Tuesday, June 28, 2011

ශවේන්ද්‍ර සිල්වා රාජවිලාසිතාවට වැඩේ දෙයි

සුද්දංගෙ චැනල් 4 වාහිනියෙං ලඟදි එලියට දාපු චිත්තරපටිය ගැන පහුගිය දවස් ටිකේ ලොකු හාහූවක් තිබුණ. මේ අලුත් චිත්තරපටිය මං හිතන්නෙ කලිංවතාවල එලියට දාපු හැම එකටම වඩා දිග මිනිත්තු 50ක විතර එකක්. එව්වයෙ තිබිච්චි කෑලිත් එකතු කරගෙන මේක හදාපු බවයි දැනගන්න තියන්නෙ.

-----------------------------------------------------------------------------------------------


-----------------------------------------------------------------------------------------------

අපේ ප්‍රබුද්ධ, මධ්‍යස්ත, උගත් බුද්දිමත් බ්ලොග් ලියන්නො/ලියන්නියො එහෙමත් මේක ගැන තමංගෙ අදහස් උදහස් දක්වලා තිබුණා. එව්වයිං වැදගත් කියල හිතිච්ච එකක් දිහා පොඩ්ඩක් බලන්න මම කල්පනා කළා.

ඒ තමා ජාත්‍යන්තරේ ගැන ජඹුර අදහස් පළකරන (අපිටත් ප්‍රතිචාර වලිං සහයෝගය දෙන) බුවා කොලුවගෙ විග්‍රහය. කොලුව මෙතෙන්දි වැදගත් කාරණාවක් කියල තිබුණ. ඒ කියන්නෙ අර කිමුන් ආතගෙ වාර්තාවයි C-4 විඩියෝ එකයි බද්ධවෙලාය කියන එක. හැබෑ නේන්නං ඇත්තටම පළවෙනි එකට සාක්කි විදියට තමා දෙවෙනි එක හදල තියන්නෙ. එතන තියෙන්නෙ බරපතල් බද්ධවිල්ලක්.(ඕකට ඉංගිරිස් ආණ්ඩුව, යැංකි ආණ්ඩුව වගේ සාධකත් බද්ධවෙලා තියනවාද කියල හොයල බලන්න වටිනවා!) පලවෙනි එකෙන් යුද අපරාද ගැන සාක්කි හොයන්න ඕන කියන කොට දෙවෙනි එක දාල කියනවා මෙන්න සාක්කි කියල.

ඊලඟට කොලූ කියන්නෙ මේ විඩියෝ ගැන එක්කො ආණ්ඩුව විමර්ශනේකට යන්න ඕන නැත්නම් ඒක බොරු කියල ඔප්පු කරන්න ඕනාය කියල. තවම ලංකාව යටත්විජිතයක් කියල හිතාන ඉන්න ඉංගිරිස් ආණ්ඩුව වගේ නොවී මෙතෙන්දි කොලූ ලංකාවෙ ආණ්ඩුවට අඩු තරමෙ විකල්ප දෙකක් දෙන එක ගැන මගේ ඉස්තුතිය පිළිගන්වන්න ඕන!

ආණ්ඩුව රාජතාන්තිරික නොවීම ගැනත් චෝදනාවක් එල්ල වෙනවා. රාජතාන්තිරික වෙනවනම් කරන්න ඕන කොහොමද කියන එකත් රාජ ඉස්ටයිල් දන්න මහ දැනමුත්තො ඔය අතරෙම ලිවුවා නම් තමා හොඳ. අපි වගේ නොදන්න බයියන්ටත් දැනගන්න. දැනට මං කියෝල අහල කරල තියන විදියට උපවාස,උද්ඝෝෂණ, විරෝධතා කිරීම, අනවසරයෙන් ඇතුල්වීම රාජතාන්තිරික වැඩ නොවෙයි. මට පොඩි සැකයක් තියෙනවා ශවේන්ද්‍ර මහත්තයගෙ බලෙන් කඩාපැනීමත් ඒ ගොඩටම වැටුනාදෝ කියල. එහෙම වුණානම් ඉතින් ඒ උත්සාහය ඔක්කොම වතුරෙ නෙව? මොකද ලංකාවෙ බොහො දෙනා හිතනවා ශවේන්ද්‍ර මහත්තයගෙ මැදිහත්වීමෙන් C-4 විඩියෝ එකට හරි පිළිතුර ලැබුණාය කියල. වැරදිලාවත් රාජ්‍යතාන්ත්‍රික නොවීම නිසා ඒ වැඩේ ගඟට කපාපු ඉනි වගේ උණා නම් වස වැරැද්දයි නේ. මේක හරියට කියන්න පුළුවන් අපේ රාජ්‍යතාන්ත්‍රික විසේසඥ බ්ලොග්කාරයංටම තමයි.

කොහොමහරි යැංකින්ගෙ රටේදි ඇන්ජීඕ සංවිදාන වලිං පවත්වාපු චිත්තර පටි දැක්මට බලෙන් ඇතුල් වෙලා ශවේන්ද්‍ර සිල්වා මහත්තය ඒ කෙහෙල්මලේ තිබුණ බොරුව එලිදරවු කරාපු බව අපිට දැනගන්න ලැබුණ. උන්නැහෙට අපේ ආචාරය පුදකරන්න ඕන මේ විදියට බය නැතුව වැඩ කිරීම ගැන. 58 වෙනි සේනාංකය අරං ගිහින් වන්නි මෙහෙයුමේ ලොකු වැඩකොටසක් කරාපු මහත්තයෙක්. මෙතෙන්දි පෙනුන දේ තමයි උන්නැහෙගෙ කතාවෙන් ඔප්පු වෙනවා මේ විඩියෝ චිත්තර පටියෙන් වැඩිහරියක් හිතාමතා කරුණු විකෘති කරල ලංකාවට මඩගහන්න හදාපු එකක් බව. ඒ කරුණ එතන හිටපු රාජතාන්තිරික, ඇඟෙන් දේසපාලනේ නොකරන (මොලෙං කරනවා කියල කියන) උදවියට ඒත්තු ගැන්වුන බවයි අහන්න ලැබුණෙ.

දැන් පුරස්නෙ තියන්නෙ හිතාමතා බොරුකීමට හදාපු විඩියෝ පටියක් අර රාජතාන්තිරික බාවයෙන් යුතු තර්ක බුද්දිය එහෙම ඇති උදවිය පිළිගනීවිද කියන කාරණේ. මට හිතෙන්නෙ නම් ශවේන්ද්‍ර මහත්තයගෙ කරුණු දැක්වීමෙන් අනතුරුව ඒ විදියට පිළිගන්න බෑ. අපිට වැරදුනාවත්ද දන්නෙ නෑ නෙ. කොයි එකටත් විසේසඥ මතය අහන එක හොඳ නෙව. මේ රාජතාන්තිරික උදවිය කටයුතු කරන අපිට නොතේරෙන විදිය ගැන බුවා කොලුව, W3 සයිඩර් මාමා, පාපිසි මහත්තය හෝ වෙනත් දැනුං තේරුං තියන උදවිය වෙනම ලිපියකින් හරි කෙටි පැහැදිලි කිරීමක් කරන්න කියල මං ඉල්ල හිටින්නෙ ඒකයි. (අඩු තරමෙ ශවේන්ද්‍ර මහත්තය කරපු වැඩේ රාජතාන්ත්‍රිකද නැත්ද කියන එකවත්)

ඩිප්ලෝමැටික්ස් පොරවල් සහ පොරියවල් තර්ක බුද්දියම පාවිච්චි කරනවාද? එහෙම නැත්නම් ඉඳහිට වත් හැඟීමට වහල් වෙලා තීන්දු ගන්නවාද? නැත්නම් ඒක වෙන වෙන දේවල් මත රඳා පවතිනවාද? කියන කාරණා පොඩ්ඩ්ක් පැහැදිලි මදි. එහෙමත් නැත්නම් ශවේන්ද්‍ර මහත්තයට තියන බව පේන තරම් තර්ක බුද්දිය ඒ උදවියට නැතුවා කියල හිතන්න ටිකක් අමාරුයි. බුද්දිය රටෙං රටට විචලනය වෙනවාද කියන්නත් බෑ. යැංකිංගෙ රටේ මොකක්හරි අවුලක් නිසා එහෙම වෙනවාද වගේ එව්ව නම් සපිරෝ නෝනෙගෙන් ඇහුවත් කියාවි. කොහොම වෙතත් තර්ක බුද්දිය පාවිච්චි කොරනවානං ආයිත් C-4 විඩියෝ එක සාක්කියක් වෙන්න හැටියක් නෑ. මොකද ඒකෙ විසාල වසයෙං මුසාවාද තිබීමෙන් අපක්ෂපාතී බවට කෙලවෙලා යනවා. ඒ වගේ එව්ව සාක්කි විදියට උසාවියකට දැම්මොත් නොමග ඇරියාය කියල හිරේ යන්න වෙනවා.

හැඟීමට වහල්වෙනවා කියල ගත්තොත් නම් ඒක ඊනියා රාජතාන්තිරික බාවයට ගැලපෙනවාද කියන කාරණේ පුරස්නයක් විදියට ඉතුරු වෙනවා. එහෙම නැත්නම් සමහරක් තැන්වලදි විතරක් තර්ක බුද්දිය දානවා නං ඒ තැං හොයාගන්නෙ මොන විදියටද කියල පෙන්නල දෙන්න වෙනවා. විරෝධතා උද්ඝෝෂණ වලදි ඉස්සරහට එන්නෙ හැඟීම කියන එක ගැන මං හිතන්නෙ වාදයක් නෑ. අනේ රාජතාන්තිරික අපබ්‍රංස අපිට තේරෙන්නෙ නැති හැටිද මන්දා.

ප.ලි:
තව පොඩ්ඩෙං මග ඇරෙනවා වැදගත් කාරණයක්. ශවේන්ද්‍ර මහත්තය ඉන්න රූපරාමු තියෙනවාලු අර ඉලවුවෙ. ඒ මදිවාට ඒකෙ ඉහල නිලධාරියෙකුට ඉන්නෙත් ඒ මහත්තය විතරයි කියනවා ගෝඨාභය මහත්තයයි මහින්ද මහත්තයයි ඇරුණාම. අනිත් හැමෝම ඉහල නිලධාරියො ඇරල ශවේන්ද්‍ර මහත්තයවම තමයි මේකටත් තෝරගෙන තියෙන්නෙ. ඔන්න එතකොටම මගේ මතකයා කෑගහනවා ෆොනී මහත්තයගෙ සුදුකොඩි කතාව කියල. ඒ කතාවෙත් ශවේන්ද්‍ර මහත්තයගෙ නම තියනවා. (ශවේන්ද්‍ර මහත්තය වගේම ඉස්සර ගෝඨාභය මහත්තයත් ගජබා රෙජිමේන්තුවෙ කියල එකක් මට ඇහිල තියනවා ඇත්තද මන්දා) මේ කතන්දර ඔක්කොම එකට බද්ධ වෙවී බද්ධ වෙවී යන විදියෙත් හරිම කාලකණ්ණි ගතියක් තියෙනවා නොවැ. හ්ම්හ්!

Wednesday, June 15, 2011

මිහිඳු මහරහතන්වහන්සේ ඉන්දියන් කිරීමට හැකිද? (2)

මේ ලියුම කලින්ම දාල තියන්නෙ පොසොන් පෝය දාට එලිදැක්වෙන්න. කියන්න බෑ නෙව එතකන් පණ තියේවිය කියල! අපේ බුදුහාමුදුරුවො ශ්‍රාවකයන්ට කිව්වෙ ජීවිතේ කොයි මොහොතෙ කෙලවර වෙයිද කියන්න බෑ. ඒ නිසා නිතර මරණය මෙනෙහි කරන්න කියලයි.

මිහිඳු හාමුදුරුවෝ ඉන්දියන් නොවේය කියල කලිං ලිපියක කියාපු කතාව සමහර කෙනෙකුට විකාරයක් වගේ පේනවා ඇති. මේ කාරණේ වැදගත් නිසා තව ටිකක් විස්තර ඇතුව බලමු.

මෙතනදි කවුරුත් අහල තියෙන දේ තමා අතීතයෙ දඹදිව කියා හැඳින්වුවෙ අද ඉන්දියාව කියා හඳුන්වන භූමිය කියන එක. කොහොම උණත් දඹදිව ඉන්දියාවටත් වඩා විසාල ප්‍රදේශයක් කියන එක තමා සමහර පොතපත බැලුවාම හිතන්න වෙන්නෙ.

කොහොමිං හරි කාරණේ පැහැදිලිවෙන්න අපි පොඩි උපමාවක් ගනිමු. ඔන්න අපේ අල්ලපු ගෙදර ඉන්නවා පවුලක් පෙරේරා කියන වාසගම තියෙන. පෙරේර ජෝඩුව වයසයි (වල පයයි ගොඩ පයයි කියල කතාවට කියන්නෙ) පවුලෙ බාල දරුව ඇර අනිත් එවුන් බැඳල වෙං වෙලා ගිහින්ය කියමුකො. ඉතින් අපේ ගෙදර උදවිය ඒ ගෙදර හඳුන්වන්නෙ පෙරේර මහත්තයලගෙ ගෙදර කියල වත්ත පෙරේර මහත්තයගෙ වත්ත කියල. මේ පවුලෙ බාල දරුව පවුලෙ අනිත් අයවගේ නෙවෙයි ටිකක් මරුමුස් නාස්තිකාර එකෙක්. මිනිහා ගෙදරිනුත් අකමැති කසාදයක් එහෙම බැඳගන්නවාය කියල කියමු.

ඔහොම ඉන්නකොට පෙරේර ජෝඩුව මිය යනවාය කියල හිතමුකෝ. දැං පොඩි පෙරේරා කරන වැඩේ තමංගෙ ගේ තියෙන ඉඩමෙං කෑලි කීපයක් සල්ලි උවමනාවකට විකුණල දාන එක. ඉතිං දැං ඉස්සර පෙරේර මහත්තයගෙ වත්ත කියල හඳුන්වාපු කොටස් ඔක්කොම එහෙම හඳුන්වන්න බෑ. මොකද එව්වයිං කොටස් වෙන වෙන උදවියටත් අයිති වෙලා තියෙන හින්දා. පාලනේ වෙනස් වෙලා ගිහිං.

දැන් ඉන්දියාවයි දඹදිවයි ගත්තාමත් එකයි කියල ගත්තට දේසපාලනේ වගේ ගත්තාම විසාල වෙනසක් තියෙන "රටවල්" දෙකක්.

පැරණි කාලෙ දඹදිව තිබුණාය කියන්නෙ සොළොස් මහ ජනපද.



වැදගත් කාරණේ පැරණි කාලෙ මේව ඔක්කොම එක රටක් නොවෙයි. වෙන වෙන දේසපාලන ඒකක. වෙන වෙන පාලකයො වගේම සමහර පාලන ක්‍රම උණත් වෙනස්. මීලඟට අශෝක අධිරාජයගෙ කාලෙ වෙද්දි මේව ඔක්කොම තමංගෙ අණසකට යටත් කරගන්න මෞර්ය පෙළපතට හැකිවුණා. හැබැයි එයිං පස්සෙ නැවතත් ඒක කැඩිල ගියා. ඔය විදියට එක එක පෙළපත් වල උදවිය තමංගෙ බලය පතුරවපු කාල "ඉන්දියන්" ඉතිහාසෙ තියෙනවා. මේව ඔක්කොම අද හඳුන්වන්නෙ ඉන්දියන් ඉතිහාසය හැටියට තමයි (ඔය උඩ තියෙන රූපෙත් තියෙන්නෙ ඒ විදියට). එහෙම උණාට එතනදි කෙරෙන්නෙ අද තියෙන ඉන්දියාව අතීතයට ආරෝපණය කිරීමෙන් යංකිසි විදියට සාමාන්‍යකරණයක් කිරීම.


සුද්දො තමංගෙ පාලනය අරගෙන ගියේ ඉන්දියාවයි පකිස්තානෙයි බංගලිදේසෙයි තවත් කොටස් ගණනාවකුයි ඉන්දියාව කියන තනි ඒකකයක් විදියට අරගෙන. ඔය උඩ තියන රූපෙ ඒ තනි "රට" පෙන්නුං කරනවා. දැං කවුරුවත් කියන්නෙ නෑ මිහිඳු හාමුදුරුවො බ්‍රිතානි-ඉන්දියාවෙන් ආවය කියල මොකද කියනවානම් ඒක කෙටිකාලීනව පැවතිච්චි දෙයක් කියල හිතනවා. නමුත් ලේසියෙංම වරදවා ගන්නවා උන්වහන්සෙ ඉන්දියාවෙං ආපු ඉන්දියානුවෙක්ය කියල. නමුත් අර ගාථාවෙන් උන්වහන්සෙම කියන්නෙත් දඹදිව ඉඳන් ආවය කියලයි. ඉන්දියන් ජාතිකත්වයක් නොතිබිච්චි කාලයක් සම්බන්ධයෙන් උන්වහන්සෙ ඉන්දියානුවෙක් විදියට ගැනීම හරි මදි බවයි පේන්නෙ. 

අද වෙනකොට ඉන්දියානු ජාතිකත්වයක් තියෙනවා නෙව. ඉන්දියානුවො අශෝක අධිරාජයා ගැන ගොඩක් ලොකුවට හිතන හේතුවත් සුද්දන්ගෙ ඉන්දියාවට බොහොම කිට්ටුවෙන් ගිය රටක් හදාගන්න හැකි වුණේ එතුමාට නිසාය කියන එකයි මගේ කල්පනාව. අනෙකුත් පෙළපත්වල උදවිය වෙනස් වෙනස් කොටස් වල බලය පතුරුව ගත්තා. ලංකාවත් එක්ක ඕක සංසංදනය කරල බලන්න පුළුවන්. තනි දූපතක් වගේම ඉන්දියාව තරං විසාල රටක් නොවෙච්චි ලංකාව ඉතිහාසෙ වැඩි වසයෙං පාලනේ උණේ තනි රටක් විදියට. 

අනිත් පැත්තෙන් ගත්තාම ඒ කාලෙ දඹදිව බලවත්ව තිබිච්චි බුද්ධ සාසනෙත් අද වෙනකොට නැතිගානයි. අද ලංකාවට බුද්ධාගමට වැදගත් තැනක් නැති ඉන්දියාව ආගන්තුකයි. මේ තත්වය පැරණි මගධයත් එක්ක නැත්නම් අවසාන කාලෙ දකුණට වෙන්න තිබුණු පළාත් එක්ක උණත් සසඳල බැලුවාම වෙනස පේනවා. අපි "ඉන්දියාව" දිහා බලන්නෙ අපේ පැත්තෙං එතකොට අපත් සමග සබඳකම් තිබුණු දඹදිව අද තියෙන ඉන්දියාවෙන් හත්පසිං වෙනස් කියන එකයි පේන්න තියෙන කාරණේ. අද වෙනකොට තියෙන්නෙ බෞද්ධ සංස්කෘතියට තැනක් නැති හින්දු සංස්කෘතිය බලවත් වෙච්චි ඉන්දියාවක්. අර සමහර නූතනවාදීන් අතින් තොරොම්බල් කෙරෙන මුම්බායිකරණය ඒකත් එක්ක අත්වැල් බැඳගෙන යන බව පේනවා.

දැං ආයෙත් පෙරේරලගෙ කතාවට ආවොත් එහෙම මේ මනුස්සයාගෙ ගෙදර වලි. අහල පහල ගෙවල් එක්කත් හොඳ මදි. බීගෙන ඇවිත් ගෙදර රණ්ඩු සරුවල් කරගන්නවා. මහ රෑට බජවු දාගෙන නින්දත් නැති කොරනවා කියල හිතන්න. ඉතින් ඔහොම යනකොට මේ ගෙදරට මිනිස්සු කියනවා "යකා ගෙදර" කියල. ගේ "පෙරේර මහත්තයලගෙ ගෙදර" උණාට මොකද දැන් ඒකට එහෙම කියන්නෙ නෑ.

මං කියන්නෙ නෑ ඉන්දියන් කාරයො කියන්නෙ යක්කුය කියල. නමුත් ඉන්දියානුවෙක් කිව්වාම මගෙ හිතට එන ප්‍රතිරූපය මිහිඳු හමුදුරුවන්ට යොදන එක හරිම අපහසුයි. හරියට නිකන් අර "යකාට" පෙරේර මහත්තය කියන්න බැරුවා වගේ. ප්‍රාථමික පංතිවල හිටපු කාලෙත් ඔය පුරස්නෙ මගෙ හිතේ නොතිබුණා නෙවෙයි. එහෙම හිතෙන්න මෑත ඉතිහාසයත් බලපාන් ඇති.