Friday, January 27, 2012

දහතුන ධන ද දහතුන ඍණ ද?

(දහතුන,පනස් හය,පනහට පනහ,දෙමළ රාජ්‍ය)
දහතුන යනු දොළහ ධන එකය. දහතුන හැදුවාම වැඩේ හරියන බව කියූ උදවිය පසුකාලයේ තව තව එවුවාත් ඕනෑ යයි කීවෝය. දහතුන ධන හැදුවාම හරි යනවා යැයි කියන්නේද මේ උදවියම බව පෙනේ. දොළහ ධන එකෙන් නොසංසිඳුණු ආසාවල් දාහතරෙන් පහළොවෙන් සංසිඳේවි යැයි මට නම් නිකමටවත් හිතෙන්නේ නැත. මේවා වැඩි හරියක්ම ආසාවල්ය. පුහුදුන් හිත්වල ඇති ආසාවල් වලට සීමාවක් දාන්නට බැරි උනාට පොඩි එකාගෙ ආසාව නේ කියා හැම මගුලටම හා කියන්න ඕනෑ නැත. එහෙම හා කියා කිව්වත් කිවු පලියට කොරන්ට පුළුවංකමකුත් ඇත්තේ නැත.

වෙන එකක් තියා යැංකි ඩිකී සීයාට ඇල්ටීටී පැංචා වැටි වැටි නැගිටින කාලේ කෝටු මස් කරන්නට ඉඩ නොදුන්නායින් අන්තිමේදී රජතුමා මාමා එන කල්ම චණ්ඩි පාට් දමන්නට ඉඩලැබුණ බව අමතක කොරන්නට හොඳ නැත. ඒ කාලේ ඉඳන්ම ඇල්ටීටීඊ පැංචාගේ කැපකරු පියා විදියට වැඩ කර පළපුරුදු චණ්ඩියන් මාමා තාමත් මේ පැත්තට ඔලුව දමයි. චණ්ඩියන් මාමා මේ එන්නේ රජතුමා මාමාව බය කරගෙන නැති ප්‍රශ්නයක් ඇති කරන්න බව මගේ කල්පනාවය.

ඇතුලේ පුරස්න ටික විසඳාගන්න බැරුව දඟලන චණ්ඩියන් මාමා වටේ පිටේ ගෙවල් වල පුරස්න විසඳන්න ඕනෑ ය කියා දාන චණ්ඩි පාට් දෙවෙනි වෙන්නේ සෑම් අන්කල් මාමාට විතරය. (දෙන්නා හිතවත් නිසා පුදුමෙකුත් නැත.) බලාගෙන ගියාම ලොකු ලොකු මාමලා ඔක්කොටොම ඇත්තේ මේ ලෙඩේය.

සමහර පණ්ඩිත අන්කල්ලාට අනුව ඔක්කොටම පුරස්න වලට මුල පනස් හය ය. ඊට කලින් වෙච්චි සීරියස් වැඩ ගැන පණ්ඩිත අන්කල්ලා නෑසූ කන්ව සිටිති. පනහට පනහ ඉල්ලීම, දෙමළ රාජ්‍ය පක්සය හැදීම වගේ වැඩ කළේ පනස් හය දිවැසින් දැකලා දැයි අපිට හැකේකුත් ඇතිවෙනවාය.

මේවා ගැන කතා කරන එකට අකමැති උදවිය අතීතෙන් දැන් වැඩක් නැතැයි කියමින් පැස්බර වත අනුගමනය කරති. අතීතයේ එල්ලී ගැලවෙන්නට බැරිව ඉන්නේ චණ්ඩි බාප්පලා පණ්ඩිත අන්කල්ලා මිස අප නොවේ. ඒ උදවියට සල්ලි හම්බෙන්නේ පුරස්න වවා ගත් තරමටය. දහතුන ධන ඕනෑ වී ඇත්තේ ඒ සඳහාය.

හුදී ජනතාවට මේ පඬි බයිලාවලින් වැඩක් වෙතැයි සිතිය නොහැකිය. රෑ වැටුණු වල මතක තියන තාක්කල් දවලුත් වැටෙන්නට කැමති වෙනු ඇතැයිද අපි නොසිතමු. රජතුමා මාමා වැඩ කළ යුත්තේ ඒ ජනතාවගේ ඕනෑ එපාකම් සම්බන්ධයෙන් මිස පණ්ඩිත අන්කල්ලාගේ හීන හැබෑ කිරීමට නොවේ. හම්බන්තොට ගැන බලන අතරේම උතුර නැගෙනහිර පළාත් දෙක (එක නෙවෙයි) ගැනත් හිතයොදන එක කීප අතකින්ම වැඩදායක බව අපි හිතමු. උන්නැහෙට ඒ වෙනුවෙන් ප්‍රඥාව පහල වේවායිද පතමු.