තියනව ලෝක වෙළඳපොල කියල එකක්) බුෂ් ලොක්ක ඉන්න කාලෙ ඇමරිකාවට ගියාම මිනිහට විනාඩි පහක් දුන්න පොටෝ එකකට පෙනී හිටින්නත් එක්ක. පේනවනෙ තියන සැලකිල්ල.

ෆොනී මහත්තයටත් විපස්සතුමාගෙ අඩි පාරෙ යන්න වෙයි උන්නැහෙට වඩා හොඳට නැත්තන් ඉස්සරහට එන්න අමාරුවෙයි.

ලොක්කටද විපස්සතුමාටද ?

සරත් මහත්තය ෆොනී මහත්තය වෙලා දේසපාලනේට ආපු එක ගැන මගෙ හිතේ තියෙන්නෙ කණගාටුවක්. උන්නැහෙට දේසපාලන අත්දැකීම් නැති නිසා අර මාධ්‍ය සාකච්ඡාවෙදි ටිකක් නාගත්ත. හැබැයි ඉතින් විපස්සතුමා මැතිවරණ කාලෙට නාගන්න නාගැනිල්ලෙ හැටියට මේ ගැන මුන්නැහෙට දුක්වෙන්න දෙයක් නෑ.

සමහර උදවිය කියන්නෙ ෆොනී මහත්තය දේසපාලනේට ආවෙ දූෂණයට සහ භීෂණයට විරුද්ධවය කියල. මට පෙනෙන විදියට නම් උන්නැහෙට ආණ්ඩුවත් එක්ක පුද්ගලික මට්ටමෙන් ඇතිවෙච්චි විරසකය තමා පස්සෙ දේශපාලන පිල්මාරුවක් බවට පත් උනේ. හැබැයි ඕකට ආණ්ඩුව විතරක් වගකියන්න ඕන කියල මං හිතන්නෙ නෑ.

උන්නැහෙ බලේට එයි කියල නිකමට හිතුවොත් පුළුවන් වෙයිද දූෂණ නැතිකරල දාන්න? ආණ්ඩුවක් අටවගන්න වෙන්නෙ දැන් විපස්සතුමා යටතෙ ඉන්න ගෝල බාලයො රොත්තත් එක්කනෙ. උන් නිකන් බලා ඉඳීද බලේ ලැබුණාම? අනිත් අතට ෆොනී මහත්තය දැන් ටිකෙන් ටික දේසපාලන මඩ ගැහීමේ වියාපාරයේ දක්සකම් දක්වන්න පටන් අරගෙන. හිටපු හමුදාපතිතුමාගෙ ප්‍රතිරූපය වියැකී ගිහින් දේසපාලකයෙකුගෙ ප්‍රතිරූපය මතුවෙන්න පටන් අරන්. අර කතාවක් තියනව රෝමෙට ආව නම් රෝමන්කාරයෙක් වගේ ඉන්න ඕනැය කියල.

ලොක්කව ගෙදර යැවීම සටන් පාඨය කරගත්තු සීනුකාරයොත් එකතු උනාට මොකද වෙන කිසිම දෙයක් ගැන එකඟතාවයක් නෑ උන් අතරෙ. මොකෝ ලිබරල්වාදී වෙන්නයැ සීනුකාරයො හදිස්සියෙම. හැබැයි ෆොනී මහත්තය කිසි පැකිලීමක් නැතුව කිව්වා තමන්ගෙ ආර්ථික ප්‍රතිපත්තිය මොකද්ද කියල.

කොහොමින් හරි උන්නැහෙ බලේට ආවොත් මාස හයෙන් විපස්සතුමාට පුටුව දීල ගෙදර යන්නලුනෙ බලන් ඉන්නෙ (පුටුව දුන්නට පස්සෙ ගෙදර යන එක ඇර වෙන කරන්න දෙයක් නෑ). මං කල්පනා කලා ෆොනී මහත්තයව ටිකකට වේදිකාවෙන් ඉවත් කරල ප්‍රස්නෙ දිහා බලන්න. විපස්සතුමයි ලොක්කයි ඡන්දෙට ආව නම් මම කාටද කතිරෙ ගහන්නෙ? දොන් ජුවන් ධර්මපාලගෙ මී මුණුපුරාට ඡන්දෙ දෙන්න පුලුවන්යැ කොටි පරාද කරාපු හැටි මතක තියන මිනිහෙකුට? කොහොමටත් බෑ. දැන් එතකොට ෆොනීමහත්තය ඉන්නෙ අර හිටපු දක්ෂ සෙන්පතිය විදිහට නොවෙයි විපස්සතුමාගෙ නියෝජිතය හැටියට. උන්නැහෙට ඡන්දෙ දෙන එක හිටපු සරත් මහත්තයටත් කරන අවමානයක් නෙව.
අනිවාර්යයෙන් ලොක්කට!