Saturday, May 28, 2011

දේශප්‍රේමියෝ සහ දේශද්‍රෝහියෝ

දේශප්‍රේමියා සහ දේශද්‍රෝහියා වගේ වචන මෑතකාලෙ දේසපාලනේදි හරි හරියට අහන්න ලැබෙනවා නෙව.

මහින්ද මහත්තයා එක සැරයක් කතාවකදි කිව්වා අද දේශප්‍රේමියා හෙට දේශද්‍රෝහියෙකු වෙන්න පුළුවන්ය කියල. ඒ කතාව නම් ඇත්ත. එතෙන්දි උන්නැහෙ ඇඟෙවුවෙ ෆොනී මහත්තයාව වෙන්ට ඕන. උන්නැහේ ඒ කාරණේ මොන විදියෙං හිතල කිව්වත් මට මෙතෙන්දි ඕන කරන්නෙ ඒ ගැන පොඩි හාර අවුස්ස බැලීමක් කොරන්ට.

දේශප්‍රේමය කියන වචනේ ගත්තාම ඒකෙ කෑලි දෙකක් තියෙනවා නෙව. එකක් තමා දේශය. අනික ප්‍රේමය. දේශය කියන එක ටිකකට පැත්තකින් තියල පුරස්නෙ දිහා බැලුවොතිං අපිට පේන දේ තමා ප්‍රේමය කියන එකත් යංකිසි විදියක මානසික ධර්මතාවයක්. ආයතන හයෙන් මනසට ගෝචර වන යමක් තමා ප්‍රේමය. ලෝකය පංචේන්ද්‍රියන්ගෙන්ම දැනගන්ට ඕනාය කියල එකක් අපිට නෑ නෙව. අපේ සම්ප්‍රදායෙ මනස හරි වැදගත්.

එතකොට ප්‍රේමය කියන එකත් යම් කිසි විදියක බැඳීමක්. තමංගෙ රට, ජාතිය සහ සිංහලයන්ට නම් බුද්ධ සාසනෙත් ඇතුලුව තියෙන මේ දේවල් කෙරෙහි යංකිසි විදියක ඇලීමක් සහ බැඳීමක් තියෙනවා නම් ඒක තමයි සම්ප්‍රදායේ එන දේශප්‍රේමය. සමහරු තමංගෙ දරුවන්ට දේශප්‍රිය වගේ නමුත් දානවා නෙව. හැබැයි එහෙම දාපු පලියටමත් කෙනෙක් දේශයට ප්‍රිය වෙන්නෙ නෑ.

ඉතින් සමහරක් උදවිය නගන පුරස්නයක් තමා දේශප්‍රේමය තෘෂ්ණාවක් නොවේද කියන එක. ඒක ගැන ලොකුවට තර්ක කරන්ට පුළුවං තමයි. පුහුදුන් මිනිහෙක් ගත්තාම තියෙන ලොකුම පුරස්නේ මේ ඇලීම. ඉතිං කිසිම ඇලීමක් නැති ආශ්‍රවයන් ක්ෂය වූ රහතන්වහන්සේලාගේ චරිතාපදාන අපි අහල තියෙනවා නෙව. උන්වහන්සේලා මන්දෝත්සාහී හුදෙකලා චරිත නොවෙයි කියන එකයි අපිට පේන්න තියෙන්නෙ. අඩුතරමිං බුද්ධසාසනේ ආරක්ෂාව වෙනුවෙන් උන්වහන්සේලා කටයුතු කළා.

ඒ නිසා සාසනේ නගාසිටුවන්න සහ ඒකට උපකාර වන විදියට රට ජාතිය නගාසිටුවන්න යමෙක් කටයුතු කරනවා නම් ඒක නරක වැඩක්ය කියල බැහැර කරන්න අපි කුහක වෙන්න නරකයි. අනිත් පැත්තෙන් බැලුවාම මේ ප්‍රශ්න නගන බොහෝ දෙනා මමත්වය දුරු කරගත්තු වාද ඉවතලාපු ආධ්‍යාත්මික පරමාදර්ශ නොවෙයි. ඉතින් ඒ උදවියටත් නොයෙක් නොයෙක් විදියෙ ඇලීම් බැඳීම තියෙනවා. මගේ අදහස නම් ආත්මප්‍රේමය තරම් බලවත් ඇලීමක් නෙවෙයි දේශප්‍රේමය. අනිත් පැත්තෙන් සමූහයක් වෙනුවෙන් යම් කිසි කැප කිරීමක් කරන්න පුළුවන් වෙන්නෙ මමත්වයත් සෑහෙන්න අඩු කරගත්ත මිනිහෙකුට. එහෙම තියෙද්දි කෝ ඔයගොල්ලො අපි වගේ නෙවෙයි ඇලිලා නේ ගැලවෙන්න කෝ කියල බයිලා දෙසා බාන එක නම් මෝඩ වැඩක්ය කියන එකයි අපට කියන්න තියෙන්න.

හොඳයි ආයෙත් එමුකො කලින් කතාවට. දැන් ප්‍රේමය කියන එක මානසික ධර්මයක් කියල ගත්තාම අපිට ධර්මයේ ආලෝකයෙන් පේන දේ තමයි මේකත් ලෝක ධර්මයට යටත් එකක්ය කියන කාරණාව. ඒ කියන්නේ මේවත් වෙනස් වෙන දේවල් තමයි. මිනිස්සු ගත්තාම යම්කිසි කරුණක් සම්බන්ධයෙන් එකම මතය හැමදාමත් දරන්නෙ නෑ. රට ගැන තියෙන හැඟීම කලින් කලට වෙනස් වෙන්න පුළුවන්. පිහිටල තියෙන පදනම දුර්වල නම් ලේසියෙන් වෙනස් වෙන්න පුළුවන්.

මේ කාරණා නිසා කෙනෙක් රට සම්බන්ධයෙං ගත්තාම ඉන්නෙ කොතනද කියන එක වෙනස් වෙනවා.දැන් කවුරුහරි කියන්න පුළුවන් මේ සංකල්ප වලින් වැඩක් නෑය මොකද හරියට අර්ථයක් දෙන්න බෑ කියල. ඒකට නං මං දෙන්නෙ සරල පිළිතුරක්. පිළිතුරක් කිව්වට මේක පුරස්නයක්. ප්‍රේමය, වෛරය වගේ එව්වත් අර්ථදක්වන්න පුළුවන්ද? බැරි නම් එව්ව නැත්ද? යමක් වාක්‍ය කීපෙකින් අර්ථදක්වන්න නුපුළුවං වීම නැති බවට සාක්ෂියක් නෙවෙයි.

දැං ෆොනී මහත්තයා ගත්තාම උන්නැහෙ ද්‍රෝහියෙක් බවට පත්වෙන්නෙ කොහොමද කියන එක හුදෙක් ආණ්ඩු විරෝධියෙක් වීමෙං නිගමනය වෙන්නේ නෑ.  උන්නැහෙ ආණ්ඩුවෙන් ඉවත් වෙලා ගිහිං අත්වැල් අල්ලගත්තෙ දේශද්‍රෝහී ලේබලය හොඳට ඇණ දාලා අල්ලගෙන හිටපු පිරිසක් එක්ක. උන්නැහෙ සුදු කොඩි කතාව වගේ එව්ව කීමෙන් පස්සෙ ඉතුරු වෙලා තිබුණ යං කිසි ගරුනම්බුවක් තිබුණා නම් ඒකත් නැති වුණා.

එහෙම වෙනකොට මහින්ද මහත්තයව බලයට ගේන්න වැඩකරපු දේශප්‍රේමී බලවේග විසින් මතවාදී රාමුවක් ඇතුලෙ තමයි ඒ ඒ පුද්ගලයාගේ තැන කුමක්ද කියල නිගමනය කරන්නෙ. මේකෙන් අදහස් වෙන්නෙ නෑ මහින්ද මහත්තය සර්ව සම්පූර්ණ දේශප්‍රේමී ප්‍රති මූර්තියක්ය කියල. නමුත් ෆොනී මහත්තයා හිතුවෙ නෑ මෙතෙන්දි දේශප්‍රේමී බලවේග දිනාගෙන මිසක් දේශප්‍රේමියෙක් විදියට කරලියට එන්න අමාරුය කියන කාරණේ. ඒ නිසා කිරි කළයක් දොවල ගොම බිංදුවක් එකතු කළා වගේ උන්නැහෙගෙ දේශප්‍රේමය විනාස වෙලා ගියා.

ඒ නිසා දේශප්‍රේමී වෙන එකත් ලේසි නෑ. ක්‍රමේකට යන්න ඕනා. හදිස්සියට කරන්න බෑ.

Saturday, May 14, 2011

බින් ලාඩන් ගෙදරින් අසැබි චිත්‍රපටි හමු වීමත් සමග...

"බින් ලාඩන් ගෙදරින් අසැබි චිත්‍රපටි හමු වීමත් සමග ඇමරිකානු දේශපාලනය වඩාත් උණුසුම් මුහුණුවරක් ගෙන ඇතැයි අපක්ෂපාතී නිව්යෝර්ක් ටෛම්ස් පුවත්පත පවසයි. මෙම සිදුවීම ඔබාමා මහතාගේ දේශපාලන අනාගතය කෙරෙහි බලපෑමක් ඇතිකළ හැකි බව නවතම ජනමත සමීක්ෂණයක් පෙන්වාදෙයි.

බින් ලාඩන් ඝාතන ක්‍රියාවලිය පිළිබඳව විවිධ පාර්ශවයන් සැක මතුකරමින් සිටින අවස්ථාවක සිදුවූ මෙම හෙලිදරව්වුව ඝාතනයේ සැබෑ වගකිව යුත්තන් පිළිබඳව අලුත් හෝඩුවාවක් බවද
මධ්‍යස්ථ ඇමරිකන් දේශපාලන විශ්ලේෂකයන් කිහිප දෙනෙකුම පවසා ඇත.

මීට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ පසුගිය කාලයේ ශ්‍රි ලංකාවේ සිදුවූ මීට සමාන සිදුවීමකි. ඔවුන්ගේ මතයට අනුව මේ ආකාරයේ ඝාතන, කඩාවැදීම් සහ බියගැන්වීම් සිදුකර පලායාමේ දක්ෂ මැරයින්(marine) කණ්ඩායමක් ශ්‍රි ලංකා ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වේ. මෙම කණ්ඩායම විසින් යම් අපරාධයක් කළපසු පීඩිතයාගේ නම කෙලෙසීම සඳහා අසැබි චිත්‍රපටි වැනි දේ දමා යාම සිරිතක් බවත් මේ කරුණින් ඝාතනයේ වගකීම එක්සත් ජනපද වල සීල්(seal) කණ්ඩායමට නොව ලංකාවේ මැරයින් කණ්ඩායමට හිමිවියයුතු බවද පැවසේ. තවද ඝාතනයේ කිසිදු සාක්ෂියක් හෝ අඩුම තරමින් මියගිය පුද්ගලයාගේ ඡායාරූපයක්වත් ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මාධ්‍ය වෙත නිකුත් නොකිරීමද මෙයින් පැහැදිලිවෙයි. සිදුවී ඇත්තේ මැරයින් කණ්ඩායම ඝාතනයෙන් පසු මළසිරුරත් රැගෙනම අතුරුදහන් වීමයි.

බින් ලාඩන් ඝාතනයෙන් පසුතැවිල්ලට පත්ව සිටි ඇමරිකානු ජනතාවට මෙම පුවත අස්වැසිල්ලක් ගෙනදෙනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි.

මේ අතරම ශ්‍රි ලංකාවේ ඇමරිකන් තානාපති ධුරය දැරීමෙන් විශිෂ්ට සේවයක් කොට ඇමරිකාවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳව සහකාර ලේකම් ධුරයට උසස් වීමක් ලද රොබර්ට් ඕ බ්ලේක් මහතාගේ හදිසි ශ්‍රි ලංකා සංචාරය පිළිබඳව නැගුනු චෝදනා සියල්ලම මෙයින් නිෂ්ප්‍රභාවන බවද ඔවුහු පවසති. එහිදී බ්ලේක් මහතාගේ අරමුණ වී ඇත්තේ මතබේදයට තුඩුදී ඇති දරුස්මාන් වාර්තාව පිළිබඳව ශ්‍රි ලංකා රජයට අවවාද කිරීම නොව ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී වසර දහයක් තිස්සේ සොයාගැනීමට නොහැකිවූ බින් ලාඩන් ඝාතනය කර දීම පිළිබඳව ස්තුති කිරීම බවත් නිරීක්ෂකයෝ පෙන්වාදෙති. (මෙම සංචාරයේදී දෙමළ ජාතික සංධානයට- TNA - බ්ලේක් මහතා විසින් තරයේ අවවාද කර ඇත්තේ රජය සමග සහයෝගයෙන් කටයුතු කරන ලෙසය)

මෙහිදී අදහස් දැක්වූ ලංකාවේ තිබෙන ඉතා ස්වාධීන මාධ්‍යයක් වන චී නිවුස් ප්‍රකාශකයෙක් මෙම මතය නිවැරදි බව තමා තරයේ විශ්වාස කරන බවත් බ්ලේක් මහතාගේ සංචාරය පැහැදිලි කළ හැකිවීම මතයේ නිවැරදිභාවය පිළිබඳ අමතර සාක්ෂියක් ලෙස ගත හැකි බවත් පැවසීය.

ඇමරිකන් කණ්ඩායමේ ගුවන් යානයක් නිකරුණේ විනාශවීමට හේතුව කිසිදු පෙර සූදානමක් නැතිව ලංකාවෙන් පැමිණි දුරකථන ඇමතුමත් සමග මෙම ස්ථානය වැටලීමට යැවීම බව දැන් හෙලිදරවු වී තිබේ.

මේ අතර ඔබාමා මහතාගේ නැග එමින් තිබූ ජනප්‍රියත්වය රාජපක්ෂ සමාගම විසින් පැහැරගෙන......"

- මෙම වාර්තාව නිව්යෝක් නගරයේ විශේෂ වාර්තාකරුවෙකු විසින් විකිලීක්ස් වෙත යවද්දී බැරිවීමකින් පොඩිගමයාට ලැබුණි.

Tuesday, May 10, 2011

කිමුන් ආතාට උදවු කිරීමට අතිමානුෂික පොරවල්වලට අවස්ථාවක්

කිමුන් ආතාගෙ වාර්තාව ගැන උනන්දුවෙන උදවිය මූලික වසයෙං ගත්තාම ගොඩවල් දෙකකට දාන්න පුළුවංය කියන එකයි මගේ නං කල්පනාව. එක කට්ටියක් තමා කිමුන් ආතගෙ වාර්තාව එලියට දානකං දතකට මැදගෙන බලාහිටපු අතිමානුෂික පොරවල් සහ පොරියවල්. ඒ කට්ටිය දැං පස්වනක් පිරීතියෙං පිනා ගිහිං දමාගෙන ලියනවා වාර්තාවෙ වටිනකම ගැනයි ඒකෙ ජාතකේ හොඳකම ගැනයි ඒකට ප්‍රතිචාර දක්වන්ට ඕන(රාජතාන්ත්‍රික) ක්‍රමේ ගැනයි ආදී වසයෙං.

අනිත් පිරිස කිමුන් ආතට අකමැති උන්දැගෙ වාර්තාවට විරුද්ධ රාජතාන්ත්‍රික වැඩකටයුතු ගැන දැනුමක් තේරුමක් ඇති අර පඬිතුමාලට වගේ බුද්දිමහිමයත් නැති හුදී ජනතාව. මං දැක්ක ඒ වගේ ජනතාවගෙන් හුපදේසක කමිටුවේ වාර්තාවට විරුද්දව පෙත්සමක් හදන්න ආණ්ඩුව වැඩ කරනවා. මෙතෙන්දි ආණ්ඩුව ජනතාවගේ බුද්දියට ආමන්ත්‍රණය නොකර හැඟීම් අවුස්සල අස්සං හොරාගන්නවා වගේ කතාවක් තමා "පාපිසි" පඬිතුමා එහෙම කියල තිබුණෙ. මොනව කරන්නද ඉතින් ජනතාවට ඔහේලට වාගෙ බුහ්දියක් නෑ නෙව? නැති බුහ්දියට කොහොමෙයි ආමන්ත්‍රණේ කොරන්නෙ?

ඒ කොයි හැටි වෙතත් ඊනියා උපදේසක කමිටු වාර්තාව සම්බන්දයෙං ප්‍රතිචාර දැක්වීමේ අමනකම ආණ්ඩුව නොකරාවි කියන එක තමා මගේ නං බලාපොරොත්තුව. බොරු ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් දෙන්නෙ නැතුව ඒ පාරෙන් යන්න පුළුවන් කමක් නැති බවයි පේන්නෙ.

පඬිතුමාලට අනුව මෙතෙන්දි ත්‍රස්තවාදී විසේසඥ මහචාරියතුමා වගේ උදවිය විතරයි කියනවා රාජතාන්ත්‍රික ක්‍රමේට වැඩ කරන්නෙ. උන්නැහෙ මේක වැරදියි කියල ආතට ලියුම් ලියනව වගේ පේන්නෙ. මගේ නං අදහස උන්නැහෙල මේ මලදානෙට විරුද්දව කිමුන් ආතට ලියනවාට වඩා හොඳයි ඒ ලියන අත කටේ දාල හයියෙං හපාගන්න එක. අර නලින් මහත්තය කියල තිබුණ අපිත් එක්ක හිතවත්කං තියෙන රටවල් වලට මේ අවනඩුව කියන එක තමයි හරි වැඩේ කියල. අන්න එහෙම දෙයක්වත් කරා නං දෙලොවටම හොඳයි කියන එකයි මටත් හිතෙන්නෙ.

දැං එන්නෙ මේ කතාවෙ දුක හිතෙන හරියට. වාර්තාව ඇවිල්ල ඉතිං අපක්සපාතී, මධ්‍යස්ත, වෘත්තීය (හරියට කොටිරාජාවාහිනියෙ නිවුස් වගේ) එකක් නිසා මේකෙ කොටි විසින් කොරාපු මානව හිමිකං කඩකිරීමේ වැඩ එහෙමත් හරි හරියට තියෙනවා නෙව.

හැබැයි කිමුන් ආත අමාරුවෙ වැටිලයි ඉන්නෙ වාර්තාවෙ පිටපතක් යවන්න කොටිංගෙන් වගකිවයුත්තෙක් හොයාගන්ට බැරුව. ඇයි ඉතිං පහුගිය තිස් අවුරුද්දක් විතර තිස්සෙ ඔන්න වාර්තා හැදුවා නං නිකමට හරි සොල්හයිං උන්නැහැ අතේ යවන්ට තිබුණා නෙව කොටින්ට. දැං වාර්තාව කොච්චර අපක්සපාතී විදියට හැදුවත් විදියක් නෑ යවන්ට කොටින්ට මොකද කොටි නැති නිසා. බලහල්ලකො ඉතිං කිමුන් ආතටත් වෙන වැඩ!

ඇමරිකාවෙනුත් උන්නැහෙට බලපෑම්ලු කොහොමහරි කොටි ටිකක් හොයල වාර්තාව යවන්ටය කියල. බ්ලේක් උන්නැහෙ ඊයෙ පෙරේද තකහනියක් දුක සැප බලල යන්ට ආපු වෙලේ මේ කාරණේ ගැන කණස්සල්ල පලකොරලත් තියෙනවලු.

කේපීයි කරුණායි ඉන්න නිසා එව්වටත් වගකියන්න ඕන ආණ්ඩුවමයි කියල ෆොන්සේකගෙ මිත්‍රයො කිය කිය යනවාලු. ඩයස්පොරවල් කියනවාලු වාර්තාව දෙන්න බැරි වෙන්න කොටි මරල දැම්ම නිසා ඒ චෝදනා ටිකටත් ආණ්ඩුවම වගකියන්න ඕනය කියල.

ඉතිං මේවගේ අමාරු තත්වයකදි (මුන්නැහෙ එහෙම කඩේ යන කෙනෙක් නෙවෙයි අරය මෙයා කිව්වට) කිමුන් ආතට උදවු කරන එක රාජතාන්ත්‍රික වැඩ තේරෙන අපේ පඬිතුමාලගෙ යුතුකම. කොහොමහරි කොටියෙක් දෙන්නෙක් හොයල දෙන්න හොඳේ?

Monday, May 2, 2011

බිංලාඩං මහතාගේ මරණය හේතුවෙන් සෝකයට පත් යුනයිටඩ් ඉස්ටේට් වාසී හු හ්! හිහ්!


මේ ආරංචිය ආවත් හරි ආයිබොවං ලියන්න ගිය එව්වත් අමතක උණා ඕං. බිංලාඩංකාරය තමා යැංකින්ගෙ රටට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කොරන වැඩේට වග කියන්ට ඕනාය කියල කියන්නෙ. පොරබාකොරංකාරය නං ඉතින් කළාය කියන ත්‍රස්ත වැඩ මොකුත් ඔප්පුවෙලා නෑය කියලනෙ පඬිතුමාල කියන්නෙ. බිංලාඩංකාරයනම් වැරදිකාරයෙක් බව ඔප්පු වෙලා තියෙන්නෙ හොඳටම.

මං කොරාපු වැඩේ පොරබාකොරංකාරයගෙ මරණෙ ගැන සෝකප්‍රකාස කළ උදවිය මේ ගැන මොනවා කියනවාද හොයා බලාපු එක. හරි වටිනවා නෙව මේ උදවියගෙ අදහස් ජනතාවට කියන එක නැත්ද මං අහන්නෙ? අවාසනාවට වගේ මට කතාකරන්න ලැබුණෙ මහත්තුරු කීපදෙනාටයි. තව මේ වගේ කීපදෙනෙක් හොයාගන්ට පුළුවං උණානම් තමා හොඳ.

මුලිංම අපි බැලුව පාපිසි බ්ලොග් එක ලියන මහත්තැන් මේ ගැන මොනවා ලියාවිද කියල. මෙන්න උන්නහැගෙ අදහස්:

" ලංකාවේ මෙන් නොව ඇමරිකාවේ මහත්තුරු හංදියක් හන්දියක් ගානේ රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රීති වූ බවක් පේන්නට නැත. කිරිබත් කෑල්ලක්වත් දකින්නට නැති බවද අපට දැකගන්නට ලැබුණි. මේ සංසිද්ධිය ලංකාවත් සමග සංසංදනය කිරීමට දැන් මහගු අවස්ථාවක් උදාවී ඇත්තේය.......

.................කිරිබත් කා ජාතික ධජය වනමින් සිංහල සමාජය ප්‍රීති වූයේ ලක්ෂ තුනකට අධික දෙමළ ජනතාවක් උපන් බිමේ අනාථව සිටි හා පන්දහසකට අධික දෙමළ ජනතාවක් සමූල ඝාතනය වී ඇති මොහොතකය. එසේම කොටි සංවිධානය පොඩි පට්ටම් කිරීමේ රාජ්‍ය අවශ්‍යතාව වෙනුවෙන් උතුරේ සටන් බිමට ගොස් මරු මුවට පත් වූ හා බරපතල තුවාල ලැබූ සිංහල සොල්දාදුවන්ගේ ඥාතීන් සෝ සුසුම් නගන මොහොතකය. එවන් මොහොතක මහ ජාතියේ වගකීම විය යුතුව තිබුණේ අශිෂ්ඨ ලක්ෂණ ලෝකයාට පෙන්නුම් කරමින් වීථි ගානේ රස්තියාදු වීම නොවේ. ඇමරිකන් ජනතාවගෙන් ශිෂ්ටත්වය පිළිබඳව උගතයුතු පාඩම් බොහෝයැ. රටම භීතියෙන් භීතියට පත් කළ මහා ඝාතකයා විනාශ කළා යැයි ඔවුන්ට හන්දියක් හන්දියක් ගානේ කිරි බත් කමින් ප්‍රීති විය හැකිය.  එහෙත් ඇමරිකන් ජාතිකයෝ මෙසේ ශෝක වන්නේ තම උපන්බිමේ ගණන්හිලවු නැතිවම මිහිදන්වන ඇෆ්ගන් ඉරාක සහ පකිස්තාන් ජනතාව වෙනුවෙනි. එහෙත් ඔබාමා වැනි තුන් කල් දකින නායකයකු නොමැතිකමින් සිංහල සමාජය අවතැන් වී ඇත."


ඊළඟට අපේ කොමියුනිට් මහත්තැන්:
"මේ රට සිංහල රට.දෙමල අය ඉන්නවා නම් අපි කියන විදිහට ඉන්න ඕන.එහෙම නැතිනම් මකබෑවෙයව්!ජනාධිපති පාර්ලිමේන්තුවේදී තතන තතනා කුමක් කීවත් බ්ම් මට්ටමේ බලවත්ව තිබෙන ජාතිකවාදයේ ස්වරූපය එවැන්නක්.  ධනවාදී ඇමරිකානුවා පවා මුස්ලිම් ජාතිකයන්ට තමන් හා සම මට්ටමේ ජීවත් වෙන්න ඇමරිකාව තුල ඉඩ සලසා දී තිබෙනවා නමුත් සිංහල ජාතිකවාදයේ එතරම්වත් ගැඹුරු න්‍යායක් නෑ. අප කියන සමාජවාදයනම් ඔවුන්ට කොහොමත් තේරුම්ගන්න බෑ....

...දෙවනුව මේ ජාතිකවාදය අතිශය සරල එකක්.ඒ කියන්නේ එහි සමාජයීය ගැඹුරක් නැහැ.වෙනත් වචන වලින් කිවහොත් ජාතික ධජ,රනවිරු ගී,කිරිබත් හා ජනාධිපතිගේ රූපය/ප්‍රභාකරන්ගේ පඹයා වැනි සැරසිලි ඉවත් කල විට න්‍යායිකව එහි ගත යුතු හරයක් නැහැ. ඇමරිකානුවෝ ඔසාමා ඝාතනය කිරීමට සිදුවීම ගැන පවා ශෝක වෙනවා.එයින් පෙනෙනවා ඔවුන්ගේ ගැඹුර. එපමණක් නොවෙයි එහිදී මියගිය එකම (එකම එක) ප්‍රාණ ඇපකාරියගෙ මානව අයිතිවාසිකම් ගැන පරීක්ෂණයක් පවා ආරම්භ කරලා. මේ ආකාරයට කටයුතු කළානම් රජයට බැන්කී මූන්ගෙන් චෝදනා එල්ල නොවන බව මට සහතිකයි.
"




පස්චාත් නූතනවාදී - මාක්ස්වාදී සහෝදරයෙක්: "ප්‍රභාකරන් මහතාගේ මරණයේදි සිංහල ජාතිවාදීන් හැසිරුණු විදියෙන් පේනවා ඔවුන්ගේ ම්ලේච්ඡත්වය. ඇමරිකාව වැනි දියුණු සමාජයක මෙවැනි ගෝත්‍රික ලක්ෂණ දැකගන්නට ලැබෙන්නේ නැහැ. මේ නිසයි අපි උත්සහ කරන්නෙ ඇමරිකාවේ ඇති මානුෂික ගුණාංග ප්‍රාග්ධනය යෝගට් කෝප්පයක් පමණ ලංකාවේ ආයෝජනය කරන්න."

ලංකාවේ නරක ලමයෙක්: "සරත් පොන්සේකා අය්යා අද කිව්වා එයාට ඔය වෙලාවේ පාකිස්තානේ හිටපු මාධ්‍යවේදියෙක් කිව්වා කියල ඔය බිං ලාඩන් ගොය්ය අත් දෙකම උස්සගෙන සුදු කොඩියක් වන වන එන කොට අර හෙරලි කිංටොං කියන ආරක්සක ලේකම් කෝල් එකක් දුන්න කියල වෙඩි තියන්න වෙඩි තියන්න කියල. එකෙන් පස්සේලු අනේ වැඩේ දුන්නේ. දැන් ඔං වැඩේ විකිලීක්ස් වෙලා ඔන්න බක මූන් කාරයට නප්පියට තද වෙලා ඔබාමා උන්නහැවයි හෙරලි කිංටොං ගෑනිවයි ජාතියන්තර අධිකරනෙකට ගෙනියල එල්ලලා මරන්න ඕන කියා කියා යනවලු. කමිටුවක් දාන්න තුන් දෙනෙක් ව හොයනවලු. බිං ලාඩන් ගොය්යගේ පැත්තේ පරණ ගෝලයෝ තුන් දෙනෙක් ඉන්නවනම් ඉක්මනට ඉල්ලුම් කොරන්න කිව්වා. "


ලංකාවේ මාද්‍ය වේදියෙක්: "බිංලාඩංගෙ පොටෝ එකක් වත් නෑනෙ හරියට ආර්ටිකල් එකකට දාන්න. ඇමරිකන් හමුදාවෙ එවුන්ට මොබයිල් පෝන් එකක්වත් තිබුණෙ නැත්ද යකෝ වීඩියෝ කරන්න?"

එන්.ජී.ඕ බුද්දිමතෙක්: "ඇමරිකන් හමුදාවෙ ඉන්නෙ මෙලෙච්ඡයො නෙවෙයි මැරිච්ච කුණක් අරගෙන ඒකෙ වීඩියෝ කරන්නයි පොටෝ ගහන්නයි. අනික ඇමරිකන් හමුදාව වගේ වෘත්තීය හමුදාවක් ඔය ලංකාවෙ නූගත් කොල්ලො වගේ බිංලාඩංගෙ මරණය ලොකු ජයක් විදියට සලකන්නෙත් නෑ. ඒකයි පොටෝ නැත්තෙ."

ඇමෙරිකන් විරෝදියෙක්: "මෙයා ඇමරිකා එක්සත් ජනපදයෙන් මවපු බිල්ලෙක්. මුස්ලිම් රටවල් ආක්‍රමණය කිරීමට හේතුව හදා ගැනීමයි අරමුණ. මොහු මැරිලා ගොඩක් කල්. පහත ලිපිය බලන්න (එහි අන්තිමට ඇති links බලන්න)"
http://www.infowars.com/inside-sources-bin-ladens-corpse-has-been-on-ice-for-nearly-a-decade/

ඔබාමා: "America can do whatever we set our mind to.May god bless you. May god bless America." 


ලෞකික රාජ්‍ය කාරයෙක්: "ඔබාමා: 'America can do whatever we set our mind to.<this part is censored>'

ඇමරිකන්කාරයෙක්: "USA! USA!! USA!!!"