Monday, April 18, 2011

මිහිඳු මහරහතන්වහන්සේ ඉන්දියන් කිරීමට හැකිද?

අර ලංදියන්කාරයො ලංකිස්තාන්කාරයො ගැන ලියාපු දේවල් ගැන සමහරක් උදවිය නොසතුටිං ඉන්නවාය කියන එක පැහැදිලියි. සමහරු කිව්වා එව්වා ලිවීමෙං නැති පුරස්න ඇති වෙනවාය කියල. ඒ කියන්නෙ ඒ උදවිය හිතනවා ඒක පුරස්නයක් නොවෙයි කියල. ඒ උදවියට අනුව පුරස්නෙ ඒ ගැන කතා කිරීමයි. කතා නොකර ඒක නොදැක්කා වගේ හිටියාම පුරස්නයක් නෑ කියන එකයි ඒ උදවිය කියන්නෙ. සමහර විට ඒ උදවිය කොටි කියන්නෙත් පුරස්නයක් නොවෙයි කියල හිතුවා(හිතනවා) වෙන්ට පුළුවං.

කොටි පුරස්නෙ කම්මුතු උණාට හැබෑ පුරස්නෙ තාම තියෙනවාය කියන එක නං බොහොමයක් දේසපාලන පඬිවරු දෙසා බාන මතයක්. පොඩිගමයත් හිතනවා එහෙම පුරස්නයක් තියෙනවාය කියල.හැබැයි ඒ පඬිතුමාල දෙසාබාන එක නං නෙවෙයි. අර ලංදියන් කතන්දරේ ඒ පුරස්නෙ මොකද්ද කියල පෙන්නුම් කරන කණ්ණාඩියක් වගේ. ඕක කිරිකැට් තරග වලදි තමයි හොඳට මතුවෙලා පේන්නෙ. මතුවෙලා පේන්න ප්‍රධාන හේතුව තමා මිනිස්සුන්ගෙ ජාතිකත්වය එතනදි ඉහලට එන එක. එතකොට යම් කිසි විදියක විජාතික එකතුවක් විදියට කැපිල පේනව අර සුළු පිරිස. නමුත් දේසපාලනේ වගේ තැංවලදිත් ඕක එහෙමම තියෙනවා. දේසපාලනේදි සුළු ජාතික දේසපාලන පක්ස කියල ජාතියක් හැදිල තියෙනවා. ඒවා සාමාන්‍යයෙන් සුළුජාතික බෙදුම්වාදවලට උඩගෙඩි දෙනවා. පොඩිගමය කියන්නෙ මේ ප්‍රස්න පැස්බරා වැල්ලෙ ඔලුව හංගනවා වගේ වහල තියන්නෙ නැතුව කතාබහට ලක්වෙන්ට ඕනෑ. නැත්නම් ඔව්ව ඉස්සරහටත් ප්‍රස්න හැටියට පවත්වාගෙන යන්න වෙනව. එහෙම කළාය කියල රටට වැඩක් වෙන්නෙ නෑ.

මහින්ද මහරහතන්වහන්සේ ඉන්දියන් කරන්න හදන්නෙත් මේ ප්‍රස්නෙ අවුල්කරල යටගහන බලාපොරොත්තුවෙන්ය කියන එක පැහැදිලියි. මෙව්ව අවුල් කරගන්න එක වලක්වන්න ලංදියන්කාරයෙක් වීමේ මූලික අවශ්‍යතාවක් හැටියට අපි ලංකාවේ රටවැසිභාවය දෙනව. නමුත් ඒක විතරක් ප්‍රමාණවත් වෙන්නෙත් නෑ. ඉන්දියන් ජාතිකත්ව ගැතිභාවයක් යං කිසි ආකාරයකින් තියෙන්ටත් ඕන කරනවා. මිහිඳු හාමුදුරුවො ඉන්දියන් කිරීමට හැකි වුණා නම් ඒ මගින් පණ්ඩිතයෙකුට පුළුවන්කමක් ලැබෙනවා උන්වහන්සේට ඉන්ලංකා කාරයෙක් නැත්නම් වෙනත් ඒවගේ නමක් දාල ලංදියන්කාරයිංගෙ කැතවැඩේ වහල දාන්න.

පළවෙනියෙන්ම කියන්න තියෙන්නෙ ඉන්දියාව කියල එකක් උන්වහන්සේ වැඩ ඉඳපු කාලෙ තිබුණෙ නැතය කියන එක. එහෙවු එකේ උන්වහන්සේ ට ඉන්දියන් නාමයක්වත් තියෙන්න හැටියක් නෑ . ඒ කාලේ ඉන්දියාවට අයිති කොටස් (දැං පකිස්තානෙත් නේපාලයත් ඇතුලු වර්තමාන ආසියාවෙ විසාල කොටසකුත්) දඹදිව කියා හඳුන්වාපු වග අහල ඇති නෙව.

එතකොට ආයිත් කෙනෙකුට අහන්න පුළුවන් රටේ නම මොකක් උණත් මිහිඳු හාමුදුරුවො "ඉන්දියාවෙ" පුරවැසියෙක් විදිහට ඉඳගෙන ලංකාවට ඇද්ද නේද නැත්නම් ලංකාවට ඇවිල්ල ඉන්දියාවට පක්සපාත විදියට කටයුතු කළා නේද කියල ? මේකත් මොට්ට පුරස්නයක් මොකද උන්වහන්සේ ලංකාවට ආවේ ධර්ම දායාදය දීල රටේ බුද්ධසාසනේ පිහිටුවන්න මිසක් දඹදිව රාජ්‍යයක් වෙනුවෙන් මොනම ආකාරයකවත් දේසපාලන කොන්තරාත්තුවක් කරන්න නෙවෙයි. ලංදියන්කාරයො ලංකිස්තාන්කාරයො ගත්තාම කතාව වෙනස්. උන්දැලා දේසපාලනිකව ඉන්දියාවත් එක්ක ගැට ගැහෙන්න හීන මවන කට්ටියක්. ලංකිස්තාන්කාරයොත් ඒවගේ කෑලි ගලවගෙන මූට්ටු කරගෙන බලේ පතුරුවන්ට පුළුවන්ද කියල බලනවා

පුරස්නයක් අහනකොට මීට වඩා ටිකක් හිතල මතල අහවිය කියල නෙව අපි උණත් බලාපොරොත්තු වෙන්නෙ කො..හෙද ඇහුවොත් 5 පන්තියට හරියන පුරස්නයක් තමා අහන්නෙ . අර හුරුල්ල නමිං අටුවාවෙ දාපු කොමෙන්ටුව හුරුල්ලෙක්ට තියා හාල්මැස්සෙක්ටවත් පිළිගන්න පුළුවං මට්ටමේ නැති වග පැහැදිලියි .

කොහොමිං හරි මිහිඳු මහරහතන්වහන්සේ එදා හිටපු සිංහලයෙකුට අද ඉන්න ඉන්දියන්කාරයෙක් අපිට තියෙනවාට වඩා අදහස් අතින් කිට්ටු වෙන්ට ඇතිය කියල හිතෙනවා. එහෙම නොවෙන්න දෙවන පෑතිස් රජ්ජුරුවොත් එක්ක අරවගේ ගැඹුරු සංවාදයක් කරන්න හැකිවෙයි කියල හිතන්න අමාරුයි. එහෙම බැලුවත් උන්වහන්සේ ඉන්දියන් කරන්න බෑ.


Friday, April 15, 2011

මුම්බායි පිම්බුවෝ

අලුත් අවුරුද්ද ගැන බොහො දෙනා ලියන නිසා ඒ ගැන ලියන්නත් හිතුනෙ නෑ. ඔහොම ඉන්න අතරෙ තමයි අයි පී එල් එක ගැනයි "මුම්බායි ඉන්දියන්"කාරයිංගෙ පුරාජේරුව ගහන පංඩිතයො ගැනයි පෙරමුණේල ලිපියක් දාල තියෙනව දැක්කෙ. පොඩිගමය ඒ ලියුම ගැන කොමෙන්ටුවක් දැම්ම. ඒක ටිකක් දික් උණ හින්ද ලොග් එකක් විදියට ලියන්න කල්පනා කළා.මට හිතෙන විදියට නං මුම්බායි පිම්බුවාල ලංදියන්කාරයිංට වඩා හොරු. පොඩිගමයා කැමතියි ලංදියන්-ලංකිස්තාන් සංසිද්ධිය යටපත් වෙලා ගිහින් ඒ උදවිය සිරිලාංකිකයො විදියට ජාතියට එකතු වෙනවා නං. අද ලබාපු සිංහල අවුරුද්ද උණත් දෙමළ වගේම මුස්ලිම් උදවියත් හරි හරියට සමරනවා නං තමයි හොඳ. මුම්බායි පිම්බුවාලව නං එහෙම එකතු කරගන්න අමාරුයි කියන එකයි හිතෙන්නෙ. මොකද උන්දැලව ඇතුලට ගන්න ගියොත් ලංකාව මුම්බායි කොරන්ට වෙනවා නෙව.

අයි පී එල් අටමගලෙ ඉන්දියන්කාරයිංගෙ පැත්තෙන් බැලුවාම වාසිදායක වගේම අපේ පැත්තෙන් බලුවාම අවාසිදායක සෙල්ලමක් කියන එකයි මගෙත් අදහස. ඔය තරගාවලියෙ වැඩිපුර ඉන්නෙ මොන රටේ මිනිස්සුද? නිකමට හිතන්න ලංකාවෙ ජාතික මට්ටමට ඇවිත් ඉන්න ක්‍රීඩකයනට අවස්ථාවක් දෙනවය කියල ලෝකෙ ඉන්න හොඳම ක්‍රීඩකයංගෙන් සමන්විත කණ්ඩායම් හදාගෙන තරගාවලියක් පවත්වන්න. ඒකෙන් වෙන්නෙ මොකද්ද කියල නිකමට කල්පනා කරල බලන්න. ඕක සුද්දොත් කරනවා කියන එකයි මගේ නම් විස්වාසය. මෙච්චර ලකේට වියාපාරයක් වගේ කරන්නෙ නෑ. සුද්දො ඒක කරන්නෙ වෙනස් පිළිවෙලකට. අර ප්‍රාන්ත කිරිකැට් තරග කියල ජාතියක් සුද්දො පවත්වනව නේ. ඒ තරග වලට ක්‍රීඩා කරන්න අපේ රටේ දක්ෂ උදවියට ඉඩ දෙනව.

ඒ කතාව තිබිච්චාවෙ. ඉන්දියාව ගැන කියනවානම් දඹදිව වන්දනාවෙ ගිය මිනිස්සු දන්නවා ඉන්දියාවෙ ඊනියා තත්වය ගැන. ටැලිවිසොන් පෙට්ටියෙන් හීන ලෝක පෙන්නුවාට මොකද හරි ඉන්දියාව බොහොම චාම් මිනිස්සු එදිනෙදා උවමනා එපාකං පිරිමහගෙන ජීවත්වෙන රටක්. අර කොටිරාජාවාහිනී කාරයගෙ මහගෙදර වගේ ගෙවල් බොහොම ටිකයිලු තියන්නෙ.

වැඩේ තියෙන්නෙ ඉන්දියන්කාරයින්ට (ඉන්දියාවෙ පාලනය ගෙනියන අතලොස්සට) තියනවා අභිමානය කියන එක. යංකිසි මදි පුංචිකමක් උණාම උන් අපේ උන්දැල වගේ නෙවෙයි කෑගහනවා විරෝදය පළ කරනවා. අපේ එවුන්ට ඒවගෙ දේවල් වලදි කතා කරන්න බෑ. ක්‍රීඩා ඇමති විදියට මරුවින් ගොයියා ගියත් ඒ යන්නෙ රට නියෝජනය කරන්න. අමතක කරන්න එපා අපි කවදාවත් "ඉංදියන්කාරයිංට" යටවෙච්ච ජාතියක් නෙවෙයි. ගහන්න ගහන්න වඳින්න ඕන නෑ.

යංකිසි මදි පුංචිකමක් උණා නම් උන්ට විරෝධය දක්වන්ට යුතුයි. ඒක මොන විදියට කරනවාද කියන එක වෙනම කතාවක්. අයි පී එල් මගුල වර්ජනය කරන එක තමා ලේසි වැඩේ. නමුත් ඊට වඩා හොඳ වැඩත් කරන්න පුළුවන්. ඕකෙන් ලංකාවට කිරිකැට් පැත්තෙන් ගත්තාම ලැබෙන මළදානයක් නෑ ක්‍රීඩකයන්ට සල්ලි ටිකක් ලැබෙන එක ඇර. ඒ පැත්තෙන් හිතල යමක් කරන්න තිබුණ.

දෙවෙනි කාරණේ තමයි ලංකාව තමංගෙ හිතට හරියන මට්ටමට නූතනවාදය වැළඳගෙන නැති එක ගැන නූතනවාදියො දුක් වෙනව. අපිටත් “මුම්බායි ඉන්දියන්” වෙන්න කියලනෙ ඔය කියන්නෙ. ඔච්චර ආස නං කෙලිංම සුද්දංව අනුකරණය කරන්න කියලයි මං නං කියන්නෙ. (මොකටද ඔරිජිනල් එක තියෙද්දි ඉමිටේසන් එක කොරන්නෙ) “මුම්බායි ඉන්දියන්”කාරයො කොපි කරන්න හදන්නෙත් උන්ගෙන්. මට හිතෙන විදියට නං “හොඳම” ජර්මන්කාරයිංගෙ එක තමා. කරනවාම නං එහෙම හොඳ මට්ටමේ කොපියක් කරන්න. බාල මට්ටමේ එව්ව කරන්ට එපාය කියල මේ අලුත් අවුරුද්දෙ ඉල්ලා හිටින්න කැමතියි.

Saturday, April 2, 2011

ලංකාවේ ඉපිද වෙන රට වලට ආවඩන ...

අද නොවැ කිරිකැට් ලෝක සූරතාවයෙ අවසාන තරගය ලංකාවයි ඉන්දියාවයි අතර. මේ සැරේ අපේ කොල්ලන්ට ඉන්දියන්කාරයො පරද්දල සූරතාව දිනාගන්න ලැබෙන්ටය කියල සුබ පතන අතරෙම පොඩිගමයට සිහි උණේ අර ආවාටය බ්ලොග් එකේ දාල තිබුණ කතාව.

ලංකාවෙ ඉපදිලා වෙන රටවලට ආවඩන එවුන් ඉන්නවා නේන්නං. මේ කුහක වැඩේ දැක්කහම තරහ යනව හුඟදෙනාට. නමුත් මේ ගැන නිවිහැනහිල්ලෙ කල්පනාකරල බැලුවාම පේන්නෙ හිතන තරං සරල පුරස්නයක් නෙවෙයි. ඔන්න ලංකාවයි පකිස්තානෙයි අතරෙ කිරිකැට් තරගයක් තිබුණාම රටේම එවුන් ලංකාවට උදවු කරද්දි අතලොස්සක් එවුන් ඉන්නවා පකිස්තානෙට උදවු කරන වගේම උන් දිනුවාම රතිඤ්ඤා පත්තු කරන. හැඳින්වීමේ පහසුව සඳහා අපි මේ උදවියට ලංකිස්තාන්කාරයො කියල කියමු.

තවත් සමහරු ඉන්නවා ලංකාවයි ඉන්දියාවයි අතරෙ කිරිකැට් තරගයක් තිබුණාම රටේම එවුන් ලංකාවට උදවු කරද්දි ඉන්දියාවට උදවු කරන වගේම උන් දිනුවාම රතිඤ්ඤා පත්තු කරන. මේ උදවිය ලංදියන්කාරයො කියල හඳුන්වන්න පුළුවන් කියන එකයි මගේ කල්පනාව. සමහර විට ඒ වෙලාවට අර උඩ කියපු ලංකිස්තාන්කාරයො ලංකාවට උදවු කරනවාද කියන්න බෑ ඉන්දියන්කාරයො එක්ක තියෙන මොකක් හරි අමනාපයක් නිසා.තදම ලංකිස්තාන්කාරයො සමහරවිට එහෙමත් කොරනවා ඇති! හිහ්. කොහොමිං හරි මේ වැඩේ, ලංදියන්-ලංකිස්තාන් සංසිද්ධියෙ, අපි හිතනවාට වඩා වැදගත් කමක් දේසපාලනේ පැත්තෙං ගත්තාම තියෙනවා.

ලංදියන්කාරයොයි ලංකිස්තාන්කාරයොයි ලංකාවෙ ඉපදිලා ලංකාවෙ පුරවැසිකම (රටවැසිකම) තියාගෙන ඇයි වෙන රටවල් එක්ක හිතිං බැඳිල ඉන්නෙ? ලංකාවේ සුද්දෙක්වගේ ජීවත්වෙන කිසිම කිසි ජාතිකත්වයක් නැතැයි කියල හිතන්න පුළුවන් (අලිමංකඩ පාමංකඩ කතාවලට හුරේ දාපු) හොඳම කලු සුද්දෙක් ගත්තාම උණත් මිනිහ කිරිකැට් ලෝලියෙක් නං අද හුරේ දාන්නේ ලංකාවට නෙව. ඒ වගෙ මිනිහෙක් උණත් අද දවසෙ තමංගෙ කාර් එකේ සිංහ කොඩිය ගහගෙන යන්නෙ රටගැන තියෙන හැඟීමක් නිසා නෙව.

දැන් අර කියපු ලංදියන්කාරයොන්ගෙන් සමහරු අපි දන්නවා ලංකාවෙ කෑල්ලක් තමංගෙ නිජ බූමියක්ය කියාගෙන කඩාගන්න හදාපු බව. මට හිතෙන විදියට ලංදියන් මානසිකත්වයෙන් ඉන්න එවුන් ඔක්කොම ඒ වැඩේට හිතින් හරි උදවු කළා. හත්වලාමේ ඉතින් තමංගෙ නිජබූමිය ලංකාවෙ කෑල්ලක් මිස ඉන්දියාවෙ කෑල්ලක් නෙවෙයි නං මොන එහෙකටද ඉන්දියාවට දෙන්න යන්නෙ? ඉන්දියාව තමංගෙ මවුරටය කියලම හිතෙන්නෙ මොකද? ඉන්දියාවත් එක්ක හිතිං බැඳිල ඉන්නෙ හරියට නිකන් හොර ගෑනි වගේ නෙව? දැන් අර විජය කියන මනුස්සය ඒ කාලෙ ඉංදියාවෙන් ආවය කිව්වාට මොකද නිකමටවත් මට නං හිතෙන්නෙ නෑ ඒ මගේ රටය කියල.

ලංකිස්තාන්කාරයො ගැනත් කියන්න තියෙන්නෙ ඒකම තමයි එහාට එක කකුලක් මෙහාට තව කකුලක් තියාගෙන අර කෑල්ලයි මේ කෑල්ලයි අල්ලගන්න හදන්නෙ විලි ලැජ්ජාවක් නැතිකම නෙව. සිංහලෙං කියනවානම් කට බොරු කිවත් දිව බොරු කියන්නෙ නෑ කියන්නෙ මෙව්වට තමයි. බොරුවට අයිතිවාසිකම් කියන්න දැඟලුවාට අවංක හිතිං ලංකාවට බැඳීමක් නෑ.හිතිං වෙන කොහෙවත්.

ලංදියන් ලංකිස්තාන් සහ වෙනත් ඒ වගේ තනි කකුල්කාරයොන්ට ලංකාව තමංගෙ මවුරටය කියල හිතන්න බැරිකම අර තියෙනවාය කියන ජාතික ප්‍රස්නෙ වැදගත් කොටසක්. එහෙම ප්‍රස්නයක් මේ කට්ටියට තියෙන බව අර ඇන් ජී ඕ පඬිතුමාල පිළිගන්නෙ නැතිවුණාට අපිට නම් පැහැදිලිව පේනවා. ඔය පුරස්නෙ තියෙන තාක්කල් මේ උදවියට ඊනියා සුළුජාතික විඤ්ඤාණයක් ඇතුව බෙදිල ජීවත්වෙන්න පුළුවං හැබැයි ජාතියට එකතුවෙන එක නම් බොරු.

ඔය අතරෙ "ලංකා ඉස්ටේට් ඔෆ් ඇමරිකා"කාරයො එහෙමත් ඉන්නවා නම් බලල කකුල මාරු කරගන්න. තනිකකුලෙන් ඉඳල අමාරුත් ඇති නෙව?

Friday, April 1, 2011

දුකා මහත්තයාගෙ අසපු කතාව ගැන එක අදහසක්..


දුකා මහත්තයගෙ බ්ලොග් එකේ බණක් කියන්න ගිහින් වෙච්චි අලකලංචියගැන තිබිච්චි ලියුම පොඩිගමයත් කියෙව්ව. දැං සිංහල බ්ලොග්කාරයො ගත්තොතිං එහෙම "බණ දහම්" දන්න උදවිය හරිම වැඩි කියන එකයි පොඩිගමයට හිතෙන්නෙ. ඇයි අප්පා බෞද්ධම කී ජාතියක් ඉන්නවද? ජනප්‍රියද රැඩිකල්ද දාර්ශනිකද ක්‍රිස්තියානිද (හිනාවෙන්න එපා ක්‍රිස්තියානි බෞද්ධ කිව්වම. එහෙම උනුත් ඉන්නවා) ආයෙ විද්‍යාත්මකද සිංහලද ඔයාකාරෙට වර්ග ගොඩයි. අපිත් යංකිසි විදියකට බෞද්ධ නෙව.

දුකා මහත්තයට වෙච්චි අකරතැබ්බය ගැන හිතන අතරෙම මට මතක් උණේ විවිධ විප්‍රකාර බෞද්ධයන්ගෙ වෙනස් වෙනස් බුද්ධාගං ගැන බ්ලොග් වල හෙමත් ලියවෙන හින්ද අපි උණත් අපේ බුද්ධාගම ගැන ලිවුවාට වරදක් නැතිය කියල. මොකෝ ඉතින් ඔය ලියන හැම එකාම මහා දැනුමක් අවබෝධයක් ඇතුව ලියනවා නෙවෙයිනෙ. මේ වෙනකං ඒ ගැන මොනවත්ම ලියන්නත් බැරි වුණා නෙව.

ඒ ලියුමෙ තිබිච්චි එක කාරණයක් තමා අර ආමිස-ප්‍රතිපත්ති ප්‍රස්නය. ඕකත් ඉතින් මහා ලොකු පුරස්නයක් නෙව මිනිස්සුන්ට වාද කරන්න. සාමාන්‍යයෙන් දාර්ශනික උදවිය ජනප්‍රිය උදවියට ආමිසයට බරයි කියල ගරහනවා. සමහර ජනප්‍රිය විප්‍රකාර විවේචනය කරන එකේ වරදක් නෑ . නමුත් දාර්ශනිකයො පිළිවෙතේ හරියටම ඉන්නවාද කියන එකත් ප්‍රස්නයක් . අද ඉන්න දර්ශනවාදීන්ට වඩා පිළිවෙතින් සරු උදවිය ආමිස පූජාවත් කළ බවයි මගේ නං කල්පනාව. රැඩිකල් උන්දැල බහුතරේ දෙකම විවේචනය කරනවා. නැත්නම් සියුම් විදියට පහර ගහනවා.

දුකා මහත්තය කියන විදියට බුද්ධ සාසනේ පැවැත්මටත් ආමිසේ උවමනායි කියන එක නම් ඇත්ත. නමුත් ආමිසය තමංගෙ විමුක්තිය පැත්තෙන් බැලුවත් අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා අපි නං ඔය දෙකම කරනවා. මොකද කියනවා නම් පොඩිගමයට පේන විදියට නම් ඔය දෙකෙන්ම කෙරෙන්නෙ එකම වැඩේ. ඔය හැමදෙයක්ම බෞද්ධයො කරන්නෙ අවසාන වසයෙං ගත්තාම නිවන් දකින්න හිතාගෙන නෙව.

මොන එකෙන් උණත් කරන්න වෙන්නෙ අවසානෙදි තණ්හාව නැති කරල දාන එක. එතකොට ආමිසෙන් හරි පිලිවෙතිං හරි ඕක සිද්ද වෙන්නෙ කොහොමද ? අපි දානයක් දෙනවාය කියල හිතමු. එතකොට තමංගෙ දෙයක් ගැන තියෙන ලෝබ හිත ටික වෙලාවකට හරි නැති කරගෙන ඒක දෙන එකනේ කරන්නෙ. ඒ කෙරෙහි තියෙන තණ්හාව බිඳ දානවා. එහෙම ගත්තාම දානයෙං තමංගෙ හිතේ තියෙන කෙලෙස් නැති කිරීම සඳහා යං කිසි විදියක පුහුණුවක් වෙන එකයි කෙරෙන්නෙ. (නිවන් අරමුණු කරගෙන දෙන දානයක් නම් ඒක දාන පරමිතාව බවට පත්වෙනවා. වැඩි විස්තර රේරුකානේ හාමුදුරුවංගෙ පොතපත කියෙව්ව නම් දැන ගත්තෑකි) සීලය උණත් එහෙමයි වචනය කය සිත සංවර කරගෙන ඉන්න පුහුණුවක් තමා කෙරෙන්නෙ. අනෙකුත් දේවල් ගැනත් ඔය විදියට බලන්න පුළුවන්.

ඒ නිසා දෙකම අවශ්‍යයි. සමහර කෙනෙක් නිවන් දකින්න ඕන මට්ටමට මේ පුහුණුව කරල තියෙන්න පුළුවන්. නමුත් ඕක හරියට දැනගන්න ක්‍රමයක් තමන්ට නැත්නම් කරන්න තියෙන්නෙ පුලුපුලුවං විදියට දානයත් දෙන එකනේ. අනිත් එව්වත් එහෙම තමයි ලැබෙන ලැබෙන විදියට කරන්න වෙනවා.

හැමෝම එකම මට්ටමේ නෙවෙයිනෙ ඉන්නෙ. මේ අත්බවයෙදිම එගොඩට යන්නත් පුළුවන් උදවියත් ඇති. තවත් සමහර උදවියට විට තව සෑහෙන්න කල් යන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා තමංගෙ මට්ටම හරියට දැන ගන්න ක්‍රමයක් නැත්නම් හිතේ මිම්මට වැඩ කරන්නයි වෙන්නෙ.