Friday, April 1, 2011

දුකා මහත්තයාගෙ අසපු කතාව ගැන එක අදහසක්..


දුකා මහත්තයගෙ බ්ලොග් එකේ බණක් කියන්න ගිහින් වෙච්චි අලකලංචියගැන තිබිච්චි ලියුම පොඩිගමයත් කියෙව්ව. දැං සිංහල බ්ලොග්කාරයො ගත්තොතිං එහෙම "බණ දහම්" දන්න උදවිය හරිම වැඩි කියන එකයි පොඩිගමයට හිතෙන්නෙ. ඇයි අප්පා බෞද්ධම කී ජාතියක් ඉන්නවද? ජනප්‍රියද රැඩිකල්ද දාර්ශනිකද ක්‍රිස්තියානිද (හිනාවෙන්න එපා ක්‍රිස්තියානි බෞද්ධ කිව්වම. එහෙම උනුත් ඉන්නවා) ආයෙ විද්‍යාත්මකද සිංහලද ඔයාකාරෙට වර්ග ගොඩයි. අපිත් යංකිසි විදියකට බෞද්ධ නෙව.

දුකා මහත්තයට වෙච්චි අකරතැබ්බය ගැන හිතන අතරෙම මට මතක් උණේ විවිධ විප්‍රකාර බෞද්ධයන්ගෙ වෙනස් වෙනස් බුද්ධාගං ගැන බ්ලොග් වල හෙමත් ලියවෙන හින්ද අපි උණත් අපේ බුද්ධාගම ගැන ලිවුවාට වරදක් නැතිය කියල. මොකෝ ඉතින් ඔය ලියන හැම එකාම මහා දැනුමක් අවබෝධයක් ඇතුව ලියනවා නෙවෙයිනෙ. මේ වෙනකං ඒ ගැන මොනවත්ම ලියන්නත් බැරි වුණා නෙව.

ඒ ලියුමෙ තිබිච්චි එක කාරණයක් තමා අර ආමිස-ප්‍රතිපත්ති ප්‍රස්නය. ඕකත් ඉතින් මහා ලොකු පුරස්නයක් නෙව මිනිස්සුන්ට වාද කරන්න. සාමාන්‍යයෙන් දාර්ශනික උදවිය ජනප්‍රිය උදවියට ආමිසයට බරයි කියල ගරහනවා. සමහර ජනප්‍රිය විප්‍රකාර විවේචනය කරන එකේ වරදක් නෑ . නමුත් දාර්ශනිකයො පිළිවෙතේ හරියටම ඉන්නවාද කියන එකත් ප්‍රස්නයක් . අද ඉන්න දර්ශනවාදීන්ට වඩා පිළිවෙතින් සරු උදවිය ආමිස පූජාවත් කළ බවයි මගේ නං කල්පනාව. රැඩිකල් උන්දැල බහුතරේ දෙකම විවේචනය කරනවා. නැත්නම් සියුම් විදියට පහර ගහනවා.

දුකා මහත්තය කියන විදියට බුද්ධ සාසනේ පැවැත්මටත් ආමිසේ උවමනායි කියන එක නම් ඇත්ත. නමුත් ආමිසය තමංගෙ විමුක්තිය පැත්තෙන් බැලුවත් අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා අපි නං ඔය දෙකම කරනවා. මොකද කියනවා නම් පොඩිගමයට පේන විදියට නම් ඔය දෙකෙන්ම කෙරෙන්නෙ එකම වැඩේ. ඔය හැමදෙයක්ම බෞද්ධයො කරන්නෙ අවසාන වසයෙං ගත්තාම නිවන් දකින්න හිතාගෙන නෙව.

මොන එකෙන් උණත් කරන්න වෙන්නෙ අවසානෙදි තණ්හාව නැති කරල දාන එක. එතකොට ආමිසෙන් හරි පිලිවෙතිං හරි ඕක සිද්ද වෙන්නෙ කොහොමද ? අපි දානයක් දෙනවාය කියල හිතමු. එතකොට තමංගෙ දෙයක් ගැන තියෙන ලෝබ හිත ටික වෙලාවකට හරි නැති කරගෙන ඒක දෙන එකනේ කරන්නෙ. ඒ කෙරෙහි තියෙන තණ්හාව බිඳ දානවා. එහෙම ගත්තාම දානයෙං තමංගෙ හිතේ තියෙන කෙලෙස් නැති කිරීම සඳහා යං කිසි විදියක පුහුණුවක් වෙන එකයි කෙරෙන්නෙ. (නිවන් අරමුණු කරගෙන දෙන දානයක් නම් ඒක දාන පරමිතාව බවට පත්වෙනවා. වැඩි විස්තර රේරුකානේ හාමුදුරුවංගෙ පොතපත කියෙව්ව නම් දැන ගත්තෑකි) සීලය උණත් එහෙමයි වචනය කය සිත සංවර කරගෙන ඉන්න පුහුණුවක් තමා කෙරෙන්නෙ. අනෙකුත් දේවල් ගැනත් ඔය විදියට බලන්න පුළුවන්.

ඒ නිසා දෙකම අවශ්‍යයි. සමහර කෙනෙක් නිවන් දකින්න ඕන මට්ටමට මේ පුහුණුව කරල තියෙන්න පුළුවන්. නමුත් ඕක හරියට දැනගන්න ක්‍රමයක් තමන්ට නැත්නම් කරන්න තියෙන්නෙ පුලුපුලුවං විදියට දානයත් දෙන එකනේ. අනිත් එව්වත් එහෙම තමයි ලැබෙන ලැබෙන විදියට කරන්න වෙනවා.

හැමෝම එකම මට්ටමේ නෙවෙයිනෙ ඉන්නෙ. මේ අත්බවයෙදිම එගොඩට යන්නත් පුළුවන් උදවියත් ඇති. තවත් සමහර උදවියට විට තව සෑහෙන්න කල් යන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා තමංගෙ මට්ටම හරියට දැන ගන්න ක්‍රමයක් නැත්නම් හිතේ මිම්මට වැඩ කරන්නයි වෙන්නෙ.

No comments:

Post a Comment

අටුවා ලියන්නට පෙර කියවා බැලීමට
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ලියන දෙයක් තේරෙන සිංහලෙන් ලිව්වොත් හොඳා. පොඩිගමයගෙ ඉංගිරිස් දැනුම අන්තිමයි. සිංහලෙන් යතුරු ලියන්න බැරි නම් පරිවර්තකේ පාවිච්චි කරන්න.

කාරණාවට අදාල පුරස්නයක් හෙම අහනවා නම් පුළුවන් තරං කෙටියෙන් අහන්න. වැල්වටාරං ලියන්න එපා.

කුණුහරුපෙන් බණින්න හිතෙනවා නම් පරිස්සමෙං ලියන්න. නිසි බලදාරිය මහත්තයා වැඩ.

කාරණේට අදාල නං මිස වෙනත් අඩවිවල දාපු ලියුම් වලට සබැඳි දාන්න එපා. තමංගෙ අඩවියට සබැඳියක් දාගන්න ඕන නම් ඉල්ලීමක් කරන්න.